Header Title


උදනිඳුගේ සිතුවිලි

2011/06/07

දෙවියන් දැකීම

මීට වසර 3කට පමණ පෙර මාත් මිතුරෙකුත් මහියංගණයේ සංචාරයක යෙදුණෙමු. එදින රාත්‍රියේ මහියංගණ සෑ රදුන් වැඳ පුදා ගැනීමට ගිය අපි සුපුරුදු පරිදි ඡායාරූප කිහිපයකුත් ගත්තෙමු. ඉන් සමහර ඡායාරූප මිතුරාගේ ඩිජිටල් කැමරාවෙන් ද කිහිපයක් මගේ ජංගම දුරකථනයෙන් ද ලබා ගත්තෙමි. සංචාරයෙන් දින කිහිපයකට පසුව, ලබාගත් ඡායාරූප එකතුව නිරීක්ෂණය කිරීමේදී මහියංගණ චෛත්‍යය අසල දී ගන්නා ලද ඡායාරූප කිහිපයක ලා පැහැති වෘත්තාකාර සටහන් දක්නට විය. ඒවායෙහි තීව්‍රතාවය ද එකිනෙකට වෙනස් විය. නමුත් මේවා සටහන් වී තිබුණේ flash එක භාවිතා වූ මගේ මිතුරාගේ කැමරාවෙන් ලබාගත් ඡායාරූපයන්හි පමණි (පහත ඡායාරූප දෙක බලන්න). මෙවැනි සටහන් මා මීට පෙර දැක තිබුණි. ඒ පුවත්පතක පළ වූ ලිපි කිහිපයකය. ඒ නිසා මා සිත කුහුලෙන් පිරුණි.



එක්තරා ඉරිදා පුවත්පතක පළවන ලිපි පෙළක මුලින්ම මේ ගැන සාකච්ඡා වී තිබුණි. එම ලිපි එක්තරා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමකගේ උපදෙස් පරිදි සම්පාදනය වූ ඒවාය. එම ලිපි පෙළෙහි මුල් ලිපියේ එකී ලියුම්කරු පවසා තිබුණේ මෙම වෘත්ත හැඩැති සටහන් දෙවියන් බවය. මෙවැනි සිදුවීමක් ඔහු මුලින්ම වාර්තා කර තිබුණේ පල්ලේකැලේ ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක දී ගත් ඡායාරූපයක් ද පුවත්පතේ පළ කරමිනි. එහි දැක්වුණු පරිදි, එම භාවනා මධ්‍යස්ථානයෙහි එදින රාත්‍රි පිරිත් දේශනයක් පවත්වා ඇති අතර එම රූප සටහන් පිරිත් ඇසීමට පැමිණි දෙවියන්ගේ බවට ලිපියේ කර්තෘ අදහස් දක්වා තිබුණි. ඉනික්බිති තවත් සතියක එකී ලියුම්කරු විසින්ම බෙල්ලන්විල ප්‍රදේශයේ බෞද්ධ ආරාමයක අලුයම් කාලයේ පිංකමක් අතරතුර ගන්නා ලද 'දෙවියන්ගේ රූප' සටහන් වූ ඡායාරූපයක් පත්‍රයේ පළ කරන ලදී. එමෙන්ම වෘත්තවල තීව්‍රතාවය එම දෙවිවරුන්ගේ ආනුභාවය සහ දිව්‍ය බ්‍රහ්ම යනාදී වශයෙන් අඩු වැඩි වන බවද සඳහන් කර තිබුණි.

කරුණු එසේ නම් අපේ ඡායාරූපවල සටහන් වී ඇත්තේ දෙවියන්ගේ රූප විය යුතුය. නමුත් ෆ්ලෑෂ් එක පමණක් භාවිතා වූ කැමරාවේ පමණක් එකී රූප සටහන් වීමට හේතු කවරේද? තවදුරටත් කරුණු දැනගැනීම සඳහාත් මේ බව පැවසීම සඳහාත් එම ලිපි පෙළ ලියන පුද්ගලයා සම්බන්ධ කර ගතිමි. පුවත්පත් කාර්යාලයේ දුරකථන අංකය සොයාගෙන මම ඔහුට කතා කළෙමි. සිදු වූ දේ ඔහුට පැහැදිලි කළෙමි. එවිට ඔහු පැවසුවේ එවැනි තවත් සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බවත් අපේ ඡායාරූප මුද්‍රණය කර ඔහුට තැපැල් කරන ලෙසත් ය. ෆ්ලෑෂරය යනු ක්ෂණික ආලෝකයක් නිසා දෙවියන්ගේ 'සියුම්' ශරීර ඡායාරූප ගතවීම සඳහා එය අවශ්‍ය බව ඔහුගේ මතය විය. මේ පිළිබඳ විස්තර සාකච්ඡා කිරීම සඳහා එම ලිපි පෙළට දායකත්වය ලබා දෙන ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය ද ඔහු විසින් මා හට ලබා දෙන ලදී. කෙසේ නමුත් මට උන්වහන්සේ හා සම්බන්ධ වීමට නොහැකි විය.

