Header Title


උදනිඳුගේ සිතුවිලි

Showing posts with label ශ්‍රී ලංකාව. Show all posts
Showing posts with label ශ්‍රී ලංකාව. Show all posts

2023/12/19

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැබවින්ම කී වතාවක් සංශෝධනය වී තිබේද?

මෙම බ්ලොගයේ අවසන් ලිපියත් මේ ලිපියත් අතර කාලය තුළදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තවත් සංශෝධන දෙකක් එකතු වී තිබේ. අවසන් සංශෝධනය "විසි එක්වැනි සංශෝධනයයි". මේ අනුව, ව්‍යවස්ථාව විසිඑක් වතාවක් සංශෝධනය වී ඇති බව බැලූ බැල්මට කෙනෙකුට සිතෙන්නට හැකි මුත් සත්‍ය වශයෙන්ම එය සංශෝධනය වී ඇත්තේ විසි වතාවක් පමණි. ඒ ඇයි දැයි අපි විමසා බලමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ලැයිස්තුව සලකා බැලීමේ දී "දොළොස්වන සංශෝධනයට" විශේෂ තැනක් හිමි වේ. ඊට හේතුව එය නොපැනවූ සංශෝධනයක් ලෙස සඳහන් වීමයි. එනම්, එය නීතියක් බවට පත්නොවූවක් වීමයි. එවකට මහජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 1987 සැප්තැම්බර් මස 25 වන දින පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එකල පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 47(5) ට අනුව පෞද්ගලික මන්ත්‍රීවරයෙක්ගේ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය අදාළ විෂය හා කාර්යභාර අමාත්‍යවරයා වෙත යොමු කරයි. ඉන්පසුව එකී අමාත්‍යවරයා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන තුරු කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගනී. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන්ද ඇති වූයේ එවැනි තත්වයකි. එනම්, අමාත්‍යවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරුණි.

එය එසේ නම්, ඊළඟ කෙටුම්පත දොළොස්වන සංශෝධනය ලෙස හැඳින්වූයේ නැත්තේ ඇයි? ඒ, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් වී තිබියදී ම එම වර්ෂයේ ඔක්තෝබර් 09 වැනිදා රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ගෙන ආ බැවිනි. දොළොස්වන සංශෝධන කෙටුම්පත ද අදාළ මන්ත්‍රීවරයා විසින් ඉල්ලා අස්කර නොගත් නිසා එයද න්‍යාය පුස්තකයේ ඉතිරි විය. මේ ආකාරයට ඉන්පසුව දහහතර, පහළොව ආදී ලෙස සංශෝධන එකතු වෙමින් අද විසි එක්වැනි සංශෝධනය දක්වා පැමිණ ඇත.

මෙම දොළොස්වන සංශෝධනයේ අන්තර්ගතය වූයේ කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉතා කෙටි වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු වූ මෙම සංශෝධනය එක් පිටුවකට සීමා විය. එහි අරමුණ වූයේ පැවති 37(1) අනුව්‍යවස්ථාව සංශෝධනය කිරීමයි. ඒ මෙසේය:-

"රෝගාතුර වීම නිසා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා ජනාධිපතිවරයාට සිය ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමට සහ ඉටුකිරීමට නොහැකි විට ඒ කාල සීමාව තුළ ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටුකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා පත් කළ යුතුය. තවද, එම කාල සීමාව තුළ අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බැලීම පිණිස වැඩබලන ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ වෙනත් අමාත්‍යවරයකු පත් කළ යුතුය :

එසේ වුවද අග්‍රාමාත්‍ය ධුරය ඒ අවස්ථාව වන විට හිස්ව පවතී නම් හෝ අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති ධුරයේ වැඩ බැලීමට නොහැකි නම් ඒ කාලසීමාව තුළ ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටුකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කථානායකවරයා පත් කළ යුතුය."


මෙහි මූලික වෙනස්කම් වනුයේ පළමු ඡේදයේ මුල් වගන්තියේ දැක්වෙන තීරණය ගැනීමට ජනාධිපතිවරයාගේ "මතයට" තිබුණු ඉඩ ඉවත් කිරීමත්, පළමු ඡේදයේ සඳහන් වැඩ බලන අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කර වැඩබලන ජනාධිපතිවරයා වෙත පැවරීමත්, ඡේද ද්විත්වයේ ම "හැක්කේ ය" වෙනුවට "යුතුය" යන්න ආදේශ කිරීමත් යන කරුණු ය. මෙම කෙටුම්පතේ පිටපතක රූපයක් ලිපියේ පහළින් අමුණා ඇත.

තවද, මෙම සංශෝධනය ගෙන ඒමේ අරමුණ මා නොදන්නා මුත්, එවකට රටේ පැවති දේශපාලනික සන්දර්භය දන්නා දේශපාලන විචාරකයෙක් හට එය පැහැදිලි කළ හැකි වෙනු ඇතැයි සිතමි.


සිංහල පිටපත

ඉංග්‍රීසි පිටපත


2020/09/07

තෙවතාවක් “විසි වූ” විස්ස

මේ දිනවල ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වන මාතෘකාවකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලබන විසිවෙනි සංශෝධනය. ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ දක්වා දහනව වතාවක් සංශෝධනය වී ඇති අතර මීළඟට සිදුවන සංශෝධනය නිතැතින්ම විසිවැන්න බවට පත් වේ. කෙසේ වෙතත් දහනවවැනි සංශෝධනයෙන් පසුව “විසිවෙනි සංශෝධනයක්” අවස්ථා තුනකදී ගෙන ඒමට ප්‍රයත්න දැරූවත් විවිධ හේතු නිසා එය වැළකී ගියේය. මේ ඒ පිළිබඳ කෙටි විමසුමකි.


2015
දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 අප්‍රේල් 28 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත වී 2015 මැයි 15 දින කථානායකවරයා විසින් සහතිකය සටහන් කිරීමෙන් අනතුරුව රටේ නීතිය බවට පත්විය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වූ “විසිවෙනි සංශෝධනයක්” කැබිනට් මණ්ඩලයේ අනුමත වීමෙන් පසුව ගැසට් පත්‍රයක් ලෙස 2015 ජූනි 15 වැනිදා නිකුත් කරන ලදී. කොට්ඨාස ක්‍රමයට බර වූ මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමයක් හඳුන්වා දීම, මනාප ක්‍රමය අහෝසි කිරීම, මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 237ක් දක්වා වැඩි කිරීම, ආදිය එයින් සිදුකිරීමට බලාපොරොත්තු විය. ඇතැම් පාර්ශ්ව මෙය හඳුන්වා දුන්නේ දහනවවැනි සංශෝධනයට ආනුෂාංගික වශයෙන් “ස්ථාවර පාර්ලිමේන්තුවක්” සඳහා අවැසි සංශෝධනයක් වශයෙනි. කෙසේ වෙතත් 7 වැනි පාර්ලිමේන්තුව 2015 ජූනි 26 වැනිදා විසුරුවා හැරීමත් සමඟ එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හෝ ඒ පිළිබඳ කතිකාව ඉදිරියට යෑමක් හෝ සිදුකෙරුණේ නැත.


2017
මේ අතර පළාත් පාලන ඡන්ද ක්‍රමය සහ පළාත් සභා ඡන්ද ක්‍රමය ද සංශෝධනය කිරීමේ කටයුතු 2017 වර්ෂය වන විට ඇරඹී තිබුණි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) සහ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු අතර, මේ වන විට පළාත් සභා තුනක නිල කාලය ද අවසන් වී තිබුණි. එවකට සක්‍රීය සියලු පළාත් සභාවල නිල කාලය එකම දිනයක දී අවසන් කිරීම සඳහාත්, සියලුම පළාත් සභාවල ඡන්ද විමසීම එකම දිනයක දී පැවැත්වීම සඳහාත් වූ “විසිවෙනි ව්‍යවස්ථා සංශෝධන” පනත් කෙටුම්පතක් ආණ්ඩුව විසින් ගෙන එන්නේ මෙවන් වටපිටාවක් තුළදී ය. එකී පනත් කෙටුම්පත 2017 අගෝස්තු 23 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඉනික්බිති පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගය‍ට ලක් කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් 2017 සැප්තැම්බර් 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයකින්ද, ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බව නිවේදනය කරන ලදී. එම සංශෝධනය පිළිබඳ ඉදිරි කටයුතු ඉන්පසුව සිදුවූයේ නැත.


