Header Title


උදනිඳුගේ සිතුවිලි

2011/12/03

පඩි වැඩි වීම

මෙවර අයවැයෙන් රජයේ සේවකයින්ගේ පඩි වැඩි වුණි. පඩි වැඩිවීමක් යැයි පැවසුව ද, වැඩි වූයේ මූලික වැටුප නොවේ. දීමනාවකි. කෙසේ වුවද පඩිය වැඩි වුණි. මම නම් මෙලෙසින් පඩි වැඩිවෙනවාට අකැමැත්තෙමි. බොහෝ දෙනෙකුට මේ බව පැවසූ විට ඔවුහු මාත් සමඟ විවාදයකට පැටලෙති. ඊට එකඟ නොවෙති. එය සාධාරණය. එය ස්වාභාවිකය. එය එසේ නම් මා සිතන ආකාරය අස්වාභාවික විය යුතුය. නැත. මෙලෙස සිතන්නට මට සාධාරණ හේතු තිබේ.

පළමුවැන්න නම් මෙලෙස වැටුප වැඩිවන්නේ රජයේ සේවකයන්ගේ පමණකි. රටේ බහුතරයක් වූ පුද්ගලික අංශයේ සේවකයන්ට මේ පඩි වැඩිවීම බලනොපායි. දෙවැන්න නම් දීර්ඝ කාලීනව මුදල බාල්දු විය හැකි බැවිනි. පැහැදිලි කිරීම මෙසේයි. මගේ වැටුප වැඩිවන බැවින් අන් අයගේ වැටුප වැඩි වුණත් නැතත් මට කම් නැත. ඒ සිතිය හැකි එක් ආකාරයකි. නමුත් සාමාන්‍යයෙන් පවුලක සියලු දෙනාම රජයේ සේවකයෝ නොවෙති. ඒ අතර තවත් සමහරෙක් ගොවිතැන හෝ තමන්ගේම ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක හෝ නිරත වෙති. ඒ සියලු දෙනාගේම මාසික ආදායම මෙලෙසින් වැඩි නොවේ. නමුත්, රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ මුළු මහත් රටේම බදු ගෙවන ජනතාවගේ මුදලිනි. එයට, පෙර කී සියලු දෙනාම අයිති වෙති. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළ විට (දීමනා වශයෙන් හෝ) ඒ සඳහා අමතර වියදමක් දැරීමට රජයට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසා ඒ මුදල කොහෙන් හෝ සපයා ගත යුතුය. සාමාන්‍යයෙන් රජය විසින් එකී මුදල සොයාගනු ලබන්නේ ජනතාවගෙන් අය කරන බදු ආදී ගාස්තු වැඩි කිරීමෙනි. එවිට සිදුවන්නේ කුමක්ද? පෙර කී වැටුප වැඩිවුණ රජයේ සේවකයාටත්, වැටුප් වැඩිවීමක් නොලද පුරවැසියාටත්, වැඩියෙන් බදු ගෙවීමට සිදු වේ. එනම් වක්‍රාකාරව ඔවුන් සියලු දෙනාගේ ම වියදම වැඩි වේ. මෙයින් වඩාත් පීඩාවට පත්වන්නේ තම මාසික ආදායමේ කිසිදු වැඩිවීමක් නොලද පුද්ගලික අංශයේ සේවකයින් හා රජයේ සේවය නොකරන අතිමහත් බහුතරය ය. එනිසා මෙලෙසින් එක කොටසකගේ පමණක් මාසික ආදායම වැඩිවීම සාධාරණ නොවේ. එබැවින් සියලු දෙනාට සහනයක් දැනෙන ක්‍රමයක් යෝජනා කරමි.

මේ සඳහා සියලු පුද්ගලයන්ගේ මාසික ආදායම වැඩි වීම අනිවාර්ය නොවේ. ඒ වෙනුවට සියලු දෙනාගේ මාසික වියදම අඩු කිරීමෙන් ද ඒ හා සමාන ප්‍රතිඵලයක් ලබාගත හැකිය. මාසික වියදම අඩු වීම යනු මුදල් ඉතිරි වීමය. මෙය සිදුවන්නේ ජීවන වියදම අඩු වීමෙනි. ජීවන වියදම අඩු වීමට නම් රටේ සෑම ප්‍රදේශයකම භාණ්ඩ හා සේවා මිල අඩු විය යුතුය. අඩු කළ යුතුය. අවම වශයෙන් අත්‍යාවශ්‍ය යැයි ගැනෙන භාණ්ඩවල මිල හෝ අඩු වුවහොත් එය සියලු රටවැසියනට දැනෙනු ඇත. එවිට පඩි වැඩිවීමක් අනවශ්‍යය. රටේ උද්ධමනයට ද මෙය හිතකර ලෙස බලපායි.

මා පෙර සඳහන් කළ දෙවන හේතුව බදු නිසා භාණ්ඩ හා සේවා මිල වැඩිවීම මත පදනම් වේ. එක් අතකින් ආදායම වැඩි කළ ද අනෙක් අතින් බදු නිසා බඩු මිල වැඩි විය හැකිය. ප්‍රතිලය කුමක්ද? මුදල බාල්දු වීමයි. මෑතකදී ලෝකයේ සමහර රටවලින් මෙවැනි තත්ත්වයන් වාර්තා වී තිබේ. එම රටවල ජනතාව පාන් රාත්තලක් මිලදී ගැනීමට පවා මුදල් නෝට්ටු මිටියක් රැගෙන යන තත්ත්වයට පත්වුණි. එවැනි තත්ත්වයකට අපේ රට පත්විය යුතු නැත. සමහරවිට රු 5000 මුදල් නෝට්ටුවක් මුද්‍රණය කරන්නට මහ බැංකුවට සිදුවූයේ ද මේ නිසා වන්නට පුළුවනි.

එමනිසා අප සාම්ප්‍රදායික "වැටුප් වැඩි කරනු" චින්තනයෙන් මිදිය යුතුය. ඒ වෙනුවට ජීවන වියදම අඩු කරන ක්‍රම ගැන සිතිය යුතුය. වගකිවයුත්තන් ජීවන වියදම අඩු කිරීමට ගතහැකි ක්‍රියා මාර්ග ගත යුතුය. එය අපේ රටේ ආර්ථිකයේ යහපැවැත්ම පිණිස ද සියලු පුරවැසියන්ගේ යහපත් ජීවන තත්ත්වයක් පිණිස ද හේතු වනු ඇත.