Header Title


උදනිඳුගේ සිතුවිලි

2011/04/15

සුභ අලුත් අවුරුද්දක් වේවා!

ලැබුවා වූ නව වසර සැමටම සුභ නව වසරක් වේවා! මේක ලියන්න ගත්තේ අවුරුද්දට වැඩ අල්ලන්න. මම සාමාන්‍යයෙන් අවුරුද්දට වැඩ අල්ලන්නේ පොතක් කියවලා, ලිපියක් ලියලා, කෝඩිං ටිකක් කරලා වගේ කටයුතු වලින්. මේ අවුරුද්දේ ආහාර අනුභව කරන නැකත යෙදුණේ ටිකක් දවල් වෙලා නිසා එතකං බඩගින්න ඉවසගෙන හිටියා. ඊට පස්සේ බඩ පැලෙන්න කෑවා. ඒත් කිරිබත් නම් ටිකයි කෑවේ. මොකද හෙම්බිරිස්සා ගතියක් තිබුණ නිසා.

ශ්‍රී ලාංකීය අපේ අවුරුද්ද මේ සිංහල අවුරුද්දයි. ඒ විතරක්ද, ජනවාරි මාසයේ උදාවන ව්‍යවහාරික නාමික නව වසරට වඩා මේක හැම අතින්ම විද්‍යාත්මකයි. හේතුව මේක සූර්යයා හා බැඳුණු ගණනය කිරීම් ඇසුරෙන් සැමරෙන අවුරුද්දක්. ජනවාරියේ යෙදෙන 'බටහිර' අවුරුද්දට ඒ වගේ කිසිම පදනමක් නැහැ. දේශගුණය වුණත් මේ හා යා වෙලා. කාලගුණයේ විපරිතවීම් නිතරම දකින්න ලැබුණත් බලන්න බක් මාසය වෙනකොට 'බක් මහ අකුණු' කොටන්න ගන්න හැටි! අනික මේ අවුරුද්දේ කොහා හරි 'ට්‍රැක්' එකට වැටිලා වගෙයි. පහුගිය අවුරුදු තුන හතරකම කොහා වැරදි කාලේ කෑ ගහනවා ඇහුණත් මේ අවුරුද්දේ නම් එහෙම වුණේ නැහැ.

අවුරුදු සිරිත් විරිත් වුණත් හරි විශේෂ අත්දැකීම්. මුළු රටම එකම වෙලාවට බොහෝ දුරට එක හා සමාන කාර්යයන් කිහිපයක යෙදෙනවායි කියන එකම කොච්චර අපූරුද? හැබැයි දැන් නම් මාධ්‍යකාරයෝ මේවට අරක්ගෙන. මේ රටේ කොහේවත් නොකෙරෙන, මීට කලින් කෙරුණාද කියලවත් විශ්වාස නැති අමුතු අමුතු චාරිත්‍ර ටීවී එකෙන් පෙන්නනවා. මේවා මිනිස්සුන්ට දෙන්නෙත් බොරුවට ජාතිකත්වය වගේ දෙයක් ආරූඪ කරලා. හැබැයි බිම් මට්ටමේ, ගම් මට්ටමේ, තත්ත්වය පොළොවේ පය ගහලා ජීවත්වෙන මිනිස්සු දන්නවා. ඒ නිසා අපි මාධ්‍යවලින් පෙන්නන දේ බලලා, රස විඳලා, 'ඇත්ත' චාරිත්‍ර ටික හරියට කරනවා.

අවුරුද්ද සමරන විදිහේ පොඩි පොඩි වෙනස්කම් නගරබදවත් ගම්බදවත් දකින්න තියෙනවා. ගම්බද මිනිස්සුන්ට නගරයට වඩා ලොකු නිදහසක්, පරිසරය එක්ක සමීපවීමක් තියෙනවා. නගරයේ අපි තාප්ප වලින් වටවෙලා, ගහකොළ සීමිතයි, අවුරුදු චාරිත්‍රත් උපකරණ යොදාගෙන සැමරෙන තත්වයක් තියෙන්නේ. ඒ අතරත්, හැකිතරම් ඉස්සර තිබුණු සරල බව, දේශීය බව, රැකගන්න උත්සාහ දරන පිරිස් ඉන්නවා. මොකද මේවා ඊළඟ පරම්පරාවට ව්‍යාප්ත වෙන්න ඕනෙ. අපේ සංස්කෘතිකාංග නොනැසී, වඳ නොවී පවතින්නේ එතකොටයි.

