Header Title


උදනිඳුගේ සිතුවිලි

2023/12/19

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැබවින්ම කී වතාවක් සංශෝධනය වී තිබේද?

මෙම බ්ලොගයේ අවසන් ලිපියත් මේ ලිපියත් අතර කාලය තුළදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තවත් සංශෝධන දෙකක් එකතු වී තිබේ. අවසන් සංශෝධනය "විසි එක්වැනි සංශෝධනයයි". මේ අනුව, ව්‍යවස්ථාව විසිඑක් වතාවක් සංශෝධනය වී ඇති බව බැලූ බැල්මට කෙනෙකුට සිතෙන්නට හැකි මුත් සත්‍ය වශයෙන්ම එය සංශෝධනය වී ඇත්තේ විසි වතාවක් පමණි. ඒ ඇයි දැයි අපි විමසා බලමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ලැයිස්තුව සලකා බැලීමේ දී "දොළොස්වන සංශෝධනයට" විශේෂ තැනක් හිමි වේ. ඊට හේතුව එය නොපැනවූ සංශෝධනයක් ලෙස සඳහන් වීමයි. එනම්, එය නීතියක් බවට පත්නොවූවක් වීමයි. එවකට මහජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 1987 සැප්තැම්බර් මස 25 වන දින පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එකල පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 47(5) ට අනුව පෞද්ගලික මන්ත්‍රීවරයෙක්ගේ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය අදාළ විෂය හා කාර්යභාර අමාත්‍යවරයා වෙත යොමු කරයි. ඉන්පසුව එකී අමාත්‍යවරයා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන තුරු කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගනී. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන්ද ඇති වූයේ එවැනි තත්වයකි. එනම්, අමාත්‍යවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරුණි.

එය එසේ නම්, ඊළඟ කෙටුම්පත දොළොස්වන සංශෝධනය ලෙස හැඳින්වූයේ නැත්තේ ඇයි? ඒ, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් වී තිබියදී ම එම වර්ෂයේ ඔක්තෝබර් 09 වැනිදා රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ගෙන ආ බැවිනි. දොළොස්වන සංශෝධන කෙටුම්පත ද අදාළ මන්ත්‍රීවරයා විසින් ඉල්ලා අස්කර නොගත් නිසා එයද න්‍යාය පුස්තකයේ ඉතිරි විය. මේ ආකාරයට ඉන්පසුව දහහතර, පහළොව ආදී ලෙස සංශෝධන එකතු වෙමින් අද විසි එක්වැනි සංශෝධනය දක්වා පැමිණ ඇත.

මෙම දොළොස්වන සංශෝධනයේ අන්තර්ගතය වූයේ කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉතා කෙටි වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු වූ මෙම සංශෝධනය එක් පිටුවකට සීමා විය. එහි අරමුණ වූයේ පැවති 37(1) අනුව්‍යවස්ථාව සංශෝධනය කිරීමයි. ඒ මෙසේය:-

"රෝගාතුර වීම නිසා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා ජනාධිපතිවරයාට සිය ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමට සහ ඉටුකිරීමට නොහැකි විට ඒ කාල සීමාව තුළ ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටුකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා පත් කළ යුතුය. තවද, එම කාල සීමාව තුළ අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බැලීම පිණිස වැඩබලන ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ වෙනත් අමාත්‍යවරයකු පත් කළ යුතුය :

එසේ වුවද අග්‍රාමාත්‍ය ධුරය ඒ අවස්ථාව වන විට හිස්ව පවතී නම් හෝ අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති ධුරයේ වැඩ බැලීමට නොහැකි නම් ඒ කාලසීමාව තුළ ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටුකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කථානායකවරයා පත් කළ යුතුය."


මෙහි මූලික වෙනස්කම් වනුයේ පළමු ඡේදයේ මුල් වගන්තියේ දැක්වෙන තීරණය ගැනීමට ජනාධිපතිවරයාගේ "මතයට" තිබුණු ඉඩ ඉවත් කිරීමත්, පළමු ඡේදයේ සඳහන් වැඩ බලන අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කර වැඩබලන ජනාධිපතිවරයා වෙත පැවරීමත්, ඡේද ද්විත්වයේ ම "හැක්කේ ය" වෙනුවට "යුතුය" යන්න ආදේශ කිරීමත් යන කරුණු ය. මෙම කෙටුම්පතේ පිටපතක රූපයක් ලිපියේ පහළින් අමුණා ඇත.

තවද, මෙම සංශෝධනය ගෙන ඒමේ අරමුණ මා නොදන්නා මුත්, එවකට රටේ පැවති දේශපාලනික සන්දර්භය දන්නා දේශපාලන විචාරකයෙක් හට එය පැහැදිලි කළ හැකි වෙනු ඇතැයි සිතමි.


සිංහල පිටපත

ඉංග්‍රීසි පිටපත