2018
නැවත “විසිවෙනි සංශෝධනයක්” පාර්ලිමේන්තුව හමුවට පැමිණෙන්නේ 2018 වසරේදී ය. මෙවර පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙසිනි. 2018 සැප්තැම්බර් 5 වැනි දින එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා විසිනි. සංක්ෂිප්තයක් වශයෙන් ගත් කල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර එම බලය පාර්ලිමේන්තුවටත්, අගමැතිවරයාටත්, පැවරීම ඉන් බලාපොරොත්තු විය. මෙම පනත් කෙටුම්පත ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගය‍ට ලක් කරන ලදුව එහි තීරණය 2018 ඔක්තෝබර් 9 වැනිදා පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී. එයට අනුව පනත් කෙටුම්පතේ බොහෝ වගන්ති 2/3 ක විශේෂ බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් ද, ඇතැම් වගන්ති විශේෂ බහුතර ඡන්දයකින් පමණක් ද සම්මත කළ යුතු විය. මෙම කෙටුම්පත පිළිබඳව ඉදිරි කටයුතු ද ඉන්පසුව සිදුවූයේ නැත.


2020
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දුවකට අනුව දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එකතු වූ බොහෝ කරුණු ඉවත් කිරීම ආදිය සඳහා නැවතත් “විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්” ගෙනැවිත් තිබේ. එය 2020 සැප්තැම්බර් 02 වැනි දින ගැසට් පත්‍රයේ පළ කරන ලදී. මෙය “විසිවන” සංශෝධනයක් ද, “විසිනොවන” සංශෝධනයක් ද යන්න ඉදිරි සති කිහිපය තුළදී තීරණය වනු ඇත.


2013/08/05

ඩෙංගු මැඩීමට කාවයියා ත්

මේ දිනවල නිතරම අසන්නට ලැබෙන මාතෘකාවකි ‘ඩෙංගු’. වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය බෝවීම වැඩිවන බවයි ඒ සම්බන්ධව කටයුතු කරන අංශ පවසන්නේ. එමනිසා ඩෙංගු මර්දන වැඩසටහන් ද නිතරම බොහෝ ප්‍රදේශවල දක්නට ලැබේ. මෙවැනි වැඩසටහන් තුළ දී වඩාත් අවධානයට ලක්වන්නේ ජලය එකතුවන කුඩා ස්ථාන (උදා: පොල් කටු, යෝගට් කෝප්ප ආදිය) පිළිබඳවයි. නමුත් ඒ හා සමානව අවධානය යොමු විය යුතු පිරිසිදු ජලය එක්රැස් වුණු තරමක් විශාල ජලජ පරිසර කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු නොවේ. ඒවා නම් ළිං පොකුණු ආදිය යි. මේවා වසා දමන්නටවත් මදුරු කීට නාශක රසායන යෙදීමටවත් නොහැකි ය. එසේ නම් හොඳම විසඳුම ජෛව පාලන ක්‍රමයක් වන අතර, සුදුසුම ජෛව පාලන ක්‍රමය මිරිදිය මසුන් ය.

කුඩා පොකුණක හෝ ළිඳක එක් මත්ස්‍යයෙක් හෝ දෙදෙනෙක් සිටීම වුවද ප්‍රමාණවත් ය. පොකුණේ මසුන් කුරුල්ලන්ගෙන් හෝ වෙනත් සතුන්ගෙන් ආරක්ෂා කිරීමට (ආවරණයක් වැනි) උපක්‍රමයක් යෙදීම ඔබ සතු කාර්යයකි. බොහෝ විට මෙවන් පරිසර සඳහා ගප්පි, ප්ලේටි වැනි මාළු වර්ග එක් කරන්නේ මේ හේතුවෙනි. නමුත් එම මත්ස්‍ය වර්ගවලටත් වඩා සුදුසු විශේෂයක් ලෙස කාවයියා (Anabas testudineus) යෝජනා කරමි. ඒ හේතු කිහිපයක් නිසාය.

සාමාන්‍යයෙන් කාවයියා හඳුන්වනු ලබන්නේ ‘පණ හයිය’ මත්ස්‍යයෙකු වශයෙනි. ඊට හේතු වී ඇත්තේ ඌ සතුව ඇති වායුගෝලයෙන් වාතය ලබාගත හැකි labyrinth organ නම් අවයවය යි. මේ නිසා තරමක් අපිරිසිදු ජලයේ පවා ජීවත් විමේ හැකියාව කාවයියාට ඇත. එමෙන්ම ලංකාව පුරා ඕනෑම පරිසරයක (ඉහළම කඳුකරය හැරෙන්නට) මේ මත්ස්‍යයාට ජීවත් විය හැකි අතර, ස්වාභාවික පරිසරයෙන් සොයාගැනීම ද පහසු වේ. සමහර මින්මැදුරු වලින් මේ මාළුවා ලබාගත හැකි මුත්, මිරිදිය ධීවරයෙක්ගෙන් හෝ ස්වභාවික පරිසරයෙන් ද සොයාගැනීම අපහසු නොවේ. කාවයියා සර්ව භක්ෂකයෙක් වන අතර මදුරු කීටයින් ආහාරයට ගැනීමට රුචිකත්වයක් දක්වයි. නමුත් ඉතා විශාලව වැඩුණු මසෙකුට වඩා කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ මත්ස්‍යයෙකු වඩා යෝග්‍ය වේ. ඔබගේ ළිඳට හෝ පොකුණට මේ වර්ගයේ එක් මත්ස්‍යයෙක් සිටීම ද ප්‍රමාණවත් ය.

උස්, වට ආවරණයක් නොමැති පොකුණක් නම් සැලකිලිමත් විය යුතු කරුණක් ඇත. එනම්, වැසි කාලයේ දී හෝ තෙතමනය සහිත වටාපිටාවක් හෝ ඇත්නම් කාවයියා පොකුණෙන් එළියට පැන ගමන් කිරීමට ඉඩ තිබේ. මෙවැනි ස්ථානයන් හි කාවයියාට ළඟ නෑකමක් දක්වන ගුරාමීන්, පුළුට්ටන් වැනි මසුන් ඇති කිරීම ද සුදුසු වේ.


පින්තූරය: http://en.wikipedia.org/wiki/Anabas_testudineus

2013/02/22

'පුරාවිද්‍යාවේ' අවධානය පිණිසයි

රටක ජාතියක උරුමය, අතීත ප්‍රෞඩත්වය, ලොවට කියාපාන්නේ පුරාවස්තූන්ගෙනි. පෙන්වන්නට එවන් දෑ නොමැති කෙටි ඉතිහාසයක් සහිත ඇමෙරිකාව වැනි රටකත්, ලංකාව වැනි රටකත්, වෙනස එයයි. එනමුදු ඒ අතීතයෙන් ලද දායාදයන් හි වටිනාකම අප කොතරම් දුරට අවබෝධ කරගෙන සිටීන්නේ ද යන්න ගැටලුවකි. ඇමෙරිකාවේ හෝ යුරෝපාකරයේ රටකට එවන් සම්පත් තිබුණා නම් ඔවුන් ඒවා දිවි දෙවෙනිකොට සුරකිනු නිසැක ය. එහෙත් අපට ඒවා ‘නිතර දකින කුකුලාගේ කරමලය’ සේ වී ඇත්දැයි වරෙක සිතේ.

අපේ රටේ පුරාවස්තූන් හා බුදු සමය අතර ඇත්තේ ඉතා සමීප සබඳතාවකි. ඒ බව මේ රටේ ඉතිහාසය නිවැරදිව උගත් ඕනෑම කෙනෙක් දනී. නමුත්, මෙකල පුරාවස්තූන් ආරක්ෂා කිරීම සහ ‍බෞද්ධ  සිද්ධස්ථාන රැකගැනීම ගැටලු සහගත තත්වයක් බවට පත්වන අවස්ථා නිතර දකින්නට ලැබේ. මා ලද එක් පුද්ගලික අත්දැකීමක් පහත සඳහන් කරමි.

