Header Title


උදනිඳුගේ සිතුවිලි

Showing posts with label සංස්කෘතිය. Show all posts
Showing posts with label සංස්කෘතිය. Show all posts

2016/08/01

නම් තැබීම

සිංහල සංස්කෘතිය තුළ අලුත උපන් දරුවෙකුට නමක් තැබීම සුළු පටු කාර්යයක් නොවේ. මම ද මේ අත්දැකීමට දෙවරක් මුහුණ දුන්නෙක්මි. එයට හේතුව වන්නේ නම් තැබීමේ දී සාධක කිහිපයක් සලකා බැලීමට සිදුවන නිසාය. සමහරු මේ ගැන එතරම් නොතැකුව ද මින් සාධක එකක් දෙකක් හෝ සලකා බලති. අනෙකුත් නම් හා සසඳන විට සිංහල නම්වල වේගවත් විකාශයට/පරිණාමයට ද මෙය හේතුවක් වී ඇත. අයෙක් මෙය හුදෙක් විකාර රූපී නම් ඇතිකරන, මෙයම ව්‍යාපාරයක් කරගත් පිරිසකගේ පැවැත්ම තහවුරු කරන, සමාජයේ දහසකුත් එකක් විලාසිතා අතරට තවත් විලාසිතාවක් එක් කළ ක්‍රියාවක් සේ සලකති. ඒ කෙසේ වෙතත් නමක් තෝරා ගැනීමේ දී හෝ නිර්මාණය කිරීමේ දී ශාස්ත්‍රීයත්වය හා ප්‍රායෝගිකත්වය යන දෙකම මත පදනම් වන්නේ නම් මැනවි.

ජ්‍යෝතිෂය අනුව නමකට අකුරු දෙන්නේ උපන් දවසට, ලග්නයට හා උපන් නැකතට ය. එමෙන්ම නැකත් පාදය අනුවත්, උපන් නැකත අනෙක් නැකත් සමඟ ඇති සම්බන්ධතාවය අනුවත් අක්ෂර තෝරනු ලැබේ. ඒ පිළිබඳ වැඩිදුර විස්තර පහත දැක්වේ.

උපන් දවස අනුව නිර්දේශිත අකුරු

සඳුදා - ය, ර, ල, ව, ශ, ෂ, ස, හ, ළ
අඟහරුවාදා - ක, ඛ, ග, ඝ, ඬ
බදාදා - ට, ඨ, ඩ, ඪ, ණ
බ්‍රහස්පතින්දා - ත, ථ, ද, ධ, න
සිකුරාදා - ච, ඡ, ජ, ඣ, ඤ
සෙනසුරාදා -  ප, ඵ, බ, භ, ම
ඉරිදා - අ, ඉ, උ, එ, ඔ

ලග්නය අනුව නිර්දේශිත අකුරු

මේෂ ලග්නය - අ, ආ, ශ
වෘෂභ ලග්නය - ඉ, ඊ, උ, ෂ
මිථුන ලග්නය - ඌ, ඍ, ඎ, ස
කටක ලග්නය - ග, ඝ, එ, හ
සිංහ ලග්නය - ඓ, ඔ, ඖ, ළ
කන්‍යා ලග්නය - අං, අඃ
තුලා ලග්නය - ක, ඛ, ග, ඝ, ඞ
වෘශ්චික ලග්නය - ච, ඡ, ජ, ඣ, ඤ
ධනු ලග්නය - ට, ඨ, ඩ, ඪ, ණ
මකර ලග්නය - ත, ථ, ධ, ද, න
කුම්භ ලග්නය - ප, ඵ, බ, භ, ම
මීන ලග්නය - ය, ර, ල, ව