අලුත් අවුරුද්දේ අලුත් වීම ගැන කතා නොකළොත් ලොකු අඩුවක්. අපි භෞතික වශයෙන් හැමදෙයක්ම අලුත් කළාට ආධ්‍යාත්මික වශයෙන් අලුත් වෙනවාද? අපේ ආකල්ප වෙනස් කර ගන්නවාද? නරක ගති පැවතුම් අතහැරලා හොඳ දේ හරි දේ ජීවිතයට එකතු කරගන්නවාද? මේ ගැන නම් ඉතා ඕනෑකමින් හිතලා බලන්න ඕනෙ. නැත්නම් අවුරුද්ද අලුත් වේවි. අපි එකම තැන ඉඳීවි. ඇඟට නොදැනීම පරණ වේවි. එසේ නොවේවායි පතමි!

2011/03/25

ඉඳහිට ලියවෙන හිටිවන කවි

මම කවියෙක් යැයි නොසිතමි. එහෙත් අසන්නට දකින්නට දැනෙන්නට ලැබෙන දෑ අනුසාරයෙන් මගේ සිතට ද ඉඳහිට කවි සිතුවිලි පහළ වේ. එවන් අවස්ථාවන්හිදී කවියක් දෙකක් පබැඳෙන්නේ නිතැතිනි. එලෙස ලියැවුණු කවි කිහිපයකුත් ඊට පාදක වූ කරුණුත් මෙලෙසින් ගෙනහැර පාමි.


ඔන්න දවසක් මම වැඩට එන ගමන්. නුගේගොඩ දී බස් එක වාහන තදබදයේ හිරවෙලා, මම හිටගෙන. ඉතින් මට පේනවා වාහනයක ඇතුළේ 'ඩෑෂ් බෝඩ්' එක උඩ හිටවපු ප්ලාස්ටික් සූරියකාන්ත මලක්. වාහනේ යනකොට මේක පැද්දෙනවා. මට සිතුවිල්ලක් පහළ වුණා. සූරියකාන්ත මල් පිපෙන්නේ සූර්යාලෝකය පතිත වුණු විටදී වුණත් මේ මලට එහෙම අවශ්‍යතාවයක් නැහැනේ. මේක අව්වට වැස්සට තෙමෙන්නෙත් නැහැ. ඒ වේලාවේම හැදුවා පොඩි කවියක්. පස්සේ ඔෆිස් එකට ඇවිත් ලිව්වා.

පොළොවේ නොපිහිටි සුරියකන්ත         මලේ
හිරු නැතිව ද පිපි සුරියකන්ත               මලේ
වැසි වැටුණ ද නොතෙමෙන ඒ සොඳුරු මලේ
පවන නොමැත එනමුදු නැළැවේ එ       මලේ


මල් ගැනම කියලා පටන් ගත්ත නිසා ඒ වගේම තවත් අත්දැකීමක් කියන්නම්කො. මේක දැක්කේ 'ස්ටාෆ් බස්' එකේ උදේ එනකොට. නාවින්නේ මිරිහාන පාරේ පන්සලක් ඉස්සරහ නෙළුම් මල් හුඟක් පිපෙන පොකුණක් තියෙනවා. ඒත් මෙදා නම් පිපිලා තිබුණේ එකම එක මලයි. තවත් හරි අපූරු සිතුවිල්ලක් පහළ වුණා. ඒක මෙහෙමයි:

වෙහෙර ඉදිරිපිට පොකුණකි
එහි එකම             නෙළුමකි
මඩ පතුල වන්        ලොවකි
ඉන් නැගුණු           උතුමෙකි

ඔතැන උතුමා යනුවෙන් මම අදහස් කළේ නම් නික්ලේශී උත්තමයෙක්. ඒත් වෙන අර්ථකථනයක් වුණත් දෙන්න පුළුවන්.