මේ අතර මගේ මිතුරා එම කැමරාවම භාවිතා කර (ෆ්ලෑෂරය සමඟ) රාත්‍රි එළිමහන් සාදයකදී ගත් ඡායාරූප කිහිපයක ද එවැනිම වූ වෘත්ත සටහන් වඩාත් පැහැදිලි ලෙස සටහන් වී තිබුණි (පහත ඡායාරූප දෙක බලන්න). එම සාදයේ ස්වභාවය අනුව එවැනි තැනකට දෙවියන් වඩිති යි කිසිසේත් සිතිය නොහැක. ඒ සාදය මුහුදු වෙරළ ආසන්නයේ පැවැත්වුණු අතර මත්පැන් හා මස් මාළු ද යහමින් තිබුණු එකකි. එමෙන්ම මා සමඟ හිතවත් තවත් පුද්ගලයෙකු රාත්‍රී සාදයක දී ගත් ඡායාරූපවල ද මෙවැනිම සටහන් නිරීක්ෂණය කිරීමට හැකි විය. මේ නිසා මා දන්නා ධර්ම කරුණු අනුව මේ පිළිබඳව තවදුරටත් සිතන්නට පටන් ගතිමි. දෙවියන්ට ඇත්තේ ඉතා සියුම් ශරීර බව බණ පොතේ සඳහන් වෙයි. එහෙත් ඒවා වෘත්තාකාර ද නැතහොත් වෙන හැඩයක් ද යන්න සඳහන් නොවේ. එනමුදු මිනිස් ශරීරවලට සමානකමක් දක්වතියි සිතිය හැකි පරිදි සඳහන් වුණු තැන් තිබේ. පහළ තලයක ජීවින්ට ඉහළ තල වල ජීවීන් පෙනීම ද සිදු නොවේ (සිත දියුණු කිරීමකින් තොරව). එසේ නම් ඒ හැකියාව කැමරා කාචයකට ලැබේද? ඊට අමතරව බ්‍රහ්මයන්ගේ ශරීර දෙවියන්ගේ ශරීර හා සාම්‍යය බවක් දක්වන බවද මා නම් අසා නැත.





ඉහත කරුණු, යම් නිගමනයකට එළඹීමටත්, වැරදි මතයක් දුරලීමටත්, සෑහෙන බව පිළිගනිමි. මේවා දෙවියන්ගේ රූප නොවේ. අවකාශයේ පවතින ජල අංශු වැනි ද්‍රව්‍යයක් නිසා මේ සටහන් ඇති වන බව සිතමි. (මුහුද ආසන්නයේ පැවති සාදයේ ඡායාරූපවල ඇති වෘත්ත සටහන් ප්‍රමාණය වැඩි බව නිරීක්ෂණය කරන්න) ඒවායේ ඝනකම සහ ප්‍රමාණය වෙනස් වීම නිසා විවිධ ප්‍රමාණයෙන් හා තීව්‍රතාවයෙන් කැමරාවේ සටහන් වේ. ආලෝකය විනිවිද ගියද යම් තරමක හෝ ඝනභාවයක් ඇති නිසා රූපය සටහන් වීමට කැමරාවෙන් නික්මෙන ආලෝකය අවැසි වේ. මේ නිගමනයන්ද සියයට සීයක් නිවැරදි නොවීමට ඉඩ තිබේ. මේ ලිපිය සමඟ ඡායාරූප කිහිපයක් ඇතුළත් කර ඇත්තේ කියවන ඔබටත් ප්‍රයෝජනවත් විය හැකි බැවිනි. බොහෝ විට ඔබ සතුවත් එවැනි ඡායාරූප තිබිය හැකිය. මින් ගත යුතු දේ නම් සමහර අදෘශ්‍යමාන කාරණා සඳහා විවිධ පුද්ගලයින් සපයන භෞතිකවාදී පැහැදිලි කිරීම් නුවණින් විමසා බාර ගත යුතු බවයි.