උපන් නැකත අනුව නිර්දේශිත අකුරු

නැකත 1 වැනි පාදය 2 වැනි පාදය 3 වැනි පාදය 4 වැනි පාදය
අස්විද  චු චෙ චො
බෙරණ  ලි ලු ලෙ ලො
කැති  අ  එ
රෙහෙණ  ඔ වි වු
මුවසිරස  වෙ වො කි
අද  කු
පුනාවස  කෙ කො හි
පුෂ  හු හෙ හො
අස්ලිස  ඩි ඩු ඩෙ ඩො
මා  ම මි  මු මෙ
පුවපල්  මො  ටි ටු
උත්‍රපල්  ටෙ ටො පි
හත  පු
සිත  පෙ පො රි
සා  රු රෙ රො
විසා  ති තු තෙ  තො
අනුර  න නි නු නෙ
දෙට  නො  ය යි යු
මුල  යෙ යො බි
පුවසල  බු  ඪ
උත්‍රසල  බෙ බො ජි
සුවණ  ජු ජෙ ජො
දෙනට  ග  ගි  ගු ගෙ
සියාවස  ගො සි සු
පුවපුටුප  සෙ සො දි
උත්‍රපුටුප  දු
රේවතී  දෙ ‍දො  චි

මෙහිදී නැකත් පාදය අනුව ම අක්ෂර තෝරාගත හැකි නම් වඩාත් යෝග්‍ය වේ.


උපන් නැකතට “සුබදායී” මෙන්ම “අසුබදායී” ලෙස බලපාන නැකැත් වර්ග පවතින නිසා ඒ අනුව ද අක්ෂර තෝරා ගැනේ. ජන්ම, සම්පත්, ක්ෂේම, සාධක, මිත්‍ර, පරම මිත්‍ර යනාදිය සුබ කාණ්ඩ වන අතර විපත්, ප්‍රත්‍යාරි, වධ යනාදිය අසුබ කාණ්ඩයන් ය. එමනිසා එකී “සුබ” වර්ගයන්ට අයත් නැකත් වල අක්ෂර තෝරා ගැනීමට ද සැලකිලිමත් වන්නේ නම් මැනවි. බොහෝ විට අනෙක් සාධකවලට වඩා උපන් නැකතට සහ ලග්නයට මුල් තැන දීමක් සිදු වේ.


ශබ්ද ශාස්ත්‍රය වනාහී නම් තේරීමේ දී හා නිර්මාණය කිරීමේ දී අවධානය යොමු කෙරෙන තවත් ක්ෂේත්‍රයකි. ඉතා පෘථුල ලෙස හැදෑරිය යුතු විෂයක් වන මෙය ජ්‍යෝතිෂය සමඟ ද සමීප සම්බන්ධතාවයක් දක්වයි. මෙහි සඳහන් කරනුයේ මූලික හා ප්‍රචලිත කරුණු කිහිපයක් පමණි.


ගණ

භූමි, දේව, චන්ද්‍ර, ජල යනුවෙන් සුබ ගණ හතරකි. සූර්ය, ගිනි, වායු, ආකාශ යනුවෙන් අසුබ ගණ හතරකි. ගණයකට මාත්‍රා තුනකි. සරලාකාරයෙන් පවසතොත් මාත්‍රාවක් කෙටි අකුරක් (ලඝු) හෝ දීර්ඝ අකුරක් (ගුරු) විය හැකිය. එක් එක් ගණය හා එහි විපාක පහත දැක්වේ.

ගණය අක්ෂර සංයෝජනය ප්‍රතිඵල
භූමි ගු ගු ගු ජය
දේව ල ල ල තේජස්
චන්ද්‍ර ගු ල ල සෙත්
ජල ල ගු ගු ආයු
සූර්ය ල ගු ල ලෙඩ
අග්නි ගු ල ගු දැඩි ශෝක
වායු ල ල ගු මරණ
ආකාශ ගු ගු ල ව්‍යසන

උදාහරණයක් වශයෙන් “තනූජා” යන වචනය ගතහොත් එය කෙටි අක්ෂරයක් සහ දීර්ඝ අක්ෂර දෙකකින් (ල/ගු/ගු) සෑදී තිබේ. එනම් ජල ගණයට අයත් වේ.

මීට අමතරව එක් එක් ගණයට හිමි නැකතක් ද වේ. මෙය ශබ්ද ශාස්ත්‍රය ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයත් සමඟ සම්බන්ධ වන එක් තැනකි. එනිසා නැකතට ගැලපෙන සේ ගණ තෝරන්නෝ ද වෙති.

අක්ෂර වර්ග

දිව්‍ය, මනුෂ්‍ය, අපාය වශයෙන් අක්ෂර වර්ග තුනකි. නම්වල මුල් අකුරු සඳහා දිව්‍ය හෝ මනුෂ්‍ය අක්ෂර යොදා ගැනීම සුදුසු බව පැවසේ.