දැන් මම කියන්නේ ගල් දෙකක් ගැන. පළවෙනි එක නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගලක්. ඒ කිව්වේ බතලේගල ගැනයි. තියෙන්නේ මාවනැල්ල පළාතේ. මම ඕක තනියම තරණය කළා. ගල මුදුනට ගියාම මට දැනුණු හැඟීමයි මේ…

හිතුවා කවදාහරි යන්නට    බතලෙගලේ
එලෙසින් ගියා මම අද        බතලෙගලේ
නැගගත් පසුව විරියෙන් මුදුනට එගලේ
මා දෙනයන අවටට ආදරය          කළේ

ගමනේ පින්තූර මෙතැනින් බලාගන්න පුළුවන්.

අනිත් ගල නම් ගලක් නෙවෙයි. මීතිරිගල කියලා පළාතක්. මම දන්න මල්ලි කෙනෙක් මීතිරිගල ආරණ්‍යයේ ගිහින් මහණ වුණා. මම ඉතින් දවසක් ඒ හාමුදුරුවෝ මුණ ගැහෙන්න ගියා. ඒ හමුවීම මට අදටත් අමතක නොවන අත්දැකීමක්. පහුවෙනිදා ඔෆිස් එකට ඇවිල්ලත් හිතුවේ ඒ ගැනමයි. ඔය අතරේ එදා අපේ අධ්‍යක්ෂකතුමා පොඩි රැස්වීමක් කැඳෙව්වා. රැස්වීමේ එක්තරා අවස්ථාවක දී හරිම කම්මැලි ගතියක් දැනුණා. මම අතේ තිබුණු සටහන් පොතේ කවි තුනක් සටහන් කළා.

සිසිලසය වන සෙනසුන
සිසිලසය සිත     නිවුණ
නිසසලය මුනි  හමුවුණ
අනලසය කල්  ගතවුණ

ඇතුළු වුණි ඒ   අරණට
මා ගිය           අරමුණට
වෙහෙස වුණු  පමණට
ලත් නිරාමිස අපමණට

මා මිතුරු            මිදුණා
සතුට මා හට     දැනුණා
නිති කෙලෙස්     තවනා
පෙනේ ඔබගේ සිඳෙනා

මේ කවි තුනට නම් ලබපු අත්දැකීමේ සාරාංශයක් කියලාවත් කියන්න බැහැ. ඒ වුණාට සම්පූර්ණ කතාව කවියකට නගන්නත් වචන මදි.


දැන් 'මූඩ් එක' වෙනස් කරන්නයි යන්නේ. දවසක් අපේ ඔෆිස් එකේ ගැහැණු ළමයෙක් අලුත් ඔසරියක් ඇඳගෙන ආවා. පුංචි කවියක් ලියවුණා.

හැඳ නව      ඔසරිය
යන මල්       කුමරිය
දැකුමෙන් තුටු   විය
නෙත සිත දෙකමය


ඒ වගේම තවත් පුංචි (නිසඳැස්) කවියක් ලියවුණේ දවසක් යාළුවෙක් එක්ක 'චැට්' කරන කොට. මොකද, කොච්චර ටයිප් කළත් එහා පැත්තේ ඉන්න කෙනාගේ මුහුණ පේන්නේ නැහැනේ. ඉතින් ඒ කෙනා තරහින් හිටියත් හිනාවෙන 'ඉමොටිකොන්' දාන්න පුළුවන්. හැඟීම් කියන දේට වෙස් මුහුණක් ලබාදෙන්නට මේ මෘදුකාංග වල අතුරු මුහුණත් සමත් වෙලා.

තොරතුරු යුගයක අද
අනවැසි වත    දකිනට
අංකිත     හුවමාරුවක
සබැඳි වේ අපි        අද


මෙලෙසින් ලියවුණු කවි හා නිසඳැස් කවි බොහෝමයක් මා සතුය. සමහරක් අතිශයින් පෞද්ගලිකය. අනෙක්වා විවිධ මාතෘකා හා තත්ත්වයන් අරභයා ය. හැකිනම් පසුකලක ඒවාද පළ කරන්නෙමි.

2011/02/15

වැලන්ටයින් ආදරය

අද වැලන්ටයින් දිනයයි. සිංහලෙන් නම් 'ආදරවන්තයින්ගේ' දිනය. මේ අර්ථකථනය කෙතරම් නිවැරදි දැයි සොයා බැලීමට සුදුසුම දිනය අද බවයි මාගේ අදහස.