ගල්ගමුව ප්‍රදේශයේ එක්තරා දුෂ්කර ගම්මානයක වනයට ගිලගත් කුඩා ආරණ්‍යයක් විය. මෙහි බ්‍රාහ්මී අක්ෂර කෙටූ විශාල ගල් කුටියක් ද වේ. අලි ඇතුන් නිතර ගැවසුණ ප්‍රදේශයකි. වල් බිහි වී තිබුණු නිසා මේ භූමිය වන සතුන්ගේ හා නිධන් හොරුන්ගේ ග්‍රහණයට නිතර ලක්වුණි. සමහර නිධන් හොරු එහි පැමිණ ඇත්තේ සිවුරු ද දරාගෙන ය. කෙසේ වෙතත්, මා දන්නා සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් මීට අවුරුදු කිහිපයකට පෙර එතැනට වැඩම කර, මහත් පරිශ්‍රමයක් දරා ඒ ස්ථානය එළි පෙහෙළි කර අවම පහසුකම් සහිතව ආරණ්‍ය සේනාසනය යළි පිහිටුවන ලදී. එතෙක් ආගමික සිද්ධස්ථානයක් නොතිබූ ගම්වැසියන්ගේ නොමද උපකාරයද උන්වහන්සේට ලැබුණි. මේ අතර ටික කලකට පසු උන්වහන්සේට ආරණ්‍යයෙහි කුඩා කුටියක් සැදවීමට අවශ්‍ය විය. එහෙත් එතැනදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරස් විය. ඒ, එම භූමියේ කුමන හෝ ඉදිකිරීමක් සිදුකිරීමට නම් ‘පුරාවිද්‍යාවේ’ අවසරය අවශ්‍ය වූ බැවිනි. මෙපමණ කාලයකට එම ස්ථානය තිබේදැයි ද කියාවත් නොසෙවූ නිලධාරීන්ට ඒ ගැන සොයා බැලීමට සිතුණේ ද එවිටයි. කෙසේ හෝ සෑහෙන කාලයක් ඉක්ම යෑමෙන් පසු එම එදිකිරීම කරගෙන යෑමට උන්වහන්සේට අවසර ලැබුණි. අද ඒ ස්ථානය සිත් පහන් කරවන කුඩා අරණකි. එහි පුරාවිද්‍යා වටිනාකමක් ඇති වස්තූන්ට අබමල් රේණුවකවත් හානියක් සිදු වී නැත. ඒවායේ සුරක්ෂිතතාව ආරණ්‍යය නිසා තහවුරු වී ඇත. උරුමය ද, සමය ද, දෙකම රැකුණා සේය.

නමුත් සමහර ස්ථානවල තත්ත්වය මෙසේ නොවේ. ලංකාවේ බොහෝ ඓතිහාසික වැදගත්කමක් ඇති ගල්ලෙන් වැනි ස්ථාන පවා ආරක්ෂා වූයේ කුඩාවට හෝ විහාරස්ථානයක් පැවති නිසාය (උදා: බෙලිලෙන, බටදොඹලෙන). නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පැමිණ කැණීමක් කර යම් කිසි සාධකයක් සොයාගත් විට කරනුයේ පන්සල වසා දමා භික්ෂූන් වහන්සේ ද එයින් පිටමං කිරීමට කටයුතු සැලැස්වීමයි. එයින් එම පුරාවස්තු දැඩි අනාරක්ෂිතභාවයට පත් වේ. ‘පුරාවිද්‍යාවට’ ඒ සෑම ස්ථානයක්ම ආරක්ෂා කිරීමට සෑහෙන සේවක පිරිසක් ද නොවේ. ඒ බව මෑතකදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාම තහවුරු කළේ මුළු නැගෙනහිර පළාතේ ම පුරාවිද්‍යා කාර්යයන් සඳහා යෙදවීමට ඇත්තේ නිලධාරීන් අතළොස්සක් බව පවසමිනි. එය බරපතලම තත්ත්වයක් වන්නේ නැගෙනහිර පළාත යනු ශ්‍රී ලංකාවේ පුරාවස්තු හා පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථාන බහුලවම ඇති පළාතක් බැවිනි. නිවැරදි සංගණනයක් හා අලුතින් කැණීම් සිදුකළහොත්, එවන් ස්ථාන වැඩි වශයෙන්ම ඇති පළාත වන්නට ද බැරි නැත.

කළ යුත්තේ පුරාවිද්‍යා නිලධාරීන් තව තවත් බඳවා ගැනීමය. නැතහොත් ආගමික ස්ථාන හා සබැඳි පුරාවිද්‍යා ස්ථාන, ඒවායේ භාරකාරත්වයට යටත් කිරීමය. එයින් රටේ උරුමය ද, බුදු සසුන ද, යන දෙකම රැකේ. එසේ නොවුණහොත් සිදුවන්නේ ජාතියේ උරුමය පිළිබඳ කිසිම හැඟීමක් නැතියවුන් මේවා විනාශ කිරීම හෝ විකෘති කිරීම ය (උදා: දීඝවාපි, කූරගල). එසේත් නැතිනම් කිසිදාක අනාවරණය කරගත නොහැකි සේ උරුමය යටපත් වී වල් බිහි වීමය.

2012/10/09

ක්‍රිකට් ලංකාවේ ජාතික ක්‍රීඩාව විය යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලොව විස්සයි-20 අනුශූරයන් බවට පත්විය. තවත් විදියකින් කිවහොත් (තවත් වරක්) අවසාන තරඟය පැරදුණහ. එහෙත් පසුගිය පස් වසර තුළ ක්‍රිකට් ලෝක ශූරතා තරඟාවලි හතරක අවසන් තරඟ සඳහා සුදුසුකම් ලැබීමට දක්ෂ වූහ.

ක්‍රිකට් ලංකාවේ නිල නොවන ජාතික ක්‍රීඩාවයි. නිල ජාතික ක්‍රීඩාව වොලිබෝල් ය. ජාතික ක්‍රීඩාව හුදෙක් නමට පමණක් නොවිය යුතුය. ජාතික පුෂ්පය, ජාතික පක්ෂියා, ආදී ලෙසින් ජාතික ක්‍රීඩාව සැබැවින්ම 'ජාතික' ක්‍රීඩාවක් විය යුතුය. එකම මොහොතකදී ජාති, කුල, ආගම්, දේශපාලන භේදවලින් තොරව මේ රටේ බහුතර ජනයා ඒකාත්මික කළ හැකි ක්‍රීඩාවක් වේ නම් එය ක්‍රිකට් පමණි.

වොලිබෝල් ඉතා හොඳ ක්‍රීඩාවක් වුවද, ක්‍රිකට් ක්‍රීඩාව මෙරට තුළ ඇතිකරන බලපෑම එයට කිසිසේත් කළ නොහැකිය. 1996 න් පසුව ලංකාව ලෝකයට ගෙන ගියේ ද ක්‍රිකට් ය. බොහෝ පිටරැටියන් ලක් කොදෙව්ව ලෝක සිතියමේ සොයන්නට පටන් ගත්තේ ද ඉන්පසුවය. දැනට ජාතික ක්‍රීඩාව ලෙස වොලිබෝල් නම් කිරීමේ පදනම මට නම් නොතේරේ. ක්‍රිකට් සේම වොලිබෝල් ද වෙන රටක උපන් ක්‍රීඩාවකි. වොලිබෝල් ක්‍රීඩාව ලොවට දායාද කළේ ඇමෙරිකානු ජාතික විලියම් මෝර්ගන් මහතායි. ජාතික ක්‍රීඩාව දේශීය ක්‍රීඩාවක් විය යුතු නම් මම එයට ද එකඟ වෙමි. එවිට එල්ලේ වැනි ක්‍රීඩාවක් තෝරාගත හැකිය. නමුත් ජාතික ක්‍රීඩාව වීම සඳහා වොලිබෝල් වලට වඩා ක්‍රිකට් ක්‍රීඩාව සියලු සුදුසුකම් සපුරා ඇත. මීට දශක කිහිපයකට පෙර ඉහළ පැලැන්තියට සීමා වුවද, අද එය සියලු ලාංකිකයන්ගේ ක්‍රීඩාවකි. යාචකයාගේ පටන් රටේ ධනවත්ම පුද්ගලයා දක්වා එකසේ විඳින ක්‍රීඩාවකි. පෙර සඳහන් කළ පරිදි ක්‍රිකට් ජාතියේ ක්‍රීඩාව වී හමාරය. එය ජාතික ක්‍රීඩාව කරවීම නිසි දේට නිසි තැන දීමක් වනු ඇත.

2012/09/05

තවත් ආකාරයක වීරයෙක්

පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම වරට පදක්කමක් දිනාගැනීමට ප්‍රදීප් සංජය ඊයේ සමත් විය. මීටර් 400 T46 වර්ගීකරණය යටතේ ධාවනයේ යෙදෙමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට හෙතෙම සමත් වූයේ නව කලාපීය වාර්තාවක් ද පිහිටුවමිනි. ඔලිම්පික් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් ද කිසිවක් ලීමට නොහැකි වූ නිසා මේ ගැන යමක් කිව යුතු යැයි සිතීමි.