දිව්‍ය අක්ෂර - ඉ, ඔ, ට, ඩ, ත, ද, ල, ව, ස
මනුෂ්‍ය අක්ෂර - උ, ප, බ, ග, හ
අපායක්ෂර - එ, ක, ය, ම, ර, ජ, අ, ණ, න, ළ, අං

අක්ෂර වේධය

සාමාන්‍යයෙන් මෙය එතරම් සලකා බැලෙන සාධකයක් නොවේ. වේධය යනුවෙන් මෙහිදී අදහස් කරනුයේ ගැටීමය. එනම් නාමයන් හි මුලකුරු වල ස්වරයන්හි ගැටීමයි. සෙත් කවි/ වස් කවි නිර්මාණයේ දී මේ පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වයි. මව්පියන්ගේ සහ අනෙකුත් සහෝදර/සහෝදරියන්ගේ නම් හා වේධ නොවන පරිදි මුලකුරු තෝරා ගැනීම භාවිතාව යි.

  • "අ" ස්වරයට "උ" ස්වරය වේධ වේ
  • "ආ" ස්වරයට "ඌ" ස්වරය වේධ වේ
  • "ඉ" ස්වරයට "එ, ඒ" ස්වරය වේධ වේ
  • "ඊ" ස්වරයට "ඔ, ඕ" ස්වරය වේධ වේ


මෙවන් ශාස්ත්‍රීය සාධක පිළිබඳව සැලකිලිමත් වන අතර ප්‍රායෝගිකත්වය සහ නමේ අර්ථය පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කළ යුතුය. දරුවාගේ නම පැහැදිලිව පහසුවෙන් උච්චාරණය කළ හැකි වීම ඉතා වැදගත් වේ. එසේ නොවුණහොත් ගණ පිහිටා නිර්මාණය කළ නමක වුවද අපේක්ෂිත ප්‍රතිඵලය වෙනුවට ප්‍රතිවිරුද්ධ ඵලයක් ලැබීමට හැකියාව ඇති බැවිනි.

වර්තමානයේ නමක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියද්දී ව්‍යාකූලත්වයකින් තොරව සන්නිවේදනය කිරීමට පුළුවන් විය යුතු බව මගේ අදහසයි. එමෙන්ම නම සම්පූර්ණ වශයෙන් කියවද්දී රිද්මයානුකූල බවක් පැවතීම ද සුදුසු වේ.

මේ සියලු කරුණු සලකා බැලූවිට වඩාත් ම යෝග්‍ය නමක් තෝරාගැනීම ඉතා අපහසු කාර්යයක් බව වැටහෙනු ඇති. එහෙත් මේ කිසිවකට අනුගත නොවුණු නම් ඇති, යහපත්, සාර්ථක ජීවිත ගතකරන පුද්ගලයින් ද සිටින බව විශේෂයෙන් පැවසිය යුතුය. ඒ අතරම සියලු සාධක බලා පිහිටුවන ලද නම් ඇති, එහෙත් ඉතා අවාසනාවන්ත ජීවිත ගත කරන, සමාජ විරෝධී ක්‍රියාවන්හි පවා නිරත පුද්ගලයින් ද සිටින බව ඔබට වැටහෙනු ඇති.

අවසාන වශයෙන් පැවසිය යුතු දෙයක් තිබේ. එනම්, මා මෙම විෂයෙහි ප්‍රවීණයෙකු නොවන අතර අත්දැකීමෙන් ලත් දැනුම් කරුණු පමණක් මෙහි දක්වා ඇති බවයි. එනිසා හැකි සෑමවිටම ක්ෂේත්‍රයේ පරිණත ප්‍රවීණයෙක් වෙත ගොස් ඔබගේ අවශ්‍යතාවය ඉටුකරගැනීමට වගබලා ගන්න.