'වැලන්ටයින්' සංකල්පය හා සැමරුම ආරම්භ වුණු බටහිර රටවල මේ දිනය සැමරෙන්නේ ප්‍රේමවන්තයින් අතරම පමණක් නොවේ. දෙමවිපියන් හා දූ දරුවන්, සහෝදර සහෝදරියන්, නෑදෑ හිතමිතුරන් ආදී තමන් හා ලෙන්ගතු ඕනෑම අයෙක් සමඟ එක්ව ඔවුහු වැලන්ටයින් සමරති. තෑගි හා සුභ පැතුම් හුවමාරු කර ගනිති. පොදුවේ එය ආදරයට එහා ගිය ලෙන්ගතු බව, සෙනෙහස, වැනි පුළුල් පරාසයක් කරා දිවෙයි.

අපේ රටේ තත්ත්වය ඊට බොහෝ වෙනස්ය. අපගේ සංස්කෘතියට අනුව මෙය පහත්, අනුවණ සැමරුමක් බවට පත්වී ඇත්තේත් මේ නිසාය. එනම්, එය ප්‍රේමවන්තයින්ට පමණක් හෝ රාගයෙන් අන්ධ වූ තරුණ පිරිසකට පමණක් හෝ බොහෝ විට සීමා වීම නිසාය. බටහිර රටවල තත්ත්වය මීට වෙනස්ය. ඔවුහු මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, ගුරු දිනය, පරිසර දිනය ආදී දින සමරන්නාක් මෙන් වැලන්ටයින් දිනය සමරති. අපි ද ඉහත දැක්වූ දින සමරන්නෙමු. නමුත් 'ආදරවන්තයින්ගේ' දිනය සමරන ආකාරය වැරදියට තේරුම් ගෙන ඇත්තෙමු.

මම නම් පුද්ගලිකව ආදරය එක් දිනකට සීමා කිරීමට නොකැමැත්තෙමි. එය වසරේ දින 365 පුරාවටම පැවතිය යුත්තකි. එනමුත් සිය ආදරවන්තයාට, ආදරවන්තියට හෝ සෙනෙහැත්තන්ගේ ජීවිතවලට යම් විවිධත්වයක් එකතු කරනු වස් මෙවන් දිනයක් යොදා ගැනීම වරදක් කියා ද නොකියමි. අපට අනෙකුත් දින සැමරිය හැකි නම් අපගේ රටට, සදාචාරයට ගැළපෙන පරිදි වැලන්ටයින් දිනය අනුගත කරගැනීමේ නොහැකියාවක් තිබිය නොහැකිය. ඒ සඳහා අධික මිලැති ත්‍යාග මිල දී ගැනීම හෝ හෝටල් කාමර වෙන් කරගෙන රාගික අදහස් මුදුන්පත් කරගැනීමට ක්‍රියා කිරීම සුදුසු නොවේ. එය එක් අතකින් සාන්තුවරයෙක් නිසා ඇරඹුණි යයි පවසන දිනයක පිරිසිදු අහිංසක අර්ථය විකෘති කර පහත් තත්ත්වයකට ඇද දැමීමකි.

2011/02/08

තදබදේ තදබදේ

ට්‍රැෆික්! නගරබද හා තදාසන්න ප්‍රදේශ වල අයට නම් එච්චර ප්‍රියමනාප වචනයක් නෙමෙයි. මේ දවස්වල පාරේ තියෙන වාහන කන්දරාවත් ඒ නිසාම වැඩි වී ඇති වාහන තදබදයත් දැක්කම අපි කොහොමද සංවර්ධනයක් කරා යන්නේ කියලා හිතෙනවා. නිකමට හිතන්න මේ නිසාම අපතේ යන ඉන්ධන සහ කාලය ගැන. ඒ කියන්නේ සල්ලි! පාරවල් කොච්චර හොඳට හැදුවත්, කොච්චර පළල් කළත්, ගුවන් පාලම් හැදුවත්, මේක නම් එහෙම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි??