2011/05/19

විජයග්‍රහණයට වසර දෙකයි: සිහි කළ යුතු තවත් පිරිසක්

සිතුල්පව්ව, තන්තිරිමලේ - මේ ස්ථාන දෙකම ඓතිහාසික හා ආගමික වශයෙන් ඉතා වැදගත් වූ සිද්ධස්ථාන දෙකක්. ගිය වසරේ වෙසක් පෝය මම ගෙව්වේ සිතුල්පව්ව විහාරස්ථානයේ. මේ වසරේ වෙසක් පෝය ගත කළේ තන්තිරිමලයේ. මේ හදන්නේ ඒ ස්ථාන පිළිබඳව කතා කරන්න නෙමෙයි. ඒත් ඒවායේ තිබෙන සමාන බවක් පෙන්වා ඒ තුළින් මාතෘකාවට පිවිසීමක් ලබා ගන්නයි.

සිතුල්පව්ව පිහිටා තිබෙන්නේ යාල වනෝද්‍යානය ඇතුළේ. අතීතයේ දොළොස් දහසක් රහතන් වහන්සේලා වැඩ සිටි තැනක්. පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් තැනක්. තන්තිරිමලය තියෙන්නේ විල්පත්තු වනෝද්‍යානය මායිමේ. ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඩ සිටි ස්ථානයක්. පුරා වස්තු ගහන අඩවියක්. මෙවැනි ගැලපීම් ඇති මේ ස්ථාන දෙකම මීට අවුරුදු තුන හතරකට විතර කළින් ඉතා අනාරක්ෂිත තත්ත්වයක තිබුණේ. ඒ කුරිරු ත්‍රස්තවාදී ක්‍රියා නිසා.

නමුත් අද ඒ පෙදෙස්වල මිනිස්සුන්ට නිදහසේ හුස්මක් කටක් ගන්න පුළුවන් වාතාවරණයක් සැකසිලා. ඉස්සර හවස් වෙනකොට වහපු පාරවල් අද ඇරිලා. ලංකාව වටේම ඉන්න ජනතාවට බියක් සැකක් නැතුව ගිහින් මේ ස්ථාන වැඳ පුදා ගන්න පුළුවන්. යුද්ධය නිම වෙලා, ත්‍රස්තවාදය අවසන් වෙලා අදට අවුරුදු දෙකයි. ඒ දවස්වල තර්ජිත ගම්මාන කියලා නම් කරපු මේ ගම්මානවලට අද ඒ ලේබල් එක නැහැ. මම මේ සටහන ලියන්නේත් ඒ ගම්වල නිර්භීත ජනතාවට උපහාරයක් විදියට.

අවුරුදු 30 ක් තිස්සේ පැවැති යුද්ධය නිසා විශේෂයෙන්ම නැගෙනහිර හා උතුරු මැද පළාත්වල ගම්මාන රාශියක් 'තර්ජිත' තත්වයට පත්වුණා. ඒ නිසා හුඟක් ගම්වල මිනිස්සු තමන්ගේ ගේ දොර ඉඩකඩම් අතහැරලා ගියා. ඒ මරණ බය නිසා. ඒ අතරේ ජීවිත නැති වුණත් ගම්බිම් අතහැරලා යන්නේ නැහැයි කියන දැඩි අධිෂ්ඨානයෙන් තමන්ගේ ගම්වල රැඳිලා ඒවා ආරක්ෂා කරගත් ජනතාව හිටියා. මේ වගේ වටිනා ස්ථාන රටට, ජාතියට, මතු පරපුරට ආරක්ෂා වුණේ ඒ නිසයි. ඔවුන් නොවන්නට ත්‍රස්තවාදීන් තව තවත් ප්‍රදේශ අල්ලගන්න ඉඩ තිබුණා. තමන්ගේ ආදරණීයන් එක එක්කෙනා ත්‍රස්ත උණ්ඩයට, බිම් බෝම්බයට බිලි වෙද්දීත් මොවුන් එඩිතරව ආරක්ෂක අංශ සමඟ එකතු වෙලා සතුරාට එරෙහිව සටන් කළා. ඒ අප්‍රමාණ දුක් විඳගෙන. සමහරවිට හරියට නොකා, නිදි මරමින්. තමන්ගේ ජීවිකාවත්, ළමයින්ගේ පාසල් අධ්‍යාපනයත් හරියට කරගන්න බැරිවයි ඔවුන් මේ කැපවීම් කළේ. ඒ අතරේ කටුක දේශගුණය එක්කත් ඔට්ටු වුණා.

