Header Title


උදනිඳුගේ සිතුවිලි

2020/09/07

තෙවතාවක් “විසි වූ” විස්ස

මේ දිනවල ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වන මාතෘකාවකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලබන විසිවෙනි සංශෝධනය. ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ දක්වා දහනව වතාවක් සංශෝධනය වී ඇති අතර මීළඟට සිදුවන සංශෝධනය නිතැතින්ම විසිවැන්න බවට පත් වේ. කෙසේ වෙතත් දහනවවැනි සංශෝධනයෙන් පසුව “විසිවෙනි සංශෝධනයක්” අවස්ථා තුනකදී ගෙන ඒමට ප්‍රයත්න දැරූවත් විවිධ හේතු නිසා එය වැළකී ගියේය. මේ ඒ පිළිබඳ කෙටි විමසුමකි.


2015
දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 අප්‍රේල් 28 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත වී 2015 මැයි 15 දින කථානායකවරයා විසින් සහතිකය සටහන් කිරීමෙන් අනතුරුව රටේ නීතිය බවට පත්විය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වූ “විසිවෙනි සංශෝධනයක්” කැබිනට් මණ්ඩලයේ අනුමත වීමෙන් පසුව ගැසට් පත්‍රයක් ලෙස 2015 ජූනි 15 වැනිදා නිකුත් කරන ලදී. කොට්ඨාස ක්‍රමයට බර වූ මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමයක් හඳුන්වා දීම, මනාප ක්‍රමය අහෝසි කිරීම, මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 237ක් දක්වා වැඩි කිරීම, ආදිය එයින් සිදුකිරීමට බලාපොරොත්තු විය. ඇතැම් පාර්ශ්ව මෙය හඳුන්වා දුන්නේ දහනවවැනි සංශෝධනයට ආනුෂාංගික වශයෙන් “ස්ථාවර පාර්ලිමේන්තුවක්” සඳහා අවැසි සංශෝධනයක් වශයෙනි. කෙසේ වෙතත් 7 වැනි පාර්ලිමේන්තුව 2015 ජූනි 26 වැනිදා විසුරුවා හැරීමත් සමඟ එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හෝ ඒ පිළිබඳ කතිකාව ඉදිරියට යෑමක් හෝ සිදුකෙරුණේ නැත.


2017
මේ අතර පළාත් පාලන ඡන්ද ක්‍රමය සහ පළාත් සභා ඡන්ද ක්‍රමය ද සංශෝධනය කිරීමේ කටයුතු 2017 වර්ෂය වන විට ඇරඹී තිබුණි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) සහ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු අතර, මේ වන විට පළාත් සභා තුනක නිල කාලය ද අවසන් වී තිබුණි. එවකට සක්‍රීය සියලු පළාත් සභාවල නිල කාලය එකම දිනයක දී අවසන් කිරීම සඳහාත්, සියලුම පළාත් සභාවල ඡන්ද විමසීම එකම දිනයක දී පැවැත්වීම සඳහාත් වූ “විසිවෙනි ව්‍යවස්ථා සංශෝධන” පනත් කෙටුම්පතක් ආණ්ඩුව විසින් ගෙන එන්නේ මෙවන් වටපිටාවක් තුළදී ය. එකී පනත් කෙටුම්පත 2017 අගෝස්තු 23 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඉනික්බිති පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගය‍ට ලක් කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් 2017 සැප්තැම්බර් 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයකින්ද, ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බව නිවේදනය කරන ලදී. එම සංශෝධනය පිළිබඳ ඉදිරි කටයුතු ඉන්පසුව සිදුවූයේ නැත.


2018
නැවත “විසිවෙනි සංශෝධනයක්” පාර්ලිමේන්තුව හමුවට පැමිණෙන්නේ 2018 වසරේදී ය. මෙවර පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙසිනි. 2018 සැප්තැම්බර් 5 වැනි දින එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා විසිනි. සංක්ෂිප්තයක් වශයෙන් ගත් කල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර එම බලය පාර්ලිමේන්තුවටත්, අගමැතිවරයාටත්, පැවරීම ඉන් බලාපොරොත්තු විය. මෙම පනත් කෙටුම්පත ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගය‍ට ලක් කරන ලදුව එහි තීරණය 2018 ඔක්තෝබර් 9 වැනිදා පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී. එයට අනුව පනත් කෙටුම්පතේ බොහෝ වගන්ති 2/3 ක විශේෂ බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් ද, ඇතැම් වගන්ති විශේෂ බහුතර ඡන්දයකින් පමණක් ද සම්මත කළ යුතු විය. මෙම කෙටුම්පත පිළිබඳව ඉදිරි කටයුතු ද ඉන්පසුව සිදුවූයේ නැත.


2020
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දුවකට අනුව දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එකතු වූ බොහෝ කරුණු ඉවත් කිරීම ආදිය සඳහා නැවතත් “විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්” ගෙනැවිත් තිබේ. එය 2020 සැප්තැම්බර් 02 වැනි දින ගැසට් පත්‍රයේ පළ කරන ලදී. මෙය “විසිවන” සංශෝධනයක් ද, “විසිනොවන” සංශෝධනයක් ද යන්න ඉදිරි සති කිහිපය තුළදී තීරණය වනු ඇත.