Header Title


උදනිඳුගේ සිතුවිලි

2011/05/19

විජයග්‍රහණයට වසර දෙකයි: සිහි කළ යුතු තවත් පිරිසක්

සිතුල්පව්ව, තන්තිරිමලේ - මේ ස්ථාන දෙකම ඓතිහාසික හා ආගමික වශයෙන් ඉතා වැදගත් වූ සිද්ධස්ථාන දෙකක්. ගිය වසරේ වෙසක් පෝය මම ගෙව්වේ සිතුල්පව්ව විහාරස්ථානයේ. මේ වසරේ වෙසක් පෝය ගත කළේ තන්තිරිමලයේ. මේ හදන්නේ ඒ ස්ථාන පිළිබඳව කතා කරන්න නෙමෙයි. ඒත් ඒවායේ තිබෙන සමාන බවක් පෙන්වා ඒ තුළින් මාතෘකාවට පිවිසීමක් ලබා ගන්නයි.

සිතුල්පව්ව පිහිටා තිබෙන්නේ යාල වනෝද්‍යානය ඇතුළේ. අතීතයේ දොළොස් දහසක් රහතන් වහන්සේලා වැඩ සිටි තැනක්. පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් තැනක්. තන්තිරිමලය තියෙන්නේ විල්පත්තු වනෝද්‍යානය මායිමේ. ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඩ සිටි ස්ථානයක්. පුරා වස්තු ගහන අඩවියක්. මෙවැනි ගැලපීම් ඇති මේ ස්ථාන දෙකම මීට අවුරුදු තුන හතරකට විතර කළින් ඉතා අනාරක්ෂිත තත්ත්වයක තිබුණේ. ඒ කුරිරු ත්‍රස්තවාදී ක්‍රියා නිසා.

නමුත් අද ඒ පෙදෙස්වල මිනිස්සුන්ට නිදහසේ හුස්මක් කටක් ගන්න පුළුවන් වාතාවරණයක් සැකසිලා. ඉස්සර හවස් වෙනකොට වහපු පාරවල් අද ඇරිලා. ලංකාව වටේම ඉන්න ජනතාවට බියක් සැකක් නැතුව ගිහින් මේ ස්ථාන වැඳ පුදා ගන්න පුළුවන්. යුද්ධය නිම වෙලා, ත්‍රස්තවාදය අවසන් වෙලා අදට අවුරුදු දෙකයි. ඒ දවස්වල තර්ජිත ගම්මාන කියලා නම් කරපු මේ ගම්මානවලට අද ඒ ලේබල් එක නැහැ. මම මේ සටහන ලියන්නේත් ඒ ගම්වල නිර්භීත ජනතාවට උපහාරයක් විදියට.

අවුරුදු 30 ක් තිස්සේ පැවැති යුද්ධය නිසා විශේෂයෙන්ම නැගෙනහිර හා උතුරු මැද පළාත්වල ගම්මාන රාශියක් 'තර්ජිත' තත්වයට පත්වුණා. ඒ නිසා හුඟක් ගම්වල මිනිස්සු තමන්ගේ ගේ දොර ඉඩකඩම් අතහැරලා ගියා. ඒ මරණ බය නිසා. ඒ අතරේ ජීවිත නැති වුණත් ගම්බිම් අතහැරලා යන්නේ නැහැයි කියන දැඩි අධිෂ්ඨානයෙන් තමන්ගේ ගම්වල රැඳිලා ඒවා ආරක්ෂා කරගත් ජනතාව හිටියා. මේ වගේ වටිනා ස්ථාන රටට, ජාතියට, මතු පරපුරට ආරක්ෂා වුණේ ඒ නිසයි. ඔවුන් නොවන්නට ත්‍රස්තවාදීන් තව තවත් ප්‍රදේශ අල්ලගන්න ඉඩ තිබුණා. තමන්ගේ ආදරණීයන් එක එක්කෙනා ත්‍රස්ත උණ්ඩයට, බිම් බෝම්බයට බිලි වෙද්දීත් මොවුන් එඩිතරව ආරක්ෂක අංශ සමඟ එකතු වෙලා සතුරාට එරෙහිව සටන් කළා. ඒ අප්‍රමාණ දුක් විඳගෙන. සමහරවිට හරියට නොකා, නිදි මරමින්. තමන්ගේ ජීවිකාවත්, ළමයින්ගේ පාසල් අධ්‍යාපනයත් හරියට කරගන්න බැරිවයි ඔවුන් මේ කැපවීම් කළේ. ඒ අතරේ කටුක දේශගුණය එක්කත් ඔට්ටු වුණා.

ඉතින්, යුද ජයග්‍රහණයෙන් දෙවසර සමරන මේ මොහොතේ අපි ඔවුන්ට කෘතඥ වෙන්නට ඕනේ. ඉතිහාස පොත්වල ඔවුන්ගේ නම් සටහන් නොවෙන්න පුළුවන්. ඒත් සයිබර් අවකාශයේ නම් එහෙම වෙන එකක් නැහැ.