2011/07/16

පොඩි හාමුදුරුවන්ගේ බණ ගිය දුරක්

ඊයේ පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ මංගල ධර්ම දේශනාව. උන් වහන්සේගේ වයස අවුරුදු 21යි. මහණ වෙලා තියෙන්නේ වයස අවුරුදු 10 දී විතර. දැන් කැම්පස් එකේ දෙවෙනි වසරේ. තමන්ගේ පළමුවෙනි බණ හොඳින් කියන්නට හාමුදුරුවෝ සමත් වුණා. බණ අතරතුර හාමුදුරුවෝ විශේෂ යමක් සඳහන් කළා;

"රාගය හා සමාන ගින්නක් නැහැ. මේකට ගිහි පැවිදි භේදයක් නැහැ. දැන් බලන්න, සමහර ගෑණු ළමයි, තරුණ කාන්තාවන් පන්සලට එනකොට ඇඳගෙන එන්න ඕන විදිය දන්නේ නැහැ. අඟ පසඟ පේන විදියට කොටට, හිරට ඇඳන් එනවා. අපි වුණත් තාම පෘථග්ජනයි. මේ තරුණ හාමුදුරුවරු හුඟ දෙනෙක් මහණ වුණේ පොඩි කාලේ. රාගික හැඟිම් ගැන අත්දැකීම් නැහැ. එවැනි සිතුවිලි යටපත් කරගෙන ඉන්නේ. එතකොට මේවා දැක්කාම මොකද වෙන්නේ? අද ලංකාවේ භික්ෂුන් වහන්සේලා 25000 ක් විතර ඉන්නේ. එයිනුත් තරුණ අය අඩුයි. හුඟ දෙනෙක් මෙවැනි හේතු නිසා සිවුරු ඇරලා යනවා. මේකෙන් වෙන්නේ ශාසනය පරිහානියට යන එකයි. ඒ නිසා වැඩිහිටියෝ තරුණ ළමයින්ට පන්සලට එන්න ඕන විදිය කියා දෙන්න ඕනෙ. එහෙම නැතුව එවන්න එපා…"

මේ කාරණය තරුණ භික්ෂුන් වහන්සේ නමකගේ කටින්ම කියවුණ එක වටිනවා. මොකද, උන්වහන්සේලා මුහුණ පාන තත්වය ගැන කියවුණ අවංක අදහසක් නිසා. මේ ඔස්සේ හිතද්දී ම මගේ හිතට අදහස් ගොඩක් ගලන්න ගත්තා.

ශාසනයේ පැවැත්ම හෝ පරිහානිය රඳා පවතින්නේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමාණය මතද? ශීලාදී ගුණධර්ම රකින අල්ප වූ හෝ භික්ෂු පිරිස මතද? පිළිතුර දෙවැන්න නම්, ඇයි අපි අඩු වයසෙන් මහණ කරන්නේ? බුදුහාමුදුරුවන්ගේ කාලේ වගේ අවබෝධයෙන් මහණ වෙන්නටම ඉඩ තියන්න පුළුවන්නේ. එහෙම වුණොතින් අර කලින් හාමුදුරුවෝ කියපු තත්ත්වයත්  මගහැරෙනවා. පුද්ගලිකව මාත් හිතන්නේ එය එසේ විය යුතු බවයි. ආරණ්‍යවාසී සම්ප්‍රදාය තුළ ක්‍රියාත්මක වන්නේ මේ ක්‍රමයයි. ඒත් ලංකාවේ අතීතයේ සිටම බුදු සසුන පැවත ආ විදියක් තියෙනවා. ඒ නිසා භික්ෂුවකට සමාජයීය වගකීමකුත් පැවරිලා. මේ හේතුව නිසා ග්‍රාමවාසී සම්ප්‍රදායේ දී පොඩි දරුවෙක් මහණ කරන්න යෙදෙන විදි කිහිපයක්ම තියෙනවා.

  • පිනැති දරුවෙක් පැවිදි වීමට ඇති කැමැත්ත ප්‍රකාශ කිරීම, දෙමාපියන් කැමැත්ත දීම (මෙය අවබෝධය නිසා හෝ සසර පුරුද්දක් නිසා සිදුවිය හැකිය)
  • දරුවාගේ කැමැත්තක් නැති වුවද, දෙමාපියන්ගේ/ඤාතීන්ගේ වුවමනාවට පැවිදි කරවීම (පවුල හා සම්බන්ධ සඟ පරපුරක් පවත්වා ගැනීමට හෝ 'හතර කේන්දරය පාළු වීම' වැනි ‍ජ්‍යෝතිශ්‍යමය හේතූන් නිසා)
  • දුප්පත්කම හේතුවෙන් මාපියන්ට දරුවා හදාවඩා ගැනීම, අධ්‍යාපනය ලබාදීම, ආදිය කළ නොහැකි නිසා පැවිදි කරවීම

