Header Title


උදනිඳුගේ සිතුවිලි

2011/07/05

මැතිව්ස් කළ දේ හරිද?

ඊයේ ලෝඩ්ස් පිටියේ පැවැති ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින තරඟයේ දී යොවුන් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ට ශතකය ලබා ගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කළ ආකාරය සමහරුන්ගේ විවේචනයට භාජනය වී තිබේ. මින් බොහෝ දෙනා ලාංකිකයන් නොවන අතර ඔවුන් සිය විවේචනය සාධාරණීකරණය කරනුයේ නායක තිලකරත්න ඩිල්ෂාන් හැසිරුණ ආකාරය ද ඒ සඳහා යොදා ගැනීමෙනි.

මැතිව්ස් පිටියට පිවිසියේ චන්දිමාල් සිය ශතකයට ලකුණු 13ක් පිටුපසින් සිටියදීය. ඒ වන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 17ක් අවශ්‍යව තිබුණි. චන්දිමාල්ට සිය ශතකය ලබාගැනීම සඳහා මැතිව්ස් ලකුණු ලබා ගැනීමෙන් වැළකී සිටි අතර ඔහුගේ ප්‍රථම ලකුණ ලබාගත්තේ මුහුණ දුන් 12 වැනි පන්දුවේ දීය. ඒ ඔහු ලබාගත් එකම ලකුණ ද වූ අතර තරඟය අවසානයේ පන්දු 21 කට මුහුණ දී සිටියේය. වරක් චන්දිමාල්ට එක ලකුණක් ලබා ගැනීමට අවශ්‍ය වුවද මැතිව්ස් විසින් ඔහු හරවා යවනු ලැබූවේ ඊළඟ පන්දු වාරයේ දී චන්දිමාල්ට ශතකය ලබා ගැනීමට මඟ පාදනු වස්ය. මේ වන විට නරඹන්නන්ගෙන් ද, එංගලන්ත ක්‍රීඩකයන්ගෙන් ද, පිතිකරුවන්ට දෝෂාරෝපණ එල්ල වනු දැකිය හැකි විය. ශ්‍රී ලංකා නායකයාගේ ඉවසීමේ සීමාව ද ඉක්මවා ගොස් ඇති බවක් පෙනෙන්නට තිබුණි. කෙසේ හෝ ඉනික්බිති චන්දිමාල් සිය දෙවෙනි එක්දින ශතකය වාර්තා කළේ 'ලෝන්ග්-ඔන්' කලාපයෙන් හයේ පහරක් එල්ල කරමිනි. මැතිව්ස් සිය ලාබාල සගයා කෙරෙහි තැබූ විශ්වාසය ඉන් තහවුරු විය.

මා නම් මේ සියල්ල තුළින් දුටුවේ අනාගත ශ්‍රී ලංකා නායකයෙකි. ඒ නම් ඇන්ජලෝ මැතිව්ස්ය. ඔහු කළ දේ නිවැරදි බව දැන් වඩාත් පෙනේ. පළමුව මෙය තරඟාවලියක් නොවේය. ඒ නිසා පන්දු කොපමණ අපතේ ගියත් එයින් බලපෑමක් නොවේ. මන්ද, දල ලකුණු වේගයක් නැති බැවිනි. දෙවනුව, ලෝඩ්ස් පිටියේ ශතකයක් ලබා ගැනීම ඕනෑම පිතිකරුවෙක්ගේ සිහිනයක් ය. එය නිතරම සැමටම ලැබෙන අවස්ථාවක් නොවේ. තෙවනුව, අවුරුදු 21ක් වැනි ලාබාල වයසකදී එවැනි දස්කමක් දැක්වූවෝ ඉතා අල්පය. මැතිව්ස් මේ සියල්ල දැන සිටි බවක් පෙණුනි. වඩා වැදගත්ම දේ නම්, තම පිතිකරු සගයා ගැන සිතීමය. එපමණක් නොව ඔහුට (චන්දිමාල්ට) ඒ හැකියාව ඇති බව විශ්වාස කර ඒ අවදානම ගැනීමය. මේ සියල්ල අතරතුර, අවට සියල්ලන්ගෙන්ම එල්ල වූ දැඩි පීඩනය ද ඔහු ගණනකට ගත්තේ නැත. තරඟය අවසාන විය යුතු සැටි ඔහු දැන සිටියා වැනිය. අවසන එය ඔහුට අවැසි ලෙසටම සිදුවිය.

මේ දෙදෙනාම වයසින් අඩු ක්‍රීඩකයන් වුවත්, ඔවුන් ක්‍රීඩා කළ ආකාරය පැසසිය යුතුය. මොවුන් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ය. කල් යත්ම වයසත්, තව තවත් තරඟවලට මුහුණදීමත් සමඟ ඔවුන් පන්නරය ලබනු ඇත. එබැවින්, ඉදිරියේ දී මොවුන්ගේ දක්ෂතා වඩ වඩාත් ඔප්නැංවෙනු ඇත.