ඔලිම්පික් තත්ත්වයට පැමිණිමට ක්‍රීඩකයෙක් දරන පරිශ්‍රමය අතිමහත්ය. බොහෝ විට ඔවුන් ඒ සඳහා අවතීර්ණ වන්නේ කුඩා කල සිටම ය. පසු කලක ක්‍රීඩාවක් කිරීම ආරම්භ කළ ද, ඒ සඳහා දින, මාස, අවුරුදු ගණනක් ඉමහත් කැපවීමකින් පුහුණු වෙති, කැපවීම් කරති. ඒ නයින් ඔලිම්පික් වැනි ක්‍රීඩා උළෙලක දී අවසන් තරඟයකට වුව සහභාගී වීමට වරම් ලබාගන්නා ක්‍රීඩකයන් සැබැවින්ම ඔවුන් නියෝජනය කරන රටවල වීරයෝ වෙති. පැරාලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වනුයේ ආබාධිත පුද්ගලයන් සඳහාය. T45, T46 ආදී මේ වර්ගීකරණ සිදුකරනු ලබන්නේ ඒ ඒ ක්‍රීඩකයන්ගේ ආබාධිත මට්ටම අනුවයි. උදාහරණයක් වශයෙන්, ජවන ඉසව්වන්හි T46 කාණ්ඩය යටතට ගැනෙන්නේ තනි අතක වැලමිටෙන් ඉහළ/පහළ පමණක් ආබාධිත තත්ත්වයට පත් ක්‍රීඩකයින් ය. මේ පිළිබඳ වැඩිමනත් විස්තර අන්තර්ජාලයෙන් සොයා බලන්න. (ප්‍රදීප් සංජයගේ වමත පණ නැති වී තිබෙන්නේ යුධ බිමේදී මෝටාර් ප්‍රහාරයකට ලක්වීමෙනි)

මේ අනුව බලන කළ ප්‍රදීප් ගේ ජයග්‍රහණය සුවිශේෂී එකක් ය. ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන ඔහු දැන් තවත් ආකාරයකින් ද වීරයෙක් බවට පත් වී ඇත. ඒ, ලොව පුරා එම අංශයෙන් වඩාත්ම දක්ෂ ක්‍රීඩකයන් අතලොස්ස අතරින් තෙවැනි ස්ථානය හිමි කරගනිමිනි. එය කිසිසේත් සුළු කොට තැකිය නොහැකිය. ඔහුට ජයග්‍රාහී අනාගතයක් පතන අතර ඉදිරියේදී තවත් මෙවන් ජයග්‍රහණ ලබාගැනීමට අපේ ක්‍රීඩකයින්ට හැකි වේවායි පතමි.

2012/02/21

මහා සංචාරකයා

සංචරණය කරන්නේ සංචාරයකයා ය. එසේ නම් මහා සංචාරකයා කෙබඳු කෙනෙක්ද? බොහෝ තැන්හි සංචාරය කළ අයෙක් විය යුතුය. සියලු ආකාරයේ ස්ථානවලට ගමන් කළ අයෙක් විය යුතුය. තමා මහා සංචාරකයෙක් ලෙස හඳුන්වා ගන්නා පනාපුත්‍ර කුහුඹුපැණියා හැරුණුකොට එවන් කෙනෙක් දැක නැත්තෙමි. එයින් කියවෙන්නේ එවන් අය නැති බව නොවේ. එමටය. මම ද පුංචි පහේ සංචාරකයෙක්මි. මාගේ හුදකලා චාරිකා ආරම්භ කර දැන් අවුරුදු අටකටත් වැඩිය. එහෙත් ලංකාවේ විසූ ශ්‍රේෂ්ඨතම සංචාරකයා එසේත් නැතිනම් මහා සංචාරකයා කවුරුන්දැයි කෙනෙක් මගෙන් ඇසුවොත් පිළිතුර වළගම්බා රජු වන්නේය.

එතුමා අහසින් ගමන් කළ බවක් හෝ මුහුදු පතුලෙහි ගවේෂණයේ යෙදුණු බවක් හෝ රට රටවල සංචාරය කළ බවක් හෝ දැනගන්නට නැතත්, ජනප්‍රවාද හා යම් යම් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව මේ දිවයිනේ අස්සක් මුල්ලක් නෑරම කරක් ගැසූ බව පෙනේ. පානම් පත්තුවේ සිට ගම්පහටත්, ගිරුවා පත්තුවේ සිට වන්නියටත් වළගම්බාවෝ සිටි බවට පැවසෙන, පවසන තැන් බොහෝ ය. ජනප්‍රවාදයේ එන බැවින් මේ සියල්ල සත්‍ය නොවේ යැයි සිතුව ද, ඉන් ස්ථාන කිහිපයක හෝ වාසය කළා යයි සිතුවත් එය ද අති විශාල ප්‍රමාණයකි. මගේ නිගමනය තහවුරු නොවන්නේද? ලක් ඉතිහාසයේ මහා සංචාරකයාණෝ එතුමා ය.

මෙකල ජනයා සංචාරය කරන හේතු බොහෝ ය. විනෝදාංශයක් වශයෙන්, රැකියාවේ අංගයක් වශයෙන්, අධයාපන සහ ගවේෂණ කටයුතු සඳහා, ආදී වශයෙනි. නමුත් වළගම්බා රජු සංචරණයේ යෙදුණේ ඒ නිසා නොවේ. මුලින් පණ බේරා ගැනීමටය. දෙවනුව රට බේරා ගැනීමටය. සැඟව සිටින්නට සිදුවූයේ ද එබැවිනි. ඔහුට එය කරන්නට සිදුවිය. හෙතෙම මහා සංචාරකයෙක් යන මගේ අදහස ප්‍රතික්ෂේප කරන කෙනෙකුට ප්‍රශ්නාර්ථයක් නැගිය හැකි තැනකි ඒ. පිළිගනිමි. ඒත් ඔහු සංචාරය කළේය. ජීප් එකේ, බයික් එකේ නොවේ, බොහෝ විට පයින්ම වන්නට ඇත. රජෙකුගේ ගාම්භීර වාහනය වූ දෝලාව ද භාවිතා නොකරන්නට ඇති බව සුළු බුද්ධියක් ඇතියෙකුට පවා වැටහේ. නමුත් යම් විටක කරත්තයක් හෝ අශ්වයෙක් භාවිතා කරන්නට ඇත. එයද, වනගත නොවී මාර්ග භාවිතා කළා නම් පමණි.

මින්පසු ඔබ සංචාරය කරන යම් තැනෙක වළගම්බා රජු සිටි බව පැවසේ නම්, එතුමා සිහි කරන්න. එතුමාගේ කායික මානසික අධිෂ්ඨාන ශක්තිය, වීර්යය අගය කරන්න. අවුරුදු ගණනකින් පසු හෝ ආක්‍රමණිකයින් පරදා ලක් මව එක්සේසත් කර, රට දැය නගා සිටුවීමට එතුමාට හැකි වූයේ එබැවිනි.

2011/12/13

අප භාවිතා කරන දිනදසුනේ අධි පෝය අවුලක්ද?

ලෝකයේ දිනදර්ශන බොහෝමයකි. ඉන් එක් දිනදර්ශනයක් වන 'මායා' කැලැන්ඩරයේ යෙදීමකට අනුව ලබන වසරේ දෙසැම්බර් මාසයේ දී ලෝක විනාශයක් සිදුවන බවට සමහරු විශ්වාස කරති. මේ වන විට එය තේමා කරගනිමින් චිත්‍රපට ද නිපදවා ඇත. තවත් සමහරුන් ලෝක විනාශයෙන් බේරීමට හෝ ලෝක විනාශය සිදුවද්දී තමන් බේරීමට මඟක් ගැන හෝ කල්පනා කරති. දිනදසුනක් ඇති කළ කලබගෑනියක තරම!

අපේ රටේ ද දිනදර්ශන ක්‍රම කිහිපයක් භාවිතා වේ. ලංකාවේ සම්මත දිනදසුන වනුයේ ලෝකයේ බොහෝ රටවල භාවිතා වන ග්‍රෙගරියන් කැලැන්ඩරයයි. මෙම දිනදසුන 13 වැනි ග්‍රෙගරි පාප්තුමා විසින් මීට වසර 400 කට පෙර හඳුන්වා දෙන ලද්දකි. එහෙත් එහි කිසිදු විද්‍යාත්මක බවක් නැත. කෙටියෙන් කිවහොත් අංක ගණිතමය ගනුදෙනුවකි. මේ අතර, නොයෙක් ආගම් මත හා ජාතීන් මත පදනම් වූ, ඒ අනුව බිහි වූ දිනදසුන් බොහෝමයකි.