ඔය ඉහත සඳහන් කරපු හේතු වලින් මම කතා කරන කාරණයට බොහෝ වේලාවට හේතු වෙන්නේ දෙවැනි හෝ තුන්වැනි කරුණු නිසා මහණ කරවන අය. සමහරු ළමා අයිතිවාසිකම් වගේ වචන අල්ලාගෙන කෑ ගැහුවාට ඒ දිහා අපි බලන්න ඕනෙ මධ්‍යස්ථ විදියට. අවබෝධයක් නැතුව මහණ කළාම ඔවුන්ට ළමා කාලයත්, තරුණ කාලයේ අත්දැකීමුත් නැතිව යනවා. එයින් ජීවිතය පිළිබඳව ලබන්න පුළුවන් ලොකු පාඩමක් නැති වෙනවා. ඒ කාලය වන විට මාර්ග ඵල අවබෝධ කරගන්නවානම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් (බොහෝ විට) සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි, මම මුලින් සඳහන් කරපු හාමුදුරුවෝ කියපු දේ. ඒත් එහෙම කෙනෙක් සිවුරු ඇරලා යනවා නම්, ඔහු ශාසනය තුළ සිටිනවාට වඩා යහපතක් ඒකෙන් සිද්ධ වෙන බවයි මගේ අදහස. මොකද, ප්‍රමාණයට වඩා ගුණාත්මක බව වටින නිසා. ශාසනය මනින්නේ ඔළු ගෙඩි ගණනින් නම් මේක අදාල වෙන්නේ නැහැ. අනික, සිවුරු ඇරියත් එවැනි පුද්ගලයෙක් බොහෝ විට සමාජගත වෙන්නේ දැන උගත්, යහපත් පුද්ගලයෙක් විදියට. ඒත් ගිහි සමාජය ගැන අත්දැකීම් හා අවබෝධය අඩු නිසා සමහරු අපහසුතාවයකට පත්වෙනවා.

දැන් මේ ඔස්සේ කල්පනා කළොත්, තුන්වැනි කාරණය නිසා මහණ කරවන එකේ ලොකු සමාජීය වැදගත්කමක් මම දකිනවා. ඒකෙන් අසරණ ළමයෙක්ට කන්න බොන්න, අධ්‍යාපනය ලබන්න, යහපත් ගුණධර්ම ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. කවදාහරි ඔහු සිවුරු හැර ගියත් යන්නේ නිකම්ම නිකම් හිස් පුද්ගලයෙක් විදියට නෙමෙයිනේ. හරි අපි හිතමු ඒ ළමයාව පැවිදි කළේ නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ. දුප්පත්කම නිසා මේ ළමයා හැදී වැඩෙන්නේ පීඩිත තත්ත්වයක් යටතේ. හරියට ඉගෙනගන්නේ නැහැ. යන්තම් තරුණ වියට එනකොට හොරකම් කරන්න ගනී, කුඩු ගහන්න ගනී, සමාජයට පිළිලයක් වෙයි. ඒ අතින් බැලුවාම පොඩි කාලයේ මහණ කරන එකෙන් ලොකු වටිනාකමක් එවැනි ළමයෙක්ට ලැබෙනවා. ඒත්, ශාසනයේ යහපැවැත්මට නම් ඒක සුභයි කියන්න බැහැ.

අන්තිමේදී, අපට අවශ්‍ය ශාසනයද? සමාජයද? මේ දෙකමද? මේ එකක්වත් නෙමෙයිද? කියන තැනට තල්ලු වෙලා. මේකට පිළිතුරු කවදා ලැබෙයි ද කියන්නත් දන්නේ නැහැ.

2011/04/15

සුභ අලුත් අවුරුද්දක් වේවා!

