Header Title


උදනිඳුගේ සිතුවිලි

2011/07/16

පොඩි හාමුදුරුවන්ගේ බණ ගිය දුරක්

ඊයේ පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ මංගල ධර්ම දේශනාව. උන් වහන්සේගේ වයස අවුරුදු 21යි. මහණ වෙලා තියෙන්නේ වයස අවුරුදු 10 දී විතර. දැන් කැම්පස් එකේ දෙවෙනි වසරේ. තමන්ගේ පළමුවෙනි බණ හොඳින් කියන්නට හාමුදුරුවෝ සමත් වුණා. බණ අතරතුර හාමුදුරුවෝ විශේෂ යමක් සඳහන් කළා;

"රාගය හා සමාන ගින්නක් නැහැ. මේකට ගිහි පැවිදි භේදයක් නැහැ. දැන් බලන්න, සමහර ගෑණු ළමයි, තරුණ කාන්තාවන් පන්සලට එනකොට ඇඳගෙන එන්න ඕන විදිය දන්නේ නැහැ. අඟ පසඟ පේන විදියට කොටට, හිරට ඇඳන් එනවා. අපි වුණත් තාම පෘථග්ජනයි. මේ තරුණ හාමුදුරුවරු හුඟ දෙනෙක් මහණ වුණේ පොඩි කාලේ. රාගික හැඟිම් ගැන අත්දැකීම් නැහැ. එවැනි සිතුවිලි යටපත් කරගෙන ඉන්නේ. එතකොට මේවා දැක්කාම මොකද වෙන්නේ? අද ලංකාවේ භික්ෂුන් වහන්සේලා 25000 ක් විතර ඉන්නේ. එයිනුත් තරුණ අය අඩුයි. හුඟ දෙනෙක් මෙවැනි හේතු නිසා සිවුරු ඇරලා යනවා. මේකෙන් වෙන්නේ ශාසනය පරිහානියට යන එකයි. ඒ නිසා වැඩිහිටියෝ තරුණ ළමයින්ට පන්සලට එන්න ඕන විදිය කියා දෙන්න ඕනෙ. එහෙම නැතුව එවන්න එපා…"

මේ කාරණය තරුණ භික්ෂුන් වහන්සේ නමකගේ කටින්ම කියවුණ එක වටිනවා. මොකද, උන්වහන්සේලා මුහුණ පාන තත්වය ගැන කියවුණ අවංක අදහසක් නිසා. මේ ඔස්සේ හිතද්දී ම මගේ හිතට අදහස් ගොඩක් ගලන්න ගත්තා.

ශාසනයේ පැවැත්ම හෝ පරිහානිය රඳා පවතින්නේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමාණය මතද? ශීලාදී ගුණධර්ම රකින අල්ප වූ හෝ භික්ෂු පිරිස මතද? පිළිතුර දෙවැන්න නම්, ඇයි අපි අඩු වයසෙන් මහණ කරන්නේ? බුදුහාමුදුරුවන්ගේ කාලේ වගේ අවබෝධයෙන් මහණ වෙන්නටම ඉඩ තියන්න පුළුවන්නේ. එහෙම වුණොතින් අර කලින් හාමුදුරුවෝ කියපු තත්ත්වයත්  මගහැරෙනවා. පුද්ගලිකව මාත් හිතන්නේ එය එසේ විය යුතු බවයි. ආරණ්‍යවාසී සම්ප්‍රදාය තුළ ක්‍රියාත්මක වන්නේ මේ ක්‍රමයයි. ඒත් ලංකාවේ අතීතයේ සිටම බුදු සසුන පැවත ආ විදියක් තියෙනවා. ඒ නිසා භික්ෂුවකට සමාජයීය වගකීමකුත් පැවරිලා. මේ හේතුව නිසා ග්‍රාමවාසී සම්ප්‍රදායේ දී පොඩි දරුවෙක් මහණ කරන්න යෙදෙන විදි කිහිපයක්ම තියෙනවා.