ඉතින්, යුද ජයග්‍රහණයෙන් දෙවසර සමරන මේ මොහොතේ අපි ඔවුන්ට කෘතඥ වෙන්නට ඕනේ. ඉතිහාස පොත්වල ඔවුන්ගේ නම් සටහන් නොවෙන්න පුළුවන්. ඒත් සයිබර් අවකාශයේ නම් එහෙම වෙන එකක් නැහැ.

2011/05/18

අපි කොතරම් පිළිවෙත් ගරුකද?

"කියන්නේ එකක්, කරන්නේ තව එකක්" නම් එතැන ප්‍රතිපත්තියක් නොමැත. එමෙන්ම 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙන්නැ යි කියනු ද නිතරම ඇසේ. මේ කරුණු දෙකකි. එහෙත් සම්බන්ධයක් ද තිබේ. බෞද්ධයෙකුගේ නිත්‍ය ප්‍රතිපත්තිය පංච ශීලයයි. එය රකින්නට බැරිනම් සමාදන් නොවිය යුතුය. එහෙත් පන්සිල් 'ගැනීම' සිරිතට කරන බැවින්දෝ එය එතරම් ගණනකට නොගන්නා පිරිස බොහෝය. තවත් සමහරෙක් කරනා දෑ තේරුම් ගන්නට අපහසුය.

මේ මෑතක දී, බසයේ ගමන් කරන විට දුටු දෙයකි. මා අසල වාඩි වී සිටි වයසක පුද්ගලයෙකි. හේ බීමතින්ය. මටද ගඳ දැනේ. බෙල්ලන්විල පන්සල ආසන්න වනවාත් සමඟම ඔහු නැඟිටින්නට වෙර දැරීය. එහෙත් වෙරි බැවින් නොහැකි විය. ඒ නිසා දෑත එක්කර වැන්දේය. සුරාමේරය ශික්ෂා පදය බිඳ තිබුණත් පන්සල කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව පැවැත්තා සේය. අනිකුත් සිල් පදවල තත්වය ද මෙසේය. 'පාණාතිපාතා' ශික්ෂා පදය සමාදන්ව ඊට විරුද්ධ දේම කරති. පිටකොටුවේ වෙසක් සැරසිලි මෙන්ම මී පාසාණම් විකිණෙන්නේ ද එබැවිනි.

සොරකම ගැන කතා කරනවානම් කීමට අපූරු කතාවක් තිබේ. කලක් මාගේ හිතවතෙකුව සිටි පුද්ගලයෙකි. ඔහු වෙබ් අඩවි හා පිටු නිර්මාණය කරයි. යමක් අලුතින් නිර්මාණය කරන්නට අවශ්‍ය වූ විට තව කෙනෙක්ගේ වෙබ් පිටුවක් ගෙන තමන්ට අවැසි ලෙස වෙනස් කර මොහුගේ වෙබ් අඩවියක පළ කරයි. මෙසේ කිරීම නිසා කීප සැරයක්ම හසු වී හිත නොහොඳකම් ආදී නොයෙකුත් ප්‍රශ්න ද ඇති විය. ඔහුගේ දරුවාට නම් තිබ්බේ ද ඒ හා සමාන අයුරකිනි. මිතුරෙකුගෙන් නම් ලැයිස්තුවක් ඉල්ලා ඒ මිතුරා තම දියණියට තැබූ නමේ අකුරක් දෙකක් පමණක් වෙනස් කරගෙන මොහු ද නමක් සාදා ගති. ඊට මොකුත් කිව නොහැක්කේ ඒ ඔහුගේ අභිමතය වන බැවිනුත්, එසේ කිරීමට ඔහුට නොහැකියාවක් නොමැති බැවිනුත්, එහි ද යම් නිර්මාණශීලීත්වයක් ඇති බැවිනුත් ය. එපමණක්ද, ජනාධිපතිගේ නමින් රටේ සෑම ජංගම දුරකථන පරිශීලකයෙකු වෙතම එවා තිබූ එස්.එම්.එස්. වෙසක් සුභ පැතුම ද මොහුට අවශ්‍ය ආකාරයට සකසා මිතුරන් වෙත යවා තිබුණේ ඉන් ඔහුගේ කාලය ඉතිරිවන නිසා වන්නට හැකිය. කෙසේ වුවද, මීට වඩා අතිවිශාල, වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම හොරකම් ලෙස ගැනෙන ක්‍රියා රටේ සිදු වේ. ඔවුහු ද පන්සිල් ගනිති.