ලැබුවා වූ නව වසර සැමටම සුභ නව වසරක් වේවා! මේක ලියන්න ගත්තේ අවුරුද්දට වැඩ අල්ලන්න. මම සාමාන්‍යයෙන් අවුරුද්දට වැඩ අල්ලන්නේ පොතක් කියවලා, ලිපියක් ලියලා, කෝඩිං ටිකක් කරලා වගේ කටයුතු වලින්. මේ අවුරුද්දේ ආහාර අනුභව කරන නැකත යෙදුණේ ටිකක් දවල් වෙලා නිසා එතකං බඩගින්න ඉවසගෙන හිටියා. ඊට පස්සේ බඩ පැලෙන්න කෑවා. ඒත් කිරිබත් නම් ටිකයි කෑවේ. මොකද හෙම්බිරිස්සා ගතියක් තිබුණ නිසා.

ශ්‍රී ලාංකීය අපේ අවුරුද්ද මේ සිංහල අවුරුද්දයි. ඒ විතරක්ද, ජනවාරි මාසයේ උදාවන ව්‍යවහාරික නාමික නව වසරට වඩා මේක හැම අතින්ම විද්‍යාත්මකයි. හේතුව මේක සූර්යයා හා බැඳුණු ගණනය කිරීම් ඇසුරෙන් සැමරෙන අවුරුද්දක්. ජනවාරියේ යෙදෙන 'බටහිර' අවුරුද්දට ඒ වගේ කිසිම පදනමක් නැහැ. දේශගුණය වුණත් මේ හා යා වෙලා. කාලගුණයේ විපරිතවීම් නිතරම දකින්න ලැබුණත් බලන්න බක් මාසය වෙනකොට 'බක් මහ අකුණු' කොටන්න ගන්න හැටි! අනික මේ අවුරුද්දේ කොහා හරි 'ට්‍රැක්' එකට වැටිලා වගෙයි. පහුගිය අවුරුදු තුන හතරකම කොහා වැරදි කාලේ කෑ ගහනවා ඇහුණත් මේ අවුරුද්දේ නම් එහෙම වුණේ නැහැ.

අවුරුදු සිරිත් විරිත් වුණත් හරි විශේෂ අත්දැකීම්. මුළු රටම එකම වෙලාවට බොහෝ දුරට එක හා සමාන කාර්යයන් කිහිපයක යෙදෙනවායි කියන එකම කොච්චර අපූරුද? හැබැයි දැන් නම් මාධ්‍යකාරයෝ මේවට අරක්ගෙන. මේ රටේ කොහේවත් නොකෙරෙන, මීට කලින් කෙරුණාද කියලවත් විශ්වාස නැති අමුතු අමුතු චාරිත්‍ර ටීවී එකෙන් පෙන්නනවා. මේවා මිනිස්සුන්ට දෙන්නෙත් බොරුවට ජාතිකත්වය වගේ දෙයක් ආරූඪ කරලා. හැබැයි බිම් මට්ටමේ, ගම් මට්ටමේ, තත්ත්වය පොළොවේ පය ගහලා ජීවත්වෙන මිනිස්සු දන්නවා. ඒ නිසා අපි මාධ්‍යවලින් පෙන්නන දේ බලලා, රස විඳලා, 'ඇත්ත' චාරිත්‍ර ටික හරියට කරනවා.

අවුරුද්ද සමරන විදිහේ පොඩි පොඩි වෙනස්කම් නගරබදවත් ගම්බදවත් දකින්න තියෙනවා. ගම්බද මිනිස්සුන්ට නගරයට වඩා ලොකු නිදහසක්, පරිසරය එක්ක සමීපවීමක් තියෙනවා. නගරයේ අපි තාප්ප වලින් වටවෙලා, ගහකොළ සීමිතයි, අවුරුදු චාරිත්‍රත් උපකරණ යොදාගෙන සැමරෙන තත්වයක් තියෙන්නේ. ඒ අතරත්, හැකිතරම් ඉස්සර තිබුණු සරල බව, දේශීය බව, රැකගන්න උත්සාහ දරන පිරිස් ඉන්නවා. මොකද මේවා ඊළඟ පරම්පරාවට ව්‍යාප්ත වෙන්න ඕනෙ. අපේ සංස්කෘතිකාංග නොනැසී, වඳ නොවී පවතින්නේ එතකොටයි.