  • පිනැති දරුවෙක් පැවිදි වීමට ඇති කැමැත්ත ප්‍රකාශ කිරීම, දෙමාපියන් කැමැත්ත දීම (මෙය අවබෝධය නිසා හෝ සසර පුරුද්දක් නිසා සිදුවිය හැකිය)
  • දරුවාගේ කැමැත්තක් නැති වුවද, දෙමාපියන්ගේ/ඤාතීන්ගේ වුවමනාවට පැවිදි කරවීම (පවුල හා සම්බන්ධ සඟ පරපුරක් පවත්වා ගැනීමට හෝ 'හතර කේන්දරය පාළු වීම' වැනි ‍ජ්‍යෝතිශ්‍යමය හේතූන් නිසා)
  • දුප්පත්කම හේතුවෙන් මාපියන්ට දරුවා හදාවඩා ගැනීම, අධ්‍යාපනය ලබාදීම, ආදිය කළ නොහැකි නිසා පැවිදි කරවීම

ඔය ඉහත සඳහන් කරපු හේතු වලින් මම කතා කරන කාරණයට බොහෝ වේලාවට හේතු වෙන්නේ දෙවැනි හෝ තුන්වැනි කරුණු නිසා මහණ කරවන අය. සමහරු ළමා අයිතිවාසිකම් වගේ වචන අල්ලාගෙන කෑ ගැහුවාට ඒ දිහා අපි බලන්න ඕනෙ මධ්‍යස්ථ විදියට. අවබෝධයක් නැතුව මහණ කළාම ඔවුන්ට ළමා කාලයත්, තරුණ කාලයේ අත්දැකීමුත් නැතිව යනවා. එයින් ජීවිතය පිළිබඳව ලබන්න පුළුවන් ලොකු පාඩමක් නැති වෙනවා. ඒ කාලය වන විට මාර්ග ඵල අවබෝධ කරගන්නවානම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් (බොහෝ විට) සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි, මම මුලින් සඳහන් කරපු හාමුදුරුවෝ කියපු දේ. ඒත් එහෙම කෙනෙක් සිවුරු ඇරලා යනවා නම්, ඔහු ශාසනය තුළ සිටිනවාට වඩා යහපතක් ඒකෙන් සිද්ධ වෙන බවයි මගේ අදහස. මොකද, ප්‍රමාණයට වඩා ගුණාත්මක බව වටින නිසා. ශාසනය මනින්නේ ඔළු ගෙඩි ගණනින් නම් මේක අදාල වෙන්නේ නැහැ. අනික, සිවුරු ඇරියත් එවැනි පුද්ගලයෙක් බොහෝ විට සමාජගත වෙන්නේ දැන උගත්, යහපත් පුද්ගලයෙක් විදියට. ඒත් ගිහි සමාජය ගැන අත්දැකීම් හා අවබෝධය අඩු නිසා සමහරු අපහසුතාවයකට පත්වෙනවා.

දැන් මේ ඔස්සේ කල්පනා කළොත්, තුන්වැනි කාරණය නිසා මහණ කරවන එකේ ලොකු සමාජීය වැදගත්කමක් මම දකිනවා. ඒකෙන් අසරණ ළමයෙක්ට කන්න බොන්න, අධ්‍යාපනය ලබන්න, යහපත් ගුණධර්ම ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. කවදාහරි ඔහු සිවුරු හැර ගියත් යන්නේ නිකම්ම නිකම් හිස් පුද්ගලයෙක් විදියට නෙමෙයිනේ. හරි අපි හිතමු ඒ ළමයාව පැවිදි කළේ නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ. දුප්පත්කම නිසා මේ ළමයා හැදී වැඩෙන්නේ පීඩිත තත්ත්වයක් යටතේ. හරියට ඉගෙනගන්නේ නැහැ. යන්තම් තරුණ වියට එනකොට හොරකම් කරන්න ගනී, කුඩු ගහන්න ගනී, සමාජයට පිළිලයක් වෙයි. ඒ අතින් බැලුවාම පොඩි කාලයේ මහණ කරන එකෙන් ලොකු වටිනාකමක් එවැනි ළමයෙක්ට ලැබෙනවා. ඒත්, ශාසනයේ යහපැවැත්මට නම් ඒක සුභයි කියන්න බැහැ.

අන්තිමේදී, අපට අවශ්‍ය ශාසනයද? සමාජයද? මේ දෙකමද? මේ එකක්වත් නෙමෙයිද? කියන තැනට තල්ලු වෙලා. මේකට පිළිතුරු කවදා ලැබෙයි ද කියන්නත් දන්නේ නැහැ.