කාම මිථ්‍යාචාරය ද, මුසාව ද, මෙලෙසම ය. සමහරුන්ට වැරදි කාම සේවනය විලාසිතාවකි. මුසාව පුරුද්දකට ගොසින් ය. විද්‍යුත් මාධ්‍ය තුළ මුසාව හා රැවටීම සඳහා ම නිර්මාණය වූ වැඩසටහන් ද ඇත. එනමුත් ඒවායේ පෝය දිනය පුරාවට ආගමික වැඩසටහන් ය.

මේ වෙසඟේ කොළඹ නගරය අත්‍යාලංකාරව සරසා තිබේ. මේ සියලු ආලෝක පූජා බුදුරජාණන් වහන්සේ උදෙසාය, උන්වහන්සේ නිසාය. වෙසක් බලන්නට යන්නෝ ද ඒ බව සිත් හි දරාගත යුතුය. කට ගොන්නක් බී ගෙන, ඇඳි වතෙන් කොටසක් නැතිව, බජව් දමමින්, හූ කියමින් යන්නේ කොහේදැ යි මදකට සිතිය යුතුය. පිළිවෙතින් පෙළගැසීමට නොහැකි නම් අඩුම තරමින් ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගෙවීමටවත් ඉටා ගත යුතුය.

2011/04/19

නම වෙනස් කිරීමයි

මෙතෙක් කලක් "උදේන්ද්‍රගේ සිතුවිලි" නම් වූ මේ බ්ලොගය අද සිට "උදනිඳුගේ සිතුවිලි" ලෙස නම් කරමි. 'සුරනිඳු', 'නරනිඳු', ආකාරය අනුව යමින් සකු ආරෙන් මිදීමට සිත් වුණු හෙයිනි. 'සුරිඳු', 'නරිඳු', අයුරින් 'උදිඳු' කරන්නට සිතුණ ද ගණ ගැනත් යම්තම් සිතා පෙර ආකාරයට වඩාත් කැමති වීමි. එනමුදු දෙවදනේ ම මුලකුරු තුන ලඝු බැගින් සමන්විතව දේව ගණයට අයිති බැවින් ඒ ගැනද එතරම් සිතන්නට දෙයක් නොතිබුණි. අක්ෂර සම්බන්ධයෙන් ද කරුණු එසේම යැ. වෙනසක් තිබේ නම්, වාග් ශාස්ත්‍රය පිළිබඳ දැනුමැතියෙකුගෙන් ඒ ගැන දැනගන්නට උදක්ම කැමැත්තෙමි.

2011/04/15

සුභ අලුත් අවුරුද්දක් වේවා!

ලැබුවා වූ නව වසර සැමටම සුභ නව වසරක් වේවා! මේක ලියන්න ගත්තේ අවුරුද්දට වැඩ අල්ලන්න. මම සාමාන්‍යයෙන් අවුරුද්දට වැඩ අල්ලන්නේ පොතක් කියවලා, ලිපියක් ලියලා, කෝඩිං ටිකක් කරලා වගේ කටයුතු වලින්. මේ අවුරුද්දේ ආහාර අනුභව කරන නැකත යෙදුණේ ටිකක් දවල් වෙලා නිසා එතකං බඩගින්න ඉවසගෙන හිටියා. ඊට පස්සේ බඩ පැලෙන්න කෑවා. ඒත් කිරිබත් නම් ටිකයි කෑවේ. මොකද හෙම්බිරිස්සා ගතියක් තිබුණ නිසා.