අලුත් අවුරුද්දේ අලුත් වීම ගැන කතා නොකළොත් ලොකු අඩුවක්. අපි භෞතික වශයෙන් හැමදෙයක්ම අලුත් කළාට ආධ්‍යාත්මික වශයෙන් අලුත් වෙනවාද? අපේ ආකල්ප වෙනස් කර ගන්නවාද? නරක ගති පැවතුම් අතහැරලා හොඳ දේ හරි දේ ජීවිතයට එකතු කරගන්නවාද? මේ ගැන නම් ඉතා ඕනෑකමින් හිතලා බලන්න ඕනෙ. නැත්නම් අවුරුද්ද අලුත් වේවි. අපි එකම තැන ඉඳීවි. ඇඟට නොදැනීම පරණ වේවි. එසේ නොවේවායි පතමි!

2011/02/15

වැලන්ටයින් ආදරය

අද වැලන්ටයින් දිනයයි. සිංහලෙන් නම් 'ආදරවන්තයින්ගේ' දිනය. මේ අර්ථකථනය කෙතරම් නිවැරදි දැයි සොයා බැලීමට සුදුසුම දිනය අද බවයි මාගේ අදහස.

'වැලන්ටයින්' සංකල්පය හා සැමරුම ආරම්භ වුණු බටහිර රටවල මේ දිනය සැමරෙන්නේ ප්‍රේමවන්තයින් අතරම පමණක් නොවේ. දෙමවිපියන් හා දූ දරුවන්, සහෝදර සහෝදරියන්, නෑදෑ හිතමිතුරන් ආදී තමන් හා ලෙන්ගතු ඕනෑම අයෙක් සමඟ එක්ව ඔවුහු වැලන්ටයින් සමරති. තෑගි හා සුභ පැතුම් හුවමාරු කර ගනිති. පොදුවේ එය ආදරයට එහා ගිය ලෙන්ගතු බව, සෙනෙහස, වැනි පුළුල් පරාසයක් කරා දිවෙයි.

අපේ රටේ තත්ත්වය ඊට බොහෝ වෙනස්ය. අපගේ සංස්කෘතියට අනුව මෙය පහත්, අනුවණ සැමරුමක් බවට පත්වී ඇත්තේත් මේ නිසාය. එනම්, එය ප්‍රේමවන්තයින්ට පමණක් හෝ රාගයෙන් අන්ධ වූ තරුණ පිරිසකට පමණක් හෝ බොහෝ විට සීමා වීම නිසාය. බටහිර රටවල තත්ත්වය මීට වෙනස්ය. ඔවුහු මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, ගුරු දිනය, පරිසර දිනය ආදී දින සමරන්නාක් මෙන් වැලන්ටයින් දිනය සමරති. අපි ද ඉහත දැක්වූ දින සමරන්නෙමු. නමුත් 'ආදරවන්තයින්ගේ' දිනය සමරන ආකාරය වැරදියට තේරුම් ගෙන ඇත්තෙමු.

මම නම් පුද්ගලිකව ආදරය එක් දිනකට සීමා කිරීමට නොකැමැත්තෙමි. එය වසරේ දින 365 පුරාවටම පැවතිය යුත්තකි. එනමුත් සිය ආදරවන්තයාට, ආදරවන්තියට හෝ සෙනෙහැත්තන්ගේ ජීවිතවලට යම් විවිධත්වයක් එකතු කරනු වස් මෙවන් දිනයක් යොදා ගැනීම වරදක් කියා ද නොකියමි. අපට අනෙකුත් දින සැමරිය හැකි නම් අපගේ රටට, සදාචාරයට ගැළපෙන පරිදි වැලන්ටයින් දිනය අනුගත කරගැනීමේ නොහැකියාවක් තිබිය නොහැකිය. ඒ සඳහා අධික මිලැති ත්‍යාග මිල දී ගැනීම හෝ හෝටල් කාමර වෙන් කරගෙන රාගික අදහස් මුදුන්පත් කරගැනීමට ක්‍රියා කිරීම සුදුසු නොවේ. එය එක් අතකින් සාන්තුවරයෙක් නිසා ඇරඹුණි යයි පවසන දිනයක පිරිසිදු අහිංසක අර්ථය විකෘති කර පහත් තත්ත්වයකට ඇද දැමීමකි.