උදාහරණයක් වශයෙන් ගතහොත් මුස්ලිම්වරු 'හිජ්රි' කැලැන්ඩරය භාවිතා කරති. ඔවුන්ගේ සියලු ආගමික හා සංස්කෘතික අංග ඒ අනුව සිද්ධ වේ. මේ අතර බෞද්ධ දිනදර්ශනයක් ද පවතී. බුද්ධ වර්ෂ ක්‍රමය නොහොත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ සිට ගත වූ කාලය දක්වන්නේ එයිනි. එමෙන්ම, සිංහල මාස ක්‍රමයක් ද පවතී. බක්, වෙසක්, පොසොන්, ආදී වශයෙන් භාවිතා වනුයේ එයයි. නමුත් භාවිතාවේ පවතින්නේ පෙර කී බෞද්ධ දිනදර්ශනයේත්, සිංහල ක්‍රමයේත් සම්මිශ්‍රණයකි. මෙහිදී බුද්ධ වර්ෂ අනුසාරයෙන් වසරත්, සිංහල ක්‍රමයෙන් මාසයත්, සඳ අනුව තිථියත්, දවසත් එකට එකතු කර සම්පූර්ණ දිනයක් පවසනු ලැබේ. මෙය ඉතා යහපත් නාමකරණයක් වුවද, සාංවත්සරික වශයෙන් සමරන දින සඳහා යොදා ගැනීමේ දී යම් අවුලක් තිබේ.  එයට හේතු වී ඇත්තේ පෝය මත පදනම් වූ චන්ද්‍ර මාස ක්‍රමයත්, සූර්ය මාස ක්‍රමයත් එකට මිශ්‍ර වීම නිසා යැයි මට හැඟේ. මේ ක්‍රම ද්විත්වයේම ඒවාට ආවේණික ප්‍රයෝජන තිබේ. දින සහ මාස නිවැරදිව හැඳින්වීම සඳහා චන්ද්‍ර මාස ක්‍රමය වඩාත් සුදුසුය. සෘතු ආදී පෘථිවිය සූර්යයා වටා යන ගමන නිසා ඇතිවන වෙනස්කම් හා අනුරූපණය වීම සඳහා සූර්යය මාස ක්‍රමය වැදගත් වේ. එසේ නම් අවුලක් පෙනෙන්නට තිබෙන්නේ ඇයි? එය අපගේ භාවිතාව නිසා පැන නැඟුණකි. කෙටියෙන් කිවහොත් සාංවත්සරික සැමරුම් හා අධි පෝය සංකල්පය නොවන්නට මෙය ප්‍රශ්නයක් නොවනු ද නැත.

කාරණය තේරුම් ගැනීමට ලබන වසර උදාහරණයක් ලෙස ගනිමු. 2012 වසරේ අගෝස්තු මාසයේ (සම්මත බටහිර කැලැන්ඩරය අනුව) පොහොය දින දෙකකි. ඒ නිකිණි සහ අධි බිනර යනුවෙනි. මුළු වසරටම පෝය දින 13 කි. සෑම අධික අවුරුද්දකම අධි පෝයක් යෙදෙන බැවිනි. බුදුරදුන්ගේ තෙමඟුල ප්‍රධාන කොටගත් සියලු ආගමික සංවත්සර ආදිය බටහිර කැලැන්ඩරයේ ඒ ඒ සම්මත මාසවල නොවරදවාම යෙදේ. නිදසුනක් වශයෙන් වෙසක් සැමරුම සෑම වසරකම මැයි මාසයේ ම යෙදේ. පෝය 13ක් තිබුණා කියා වෙසක් සැමරුම ඊළඟ වසරේ අප්‍රේල් මාසයේ සැමරෙන්නේ නැත. බුද්ධ ශාසනය තුළ වාර්ෂිකව නියමිත කාලයකටම යෙදෙන සිදුවීමක් වශයෙන් වස් සමාදන් වීම පෙන්වා දිය හැකි අතර එය බුදුරජාණන්වහන්සේගේ නියමයක් අනුව ම සිදු වන්නකි. වස් සමාදන් වනුයේ වර්ෂා කාලයේ ය. ශාසන ඉතිහාසයේ වාර්තා වන සියලු වැදගත් සිදුවීම් යෙදී ඇත්තේ ද ප්‍රධාන පෝය දිනවලය. බුදුන් දවස අධි පෝය දිනයක් පිළිබඳව කිසිදු තැනක වාර්තා නොවේ. මෙයට හේතුව කුමක්ද යන්න ඉතිහාසඥයන් විසින් සොයා බැලිය යුතු කරුණකි. නැතහොත් අප සමරන සම්බුද්ධ ජයන්තිය ආදී සංවත්සර නිවැරදි නොවේ යැයි කෙනෙකුට තර්කයක් ඉදිරිපත් කළ හැකිය. එපමණද, මෙය බටහිර ක්‍රමය අනුගත කරගැනීමට ගොස් ඇති කරගත් අවුලක් වශයෙන් ද අර්ථ දැක්වීමට ඉඩ ඇත. එනිසා නිරවුල් අවබෝධයක් ඇති දැනුමැති කෙනෙක් මේ පිළිබඳව පැහැදිලි කීරීම ඉතා වටනේය.

2011/12/03

පඩි වැඩි වීම

මෙවර අයවැයෙන් රජයේ සේවකයින්ගේ පඩි වැඩි වුණි. පඩි වැඩිවීමක් යැයි පැවසුව ද, වැඩි වූයේ මූලික වැටුප නොවේ. දීමනාවකි. කෙසේ වුවද පඩිය වැඩි වුණි. මම නම් මෙලෙසින් පඩි වැඩිවෙනවාට අකැමැත්තෙමි. බොහෝ දෙනෙකුට මේ බව පැවසූ විට ඔවුහු මාත් සමඟ විවාදයකට පැටලෙති. ඊට එකඟ නොවෙති. එය සාධාරණය. එය ස්වාභාවිකය. එය එසේ නම් මා සිතන ආකාරය අස්වාභාවික විය යුතුය. නැත. මෙලෙස සිතන්නට මට සාධාරණ හේතු තිබේ.

පළමුවැන්න නම් මෙලෙස වැටුප වැඩිවන්නේ රජයේ සේවකයන්ගේ පමණකි. රටේ බහුතරයක් වූ පුද්ගලික අංශයේ සේවකයන්ට මේ පඩි වැඩිවීම බලනොපායි. දෙවැන්න නම් දීර්ඝ කාලීනව මුදල බාල්දු විය හැකි බැවිනි. පැහැදිලි කිරීම මෙසේයි. මගේ වැටුප වැඩිවන බැවින් අන් අයගේ වැටුප වැඩි වුණත් නැතත් මට කම් නැත. ඒ සිතිය හැකි එක් ආකාරයකි. නමුත් සාමාන්‍යයෙන් පවුලක සියලු දෙනාම රජයේ සේවකයෝ නොවෙති. ඒ අතර තවත් සමහරෙක් ගොවිතැන හෝ තමන්ගේම ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක හෝ නිරත වෙති. ඒ සියලු දෙනාගේම මාසික ආදායම මෙලෙසින් වැඩි නොවේ. නමුත්, රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ මුළු මහත් රටේම බදු ගෙවන ජනතාවගේ මුදලිනි. එයට, පෙර කී සියලු දෙනාම අයිති වෙති. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළ විට (දීමනා වශයෙන් හෝ) ඒ සඳහා අමතර වියදමක් දැරීමට රජයට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසා ඒ මුදල කොහෙන් හෝ සපයා ගත යුතුය. සාමාන්‍යයෙන් රජය විසින් එකී මුදල සොයාගනු ලබන්නේ ජනතාවගෙන් අය කරන බදු ආදී ගාස්තු වැඩි කිරීමෙනි. එවිට සිදුවන්නේ කුමක්ද? පෙර කී වැටුප වැඩිවුණ රජයේ සේවකයාටත්, වැටුප් වැඩිවීමක් නොලද පුරවැසියාටත්, වැඩියෙන් බදු ගෙවීමට සිදු වේ. එනම් වක්‍රාකාරව ඔවුන් සියලු දෙනාගේ ම වියදම වැඩි වේ. මෙයින් වඩාත් පීඩාවට පත්වන්නේ තම මාසික ආදායමේ කිසිදු වැඩිවීමක් නොලද පුද්ගලික අංශයේ සේවකයින් හා රජයේ සේවය නොකරන අතිමහත් බහුතරය ය. එනිසා මෙලෙසින් එක කොටසකගේ පමණක් මාසික ආදායම වැඩිවීම සාධාරණ නොවේ. එබැවින් සියලු දෙනාට සහනයක් දැනෙන ක්‍රමයක් යෝජනා කරමි.