ශ්‍රී ලාංකීය අපේ අවුරුද්ද මේ සිංහල අවුරුද්දයි. ඒ විතරක්ද, ජනවාරි මාසයේ උදාවන ව්‍යවහාරික නාමික නව වසරට වඩා මේක හැම අතින්ම විද්‍යාත්මකයි. හේතුව මේක සූර්යයා හා බැඳුණු ගණනය කිරීම් ඇසුරෙන් සැමරෙන අවුරුද්දක්. ජනවාරියේ යෙදෙන 'බටහිර' අවුරුද්දට ඒ වගේ කිසිම පදනමක් නැහැ. දේශගුණය වුණත් මේ හා යා වෙලා. කාලගුණයේ විපරිතවීම් නිතරම දකින්න ලැබුණත් බලන්න බක් මාසය වෙනකොට 'බක් මහ අකුණු' කොටන්න ගන්න හැටි! අනික මේ අවුරුද්දේ කොහා හරි 'ට්‍රැක්' එකට වැටිලා වගෙයි. පහුගිය අවුරුදු තුන හතරකම කොහා වැරදි කාලේ කෑ ගහනවා ඇහුණත් මේ අවුරුද්දේ නම් එහෙම වුණේ නැහැ.

අවුරුදු සිරිත් විරිත් වුණත් හරි විශේෂ අත්දැකීම්. මුළු රටම එකම වෙලාවට බොහෝ දුරට එක හා සමාන කාර්යයන් කිහිපයක යෙදෙනවායි කියන එකම කොච්චර අපූරුද? හැබැයි දැන් නම් මාධ්‍යකාරයෝ මේවට අරක්ගෙන. මේ රටේ කොහේවත් නොකෙරෙන, මීට කලින් කෙරුණාද කියලවත් විශ්වාස නැති අමුතු අමුතු චාරිත්‍ර ටීවී එකෙන් පෙන්නනවා. මේවා මිනිස්සුන්ට දෙන්නෙත් බොරුවට ජාතිකත්වය වගේ දෙයක් ආරූඪ කරලා. හැබැයි බිම් මට්ටමේ, ගම් මට්ටමේ, තත්ත්වය පොළොවේ පය ගහලා ජීවත්වෙන මිනිස්සු දන්නවා. ඒ නිසා අපි මාධ්‍යවලින් පෙන්නන දේ බලලා, රස විඳලා, 'ඇත්ත' චාරිත්‍ර ටික හරියට කරනවා.

අවුරුද්ද සමරන විදිහේ පොඩි පොඩි වෙනස්කම් නගරබදවත් ගම්බදවත් දකින්න තියෙනවා. ගම්බද මිනිස්සුන්ට නගරයට වඩා ලොකු නිදහසක්, පරිසරය එක්ක සමීපවීමක් තියෙනවා. නගරයේ අපි තාප්ප වලින් වටවෙලා, ගහකොළ සීමිතයි, අවුරුදු චාරිත්‍රත් උපකරණ යොදාගෙන සැමරෙන තත්වයක් තියෙන්නේ. ඒ අතරත්, හැකිතරම් ඉස්සර තිබුණු සරල බව, දේශීය බව, රැකගන්න උත්සාහ දරන පිරිස් ඉන්නවා. මොකද මේවා ඊළඟ පරම්පරාවට ව්‍යාප්ත වෙන්න ඕනෙ. අපේ සංස්කෘතිකාංග නොනැසී, වඳ නොවී පවතින්නේ එතකොටයි.

අලුත් අවුරුද්දේ අලුත් වීම ගැන කතා නොකළොත් ලොකු අඩුවක්. අපි භෞතික වශයෙන් හැමදෙයක්ම අලුත් කළාට ආධ්‍යාත්මික වශයෙන් අලුත් වෙනවාද? අපේ ආකල්ප වෙනස් කර ගන්නවාද? නරක ගති පැවතුම් අතහැරලා හොඳ දේ හරි දේ ජීවිතයට එකතු කරගන්නවාද? මේ ගැන නම් ඉතා ඕනෑකමින් හිතලා බලන්න ඕනෙ. නැත්නම් අවුරුද්ද අලුත් වේවි. අපි එකම තැන ඉඳීවි. ඇඟට නොදැනීම පරණ වේවි. එසේ නොවේවායි පතමි!