මේ සඳහා සියලු පුද්ගලයන්ගේ මාසික ආදායම වැඩි වීම අනිවාර්ය නොවේ. ඒ වෙනුවට සියලු දෙනාගේ මාසික වියදම අඩු කිරීමෙන් ද ඒ හා සමාන ප්‍රතිඵලයක් ලබාගත හැකිය. මාසික වියදම අඩු වීම යනු මුදල් ඉතිරි වීමය. මෙය සිදුවන්නේ ජීවන වියදම අඩු වීමෙනි. ජීවන වියදම අඩු වීමට නම් රටේ සෑම ප්‍රදේශයකම භාණ්ඩ හා සේවා මිල අඩු විය යුතුය. අඩු කළ යුතුය. අවම වශයෙන් අත්‍යාවශ්‍ය යැයි ගැනෙන භාණ්ඩවල මිල හෝ අඩු වුවහොත් එය සියලු රටවැසියනට දැනෙනු ඇත. එවිට පඩි වැඩිවීමක් අනවශ්‍යය. රටේ උද්ධමනයට ද මෙය හිතකර ලෙස බලපායි.

මා පෙර සඳහන් කළ දෙවන හේතුව බදු නිසා භාණ්ඩ හා සේවා මිල වැඩිවීම මත පදනම් වේ. එක් අතකින් ආදායම වැඩි කළ ද අනෙක් අතින් බදු නිසා බඩු මිල වැඩි විය හැකිය. ප්‍රතිලය කුමක්ද? මුදල බාල්දු වීමයි. මෑතකදී ලෝකයේ සමහර රටවලින් මෙවැනි තත්ත්වයන් වාර්තා වී තිබේ. එම රටවල ජනතාව පාන් රාත්තලක් මිලදී ගැනීමට පවා මුදල් නෝට්ටු මිටියක් රැගෙන යන තත්ත්වයට පත්වුණි. එවැනි තත්ත්වයකට අපේ රට පත්විය යුතු නැත. සමහරවිට රු 5000 මුදල් නෝට්ටුවක් මුද්‍රණය කරන්නට මහ බැංකුවට සිදුවූයේ ද මේ නිසා වන්නට පුළුවනි.

එමනිසා අප සාම්ප්‍රදායික "වැටුප් වැඩි කරනු" චින්තනයෙන් මිදිය යුතුය. ඒ වෙනුවට ජීවන වියදම අඩු කරන ක්‍රම ගැන සිතිය යුතුය. වගකිවයුත්තන් ජීවන වියදම අඩු කිරීමට ගතහැකි ක්‍රියා මාර්ග ගත යුතුය. එය අපේ රටේ ආර්ථිකයේ යහපැවැත්ම පිණිස ද සියලු පුරවැසියන්ගේ යහපත් ජීවන තත්ත්වයක් පිණිස ද හේතු වනු ඇත.

2011/08/25

උපවාසය

මේ ගතවන්නේ මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ මාසය හෙවත් 'රාමසාන්' මාසයයි. මෙම මාසය තුළ මුස්ලිම් බැතිමත්හු දිනපතා උපවාසයේ යෙදෙති. එනම් අලුයම් කාලයේ සිට සවස් වරුව දක්වා ආහාර පාන ගැනීමෙන් වැළකී සිටිති. ඉස්ලාම් ආගමේ මෙන්ම සමහර කිතුණුවන් ද, කතෝලික බැතිමත්හු ද, (උදා:- පාස්කු සමයේ දී) උපවාසයේ යෙදෙති. මේ ආගම් ද්විත්වයේම සම්භවය මැද පෙරදිග කලාපයේ සිදු වුවද, සංකල්පයක් ලෙස 'උපවාසය' වූ කලී පෙරදිගට වඩාත් නැඹුරු වූ එකකි.

හින්දු ආගමේ දී උපවාසය සඳහා වැදගත් තැනක් ලැබේ. ඊට අමතරව ජෛන වැනි ආගම්වලද මේ සඳහා සුවිශේෂී තැනක් හිමි වේ. මූලිකව භාරතය හා එහි ශිෂ්ටාචාර ආශ්‍රයෙන් පැන නැගි ආගම් හා දර්ශන බොහෝමයකම මෙය දක්නට ලැබේ. බුදු දහම උපවාසය ප්‍රතික්ෂේප කරනුයේ එය මධ්‍යම ප්‍රතිපදාවට පටහැනි වන බැවිනි. ශරීරයට අධික සැප දීමත්, අධික දුක් දීමත්, මැදුම් පිළිවෙතින් බැහැර කෙරේ. එනමුදු, ආධ්‍යාත්මික හා කායික සුඛ විහරණය පිණිස භික්ෂුන් වහන්සේලා විකාල භෝජනයේ (ඉර හැරුණු පසුව ආහාර ගැනීම) නොයෙදිය යුතු බවට විනය නීතියක් තිබේ. පෝය දිනවල පෙහෙවස් සමාදන් වන ගිහියන් ද මේ ශික්ෂා පදය සමාදන්ව ආරක්ෂා කරති. එය උපවාසයක්ම නොවුණත්, සන්ධ්‍යා වරුවේ සිදුකරන ආහාර වර්ජනයක් සේ අවශ්‍ය නම් සැලකිය හැකිය.

ඉහත සාකච්ඡාවට බඳුන් වූයේ උපවාසයේ ආගමික පැතිකඩකි. එනමුත් පෙරදිග ශිෂ්ටාචාරයන් හා සංස්කෘතීන්හි ප්‍රමුඛස්ථානයක් ගත් ඉන්දියාවෙන්ම උපවාසය සඳහා වෙනත් අර්ථකථනයක් ද නිර්මාණය වුණි. එහි පුරෝගාමියා මහත්මා ගාන්ධිතුමාය. එතුමා සිය අවිහිංසාවාදී ප්‍රතිපත්තිය තුළට උපවාසය ඈඳා ගත්තේ අධිරාජ්‍යවාදීන්ගේ මර්ධනයට එරෙහිව නැගී සිටීමටත්, සමාජ දේශපාලනික බලපෑමක් ඇති කිරීම පිණිසත් ය. ඔහුගේ ජීවිත කතාව අධ්‍යයනය කළ කෙනෙකුට දැන ගත හැකි තවත් කරුණක් වනුයේ, ගාන්ධි සිය ශරීර සෞඛ්‍යය වෙනුවෙන් ද, ආධ්‍යාත්මයේ නිර්මාණය වුණු අපවිත්‍ර සිතුවිලි මර්ධනය පිණිස ද, උපවාසය යොදාගත් බවයි. ගාන්ධි මෙන් පූර්ණ අවිහිංසාවාදී ප්‍රතිපත්තියක නොපිහිටිය ද, ඔහු අනුගමනය කරමින් ඒ මගේ ගමන් කරන චරිතයක් ලෙස සමාජ ක්‍රියාකාරිකයකු වන අන්නා හසාරේ හැඳින්විය හැකිය. මේ ලිපිය ලියන මොහොත වන විටත් හෙතෙම නොකඩවා උපවාසයක යෙදී දින දහයකි. ඒ, ඉන්දියාව තුළ දූෂණ වංචා පිටුදැකීමේ නීති ගෙන එන ලෙසට ඉන්දීය රජයට බල කිරීම සඳහාය.

අපේ රටේ ද නොයෙක් විට නොයෙක් දෙනා උපවාස කරති. ඒ අතර, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, දේශපාලඥයන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ආදිය වේ. මේ උපවාස සඳහා විටෙක භික්ෂුන් වහන්සේලා ද එක්වෙති. බොහෝ විට උපවාසයේ මුලට 'මාරාන්තික' යන විශේෂණය ද එක්කර ගනී. එනමුත්, මා සිතන ආකාරයට නම් මෙවැනි උපවාස සියල්ලක්ම නිසර්ගයෙන්ම මාරාන්තික වේ. හේතුව, ඔවුන් උපවාසය අරඹනුයේ යම් ඉල්ලීමක් මුල් කරගෙන ද, එය ඉටුනොවන්නේ නම්, උපවාසය ද නොනැවතීමේ ඉඩක් පවතින බැවිනි. මහත්මා ගාන්ධි එක දිගට සති තුනක් උපවාස කළේ ද මේ නිසාය. ඒ තුළින් මේ සංකල්පයට අමුතුම අරුතක් ද ආරෝපණය විය.

2011/07/16

පොඩි හාමුදුරුවන්ගේ බණ ගිය දුරක්

ඊයේ පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ මංගල ධර්ම දේශනාව. උන් වහන්සේගේ වයස අවුරුදු 21යි. මහණ වෙලා තියෙන්නේ වයස අවුරුදු 10 දී විතර. දැන් කැම්පස් එකේ දෙවෙනි වසරේ. තමන්ගේ පළමුවෙනි බණ හොඳින් කියන්නට හාමුදුරුවෝ සමත් වුණා. බණ අතරතුර හාමුදුරුවෝ විශේෂ යමක් සඳහන් කළා;

"රාගය හා සමාන ගින්නක් නැහැ. මේකට ගිහි පැවිදි භේදයක් නැහැ. දැන් බලන්න, සමහර ගෑණු ළමයි, තරුණ කාන්තාවන් පන්සලට එනකොට ඇඳගෙන එන්න ඕන විදිය දන්නේ නැහැ. අඟ පසඟ පේන විදියට කොටට, හිරට ඇඳන් එනවා. අපි වුණත් තාම පෘථග්ජනයි. මේ තරුණ හාමුදුරුවරු හුඟ දෙනෙක් මහණ වුණේ පොඩි කාලේ. රාගික හැඟිම් ගැන අත්දැකීම් නැහැ. එවැනි සිතුවිලි යටපත් කරගෙන ඉන්නේ. එතකොට මේවා දැක්කාම මොකද වෙන්නේ? අද ලංකාවේ භික්ෂුන් වහන්සේලා 25000 ක් විතර ඉන්නේ. එයිනුත් තරුණ අය අඩුයි. හුඟ දෙනෙක් මෙවැනි හේතු නිසා සිවුරු ඇරලා යනවා. මේකෙන් වෙන්නේ ශාසනය පරිහානියට යන එකයි. ඒ නිසා වැඩිහිටියෝ තරුණ ළමයින්ට පන්සලට එන්න ඕන විදිය කියා දෙන්න ඕනෙ. එහෙම නැතුව එවන්න එපා…"

මේ කාරණය තරුණ භික්ෂුන් වහන්සේ නමකගේ කටින්ම කියවුණ එක වටිනවා. මොකද, උන්වහන්සේලා මුහුණ පාන තත්වය ගැන කියවුණ අවංක අදහසක් නිසා. මේ ඔස්සේ හිතද්දී ම මගේ හිතට අදහස් ගොඩක් ගලන්න ගත්තා.

ශාසනයේ පැවැත්ම හෝ පරිහානිය රඳා පවතින්නේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමාණය මතද? ශීලාදී ගුණධර්ම රකින අල්ප වූ හෝ භික්ෂු පිරිස මතද? පිළිතුර දෙවැන්න නම්, ඇයි අපි අඩු වයසෙන් මහණ කරන්නේ? බුදුහාමුදුරුවන්ගේ කාලේ වගේ අවබෝධයෙන් මහණ වෙන්නටම ඉඩ තියන්න පුළුවන්නේ. එහෙම වුණොතින් අර කලින් හාමුදුරුවෝ කියපු තත්ත්වයත්  මගහැරෙනවා. පුද්ගලිකව මාත් හිතන්නේ එය එසේ විය යුතු බවයි. ආරණ්‍යවාසී සම්ප්‍රදාය තුළ ක්‍රියාත්මක වන්නේ මේ ක්‍රමයයි. ඒත් ලංකාවේ අතීතයේ සිටම බුදු සසුන පැවත ආ විදියක් තියෙනවා. ඒ නිසා භික්ෂුවකට සමාජයීය වගකීමකුත් පැවරිලා. මේ හේතුව නිසා ග්‍රාමවාසී සම්ප්‍රදායේ දී පොඩි දරුවෙක් මහණ කරන්න යෙදෙන විදි කිහිපයක්ම තියෙනවා.

  • පිනැති දරුවෙක් පැවිදි වීමට ඇති කැමැත්ත ප්‍රකාශ කිරීම, දෙමාපියන් කැමැත්ත දීම (මෙය අවබෝධය නිසා හෝ සසර පුරුද්දක් නිසා සිදුවිය හැකිය)
  • දරුවාගේ කැමැත්තක් නැති වුවද, දෙමාපියන්ගේ/ඤාතීන්ගේ වුවමනාවට පැවිදි කරවීම (පවුල හා සම්බන්ධ සඟ පරපුරක් පවත්වා ගැනීමට හෝ 'හතර කේන්දරය පාළු වීම' වැනි ‍ජ්‍යෝතිශ්‍යමය හේතූන් නිසා)
  • දුප්පත්කම හේතුවෙන් මාපියන්ට දරුවා හදාවඩා ගැනීම, අධ්‍යාපනය ලබාදීම, ආදිය කළ නොහැකි නිසා පැවිදි කරවීම

ඔය ඉහත සඳහන් කරපු හේතු වලින් මම කතා කරන කාරණයට බොහෝ වේලාවට හේතු වෙන්නේ දෙවැනි හෝ තුන්වැනි කරුණු නිසා මහණ කරවන අය. සමහරු ළමා අයිතිවාසිකම් වගේ වචන අල්ලාගෙන කෑ ගැහුවාට ඒ දිහා අපි බලන්න ඕනෙ මධ්‍යස්ථ විදියට. අවබෝධයක් නැතුව මහණ කළාම ඔවුන්ට ළමා කාලයත්, තරුණ කාලයේ අත්දැකීමුත් නැතිව යනවා. එයින් ජීවිතය පිළිබඳව ලබන්න පුළුවන් ලොකු පාඩමක් නැති වෙනවා. ඒ කාලය වන විට මාර්ග ඵල අවබෝධ කරගන්නවානම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් (බොහෝ විට) සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි, මම මුලින් සඳහන් කරපු හාමුදුරුවෝ කියපු දේ. ඒත් එහෙම කෙනෙක් සිවුරු ඇරලා යනවා නම්, ඔහු ශාසනය තුළ සිටිනවාට වඩා යහපතක් ඒකෙන් සිද්ධ වෙන බවයි මගේ අදහස. මොකද, ප්‍රමාණයට වඩා ගුණාත්මක බව වටින නිසා. ශාසනය මනින්නේ ඔළු ගෙඩි ගණනින් නම් මේක අදාල වෙන්නේ නැහැ. අනික, සිවුරු ඇරියත් එවැනි පුද්ගලයෙක් බොහෝ විට සමාජගත වෙන්නේ දැන උගත්, යහපත් පුද්ගලයෙක් විදියට. ඒත් ගිහි සමාජය ගැන අත්දැකීම් හා අවබෝධය අඩු නිසා සමහරු අපහසුතාවයකට පත්වෙනවා.

දැන් මේ ඔස්සේ කල්පනා කළොත්, තුන්වැනි කාරණය නිසා මහණ කරවන එකේ ලොකු සමාජීය වැදගත්කමක් මම දකිනවා. ඒකෙන් අසරණ ළමයෙක්ට කන්න බොන්න, අධ්‍යාපනය ලබන්න, යහපත් ගුණධර්ම ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. කවදාහරි ඔහු සිවුරු හැර ගියත් යන්නේ නිකම්ම නිකම් හිස් පුද්ගලයෙක් විදියට නෙමෙයිනේ. හරි අපි හිතමු ඒ ළමයාව පැවිදි කළේ නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ. දුප්පත්කම නිසා මේ ළමයා හැදී වැඩෙන්නේ පීඩිත තත්ත්වයක් යටතේ. හරියට ඉගෙනගන්නේ නැහැ. යන්තම් තරුණ වියට එනකොට හොරකම් කරන්න ගනී, කුඩු ගහන්න ගනී, සමාජයට පිළිලයක් වෙයි. ඒ අතින් බැලුවාම පොඩි කාලයේ මහණ කරන එකෙන් ලොකු වටිනාකමක් එවැනි ළමයෙක්ට ලැබෙනවා. ඒත්, ශාසනයේ යහපැවැත්මට නම් ඒක සුභයි කියන්න බැහැ.

අන්තිමේදී, අපට අවශ්‍ය ශාසනයද? සමාජයද? මේ දෙකමද? මේ එකක්වත් නෙමෙයිද? කියන තැනට තල්ලු වෙලා. මේකට පිළිතුරු කවදා ලැබෙයි ද කියන්නත් දන්නේ නැහැ.

2011/07/05

මැතිව්ස් කළ දේ හරිද?

ඊයේ ලෝඩ්ස් පිටියේ පැවැති ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින තරඟයේ දී යොවුන් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ට ශතකය ලබා ගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කළ ආකාරය සමහරුන්ගේ විවේචනයට භාජනය වී තිබේ. මින් බොහෝ දෙනා ලාංකිකයන් නොවන අතර ඔවුන් සිය විවේචනය සාධාරණීකරණය කරනුයේ නායක තිලකරත්න ඩිල්ෂාන් හැසිරුණ ආකාරය ද ඒ සඳහා යොදා ගැනීමෙනි.

මැතිව්ස් පිටියට පිවිසියේ චන්දිමාල් සිය ශතකයට ලකුණු 13ක් පිටුපසින් සිටියදීය. ඒ වන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 17ක් අවශ්‍යව තිබුණි. චන්දිමාල්ට සිය ශතකය ලබාගැනීම සඳහා මැතිව්ස් ලකුණු ලබා ගැනීමෙන් වැළකී සිටි අතර ඔහුගේ ප්‍රථම ලකුණ ලබාගත්තේ මුහුණ දුන් 12 වැනි පන්දුවේ දීය. ඒ ඔහු ලබාගත් එකම ලකුණ ද වූ අතර තරඟය අවසානයේ පන්දු 21 කට මුහුණ දී සිටියේය. වරක් චන්දිමාල්ට එක ලකුණක් ලබා ගැනීමට අවශ්‍ය වුවද මැතිව්ස් විසින් ඔහු හරවා යවනු ලැබූවේ ඊළඟ පන්දු වාරයේ දී චන්දිමාල්ට ශතකය ලබා ගැනීමට මඟ පාදනු වස්ය. මේ වන විට නරඹන්නන්ගෙන් ද, එංගලන්ත ක්‍රීඩකයන්ගෙන් ද, පිතිකරුවන්ට දෝෂාරෝපණ එල්ල වනු දැකිය හැකි විය. ශ්‍රී ලංකා නායකයාගේ ඉවසීමේ සීමාව ද ඉක්මවා ගොස් ඇති බවක් පෙනෙන්නට තිබුණි. කෙසේ හෝ ඉනික්බිති චන්දිමාල් සිය දෙවෙනි එක්දින ශතකය වාර්තා කළේ 'ලෝන්ග්-ඔන්' කලාපයෙන් හයේ පහරක් එල්ල කරමිනි. මැතිව්ස් සිය ලාබාල සගයා කෙරෙහි තැබූ විශ්වාසය ඉන් තහවුරු විය.

මා නම් මේ සියල්ල තුළින් දුටුවේ අනාගත ශ්‍රී ලංකා නායකයෙකි. ඒ නම් ඇන්ජලෝ මැතිව්ස්ය. ඔහු කළ දේ නිවැරදි බව දැන් වඩාත් පෙනේ. පළමුව මෙය තරඟාවලියක් නොවේය. ඒ නිසා පන්දු කොපමණ අපතේ ගියත් එයින් බලපෑමක් නොවේ. මන්ද, දල ලකුණු වේගයක් නැති බැවිනි. දෙවනුව, ලෝඩ්ස් පිටියේ ශතකයක් ලබා ගැනීම ඕනෑම පිතිකරුවෙක්ගේ සිහිනයක් ය. එය නිතරම සැමටම ලැබෙන අවස්ථාවක් නොවේ. තෙවනුව, අවුරුදු 21ක් වැනි ලාබාල වයසකදී එවැනි දස්කමක් දැක්වූවෝ ඉතා අල්පය. මැතිව්ස් මේ සියල්ල දැන සිටි බවක් පෙණුනි. වඩා වැදගත්ම දේ නම්, තම පිතිකරු සගයා ගැන සිතීමය. එපමණක් නොව ඔහුට (චන්දිමාල්ට) ඒ හැකියාව ඇති බව විශ්වාස කර ඒ අවදානම ගැනීමය. මේ සියල්ල අතරතුර, අවට සියල්ලන්ගෙන්ම එල්ල වූ දැඩි පීඩනය ද ඔහු ගණනකට ගත්තේ නැත. තරඟය අවසාන විය යුතු සැටි ඔහු දැන සිටියා වැනිය. අවසන එය ඔහුට අවැසි ලෙසටම සිදුවිය.

මේ දෙදෙනාම වයසින් අඩු ක්‍රීඩකයන් වුවත්, ඔවුන් ක්‍රීඩා කළ ආකාරය පැසසිය යුතුය. මොවුන් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ය. කල් යත්ම වයසත්, තව තවත් තරඟවලට මුහුණදීමත් සමඟ ඔවුන් පන්නරය ලබනු ඇත. එබැවින්, ඉදිරියේ දී මොවුන්ගේ දක්ෂතා වඩ වඩාත් ඔප්නැංවෙනු ඇත.

2011/05/19

විජයග්‍රහණයට වසර දෙකයි: සිහි කළ යුතු තවත් පිරිසක්

සිතුල්පව්ව, තන්තිරිමලේ - මේ ස්ථාන දෙකම ඓතිහාසික හා ආගමික වශයෙන් ඉතා වැදගත් වූ සිද්ධස්ථාන දෙකක්. ගිය වසරේ වෙසක් පෝය මම ගෙව්වේ සිතුල්පව්ව විහාරස්ථානයේ. මේ වසරේ වෙසක් පෝය ගත කළේ තන්තිරිමලයේ. මේ හදන්නේ ඒ ස්ථාන පිළිබඳව කතා කරන්න නෙමෙයි. ඒත් ඒවායේ තිබෙන සමාන බවක් පෙන්වා ඒ තුළින් මාතෘකාවට පිවිසීමක් ලබා ගන්නයි.

සිතුල්පව්ව පිහිටා තිබෙන්නේ යාල වනෝද්‍යානය ඇතුළේ. අතීතයේ දොළොස් දහසක් රහතන් වහන්සේලා වැඩ සිටි තැනක්. පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් තැනක්. තන්තිරිමලය තියෙන්නේ විල්පත්තු වනෝද්‍යානය මායිමේ. ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඩ සිටි ස්ථානයක්. පුරා වස්තු ගහන අඩවියක්. මෙවැනි ගැලපීම් ඇති මේ ස්ථාන දෙකම මීට අවුරුදු තුන හතරකට විතර කළින් ඉතා අනාරක්ෂිත තත්ත්වයක තිබුණේ. ඒ කුරිරු ත්‍රස්තවාදී ක්‍රියා නිසා.

නමුත් අද ඒ පෙදෙස්වල මිනිස්සුන්ට නිදහසේ හුස්මක් කටක් ගන්න පුළුවන් වාතාවරණයක් සැකසිලා. ඉස්සර හවස් වෙනකොට වහපු පාරවල් අද ඇරිලා. ලංකාව වටේම ඉන්න ජනතාවට බියක් සැකක් නැතුව ගිහින් මේ ස්ථාන වැඳ පුදා ගන්න පුළුවන්. යුද්ධය නිම වෙලා, ත්‍රස්තවාදය අවසන් වෙලා අදට අවුරුදු දෙකයි. ඒ දවස්වල තර්ජිත ගම්මාන කියලා නම් කරපු මේ ගම්මානවලට අද ඒ ලේබල් එක නැහැ. මම මේ සටහන ලියන්නේත් ඒ ගම්වල නිර්භීත ජනතාවට උපහාරයක් විදියට.

අවුරුදු 30 ක් තිස්සේ පැවැති යුද්ධය නිසා විශේෂයෙන්ම නැගෙනහිර හා උතුරු මැද පළාත්වල ගම්මාන රාශියක් 'තර්ජිත' තත්වයට පත්වුණා. ඒ නිසා හුඟක් ගම්වල මිනිස්සු තමන්ගේ ගේ දොර ඉඩකඩම් අතහැරලා ගියා. ඒ මරණ බය නිසා. ඒ අතරේ ජීවිත නැති වුණත් ගම්බිම් අතහැරලා යන්නේ නැහැයි කියන දැඩි අධිෂ්ඨානයෙන් තමන්ගේ ගම්වල රැඳිලා ඒවා ආරක්ෂා කරගත් ජනතාව හිටියා. මේ වගේ වටිනා ස්ථාන රටට, ජාතියට, මතු පරපුරට ආරක්ෂා වුණේ ඒ නිසයි. ඔවුන් නොවන්නට ත්‍රස්තවාදීන් තව තවත් ප්‍රදේශ අල්ලගන්න ඉඩ තිබුණා. තමන්ගේ ආදරණීයන් එක එක්කෙනා ත්‍රස්ත උණ්ඩයට, බිම් බෝම්බයට බිලි වෙද්දීත් මොවුන් එඩිතරව ආරක්ෂක අංශ සමඟ එකතු වෙලා සතුරාට එරෙහිව සටන් කළා. ඒ අප්‍රමාණ දුක් විඳගෙන. සමහරවිට හරියට නොකා, නිදි මරමින්. තමන්ගේ ජීවිකාවත්, ළමයින්ගේ පාසල් අධ්‍යාපනයත් හරියට කරගන්න බැරිවයි ඔවුන් මේ කැපවීම් කළේ. ඒ අතරේ කටුක දේශගුණය එක්කත් ඔට්ටු වුණා.

ඉතින්, යුද ජයග්‍රහණයෙන් දෙවසර සමරන මේ මොහොතේ අපි ඔවුන්ට කෘතඥ වෙන්නට ඕනේ. ඉතිහාස පොත්වල ඔවුන්ගේ නම් සටහන් නොවෙන්න පුළුවන්. ඒත් සයිබර් අවකාශයේ නම් එහෙම වෙන එකක් නැහැ.