පාරවල් වල ඉඩ තියෙන තරමට මිනිස්සු තවත් වාහන පාරට දානවා. පහුගිය කාලෙත් සෑහෙන වාහන කන්දරාවක් රටට ආවානේ. ඒක හොඳ නැහැයි කියනවා නෙමෙයි. මොකද කවුරුවත් කැමති නැහැ බස්වල තෙරපිලා දාඩිය දාගෙන, එහෙමත් නැතිනම් ජීවිත ආසාව අතඇරලා පාපුවරුවේ එල්ලිලා යන්න. ඒත් සැප ගන්න කියලා ගිහින් අන්තිමට ගන්නේ සැපම ද කියලා හිතලා බලන්න. පැය ගාණක් පාරේ ට්‍රැෆික් එකේ හිරවෙලා, තෙලුත් පුච්චගෙන, ඇඟේ ලේත් පුච්ච ගන්නවා. ඊට පස්සේ බලන්න මොන දුකක් ද, නිතරම ක්ලච් එක පාග පාග, බ්‍රේක් කර කර යන එක. හැබැයි ඉතින් කකුල් වලට හොඳ ව්‍යායාමයක් කියලා සුභවාදීව හිතන්න පුළුවන්. මේ ඔක්කොමත් හරියි කියමු. එත් අන්තිමට හතර දෙනෙක් යන්න පුළුවන් වාහනේ යන්නේ එක්කෙනයි! ඒ කියන්නේ එළවන කෙනා. අපරාදේ නේද? ඉතින් එක වාහනේකට පාරේ පර්ච් එකක් විතර ඉඩ යනවා. ඒ කියන්නේ එක පුද්ගලයෙක් සඳහා එච්චර ඉඩක්.

ට්‍රැෆික් ඇති වෙන්න බලපාන හේතුත් ගොඩක් තියෙනවා. මේවායින් වැඩි හරියක්ම සිද්ධ වෙන්නේ රියැදුරන්ගේත්, මගීන්ගේත් අසංවරකම් නිසා. අපේ මිනිස්සුන්ට පාර පනින්න ගියාම තැනක් නොතැනක් නැහැ. හිතුණ තැනින් පනිනවා. ඊට පස්සේ ඇක්සිඩන්ට් වුණාම වාහනේ එළවපු මනුස්සයා අමාරුවේ. බස් එකට නගින්න ගියාම හැම තැනින්ම අත දාලා නවත්ත ගන්න බලනවා. බස් කාරයාත් තියෙන කෑදරකමට ඕනෑම තැනක නවත්තලා 'ලෝඩ්' කරනවා. ඉතින් පිටිපස්සෙන් එන වාහන ඔක්කොම හිර වෙනවා. මේ ළඟදී මම දැක්කා පාලමක් උඩත් බස් එකකට මිනිස්සු නග්ග ගන්නවා. ඔය රියදුරා මාර්ග නීති පරීක්ෂණය පාස් වුණේ කොහොමද කියන එක හොයලා බලන්න ඕනෙ. අපේ තවත් සමහරු හිතන් ඉන්නේ පාර කියන්නේ free parking එකක් කියලා. ඒකනේ පාර අයිනේ ලස්සනට වාහනේ නවත්තලා යන්නේ. ඉතින් අනේ ඒකෙන් පාරේ අනිත් වාහන වලට යන්න තියෙන ඉඩ ඇහිරෙනවා. එතකොට බ්ලොක් එකක් ඇතිවෙන එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. තව දෙයක් තමයි කන්ටේනර්, ට්‍රක් වගේ බර වාහන උදේටයි හවසටයි පාරට දාන එක. කාර්යාල වේලාවන් කියලා කියන මේ වේලාවට ඔය හිමිට ගමන් කරන තඩි වාහන නිසා පාර බ්ලොක් වෙනවා කියන එක මම වගේම දිනපතා මාර්ග තදබදය අත්විඳින ඕනෑම කෙනෙක් පිළිගන්නවා. ආහ්, මේ තත්වයට වග කිවයුතු තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි ජනතාවත් රියැදුරනුත් බොහෝ විට 'ආදරයෙන්' මතක් කරන රථ වාහන පොලීසියේ මහත්වරු. වාහන තදබදය වැඩිම මංසන්ධි වලට සමහර වේලාවට දාන්නේ අත්දැකීම් අඩුම තරුණ පොලිස් නිලධාරීන්. මේගොල්ලෝ ඉතින් හුඟක් වෙලාවට නා ගන්නවා. වැඩියෙන්ම ඉඩ දිය යුතු මාර්ගයට ඉඩ නොදීම, දිනයේ ට්‍රැෆික් තත්වය නිසි පරිදි අවබෝධ කර නොගැනීම වගේ වැරදි, අතපසුවීම් නිසා විශාල තදබද ඇති වෙනවා. හැබැයි ඒ අතර මේ අසීරු රාජකාරිය දක්ෂව ඉටු කරන පොලිස් නිලධාරීනුත් මම දැකලා තියෙනවා. ඔවුන් ඇත්තෙන්ම හරිම දක්ෂයි. හේතුව, දූවිලි කකා, විස දුම බිබී, අව්වේ වේලි වේලි, වැස්සට තෙමි තෙමී කරන ඔය රාජකාරිය ලේසි වැඩක් නෙමෙයි. පොලීසිය වගේම වැරදි ටයිමින් තියෙන 'කලර් ලයිට්' නිසාත් දැවැන්ත මාර්ග තදබද ඇතිවෙනවා. ඉතින් ඒවා විද්‍යානුකූල ක්‍රමවේදයකට සුසර කරන එක අත්‍යාවශ්‍යයි.

මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න බැරි නැහැ. පටන් ගන්න ඕන පළමුවෙනි තැන තමා ජනතාව (රියැදුරන් ද ඇතුළුව) විනයානුකූල වීම එක්කෝ කිරීම. ඉන්පස්සේ හොඳ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් ඇති කිරීම. මේ දෙක කළොත් ප්‍රශ්නෙන් 80% ක් විසඳෙනවා කියන එකයි මගේ හැඟීම. ඒක ජාතික ආර්ථිකයටත්, ජනතාවගේ සෞඛ්‍යයටත් මහඟු ප්‍රතිඵල ගෙන දෙනවා නොඅනුමානයි.

පාරේ ට්‍රැෆික් වගේම බස් ඇතුළේ 'ට්‍රැෆික්' ගැනත් පොඩ්ඩක් ලියන්න හිතුණා. මේ සිතුවිල්ල ආවෙත් ට්‍රැෆික් එකේ හිරවුණ බස් එකක් ඇතුළේ හිරවෙලා ඉන්න කොට. සමහර උදවිය බස් එකට නැග්ගාම හිට ගත්ත තැනමයි. පොඩ්ඩක්වත් එහා මෙහා වෙන්න කැමති නැහැ. ඒ අස්සේ තවත් සමහරු කාන්තාවන් ළඟින් හෙල්ලෙන්නෙවත් නැහැ. සෙනඟ පිරිලා ඉන්න වේලාවක වුණත් මනුස්සයෙක් අතින් බැරි වෙලාවත් කකුලක් පෑගුණොත් බනින අයත්, එහෙම නැතිනම් ඇඟේ පොඩ්ඩක් හැපුණත් කන්න වගේ රවන බොරු පත්තිනි අම්මලා වගේ ඉන්න ගෑණු අයත් බස්වල හිඟ නැහැ. මේ ඔක්කොටම හපන්, ඉඩ නැති වුණත් මිනිස්සුන්ට ඉස්සරහට පස්සට යන්න යි කෑ ගසමින්, බස් එකේ මිනිස්සු තෙරපගෙන එහාට මෙහාට යන හඩු ඇඳුම් ඇඳ ගත්ත පිරිසිදු කමේ අර්ථයවත් නොදන්න සමහර කොන්දොස්තරලා. උන් ඉගෙන ගෙන තියෙන්නේ අර අන්දරේ කිරි කාපු කතාව විතරක් කියලයි මට නම් ඒ වේලාවට හිතෙන්නේ. අඩුවකට තියෙන්නේ තමන්ගේ පාරිභෝගිකයාට ඒ කියන්නේ මගියාට රජෙක් විදියට නොසලකන එක විතරයි.

කොහොම වෙතත් මේ තදබදය ගැන ලියපු එකෙන් මගේ හිතෙත් මේ ගැන තිබුණු තදබදය නැති වෙලා ගියා. ඒ වගේම අපේ රටේ හෙට දවසට බලපාන මේ ප්‍රශ්නයට පිළිතුරු ඉක්මනින්ම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මෙවන් ලිපි සිය ගණනක් පිරිස නොකියෙව්වත් කමක් නැහැ, වග කිව යුතු, වග කිව හැකි, එක්කෙනෙක් හෝ දෙන්නෙක් කියවනවානම්.

2011/02/01

සිරිපා 'මල් ඇතිරූ' මාවත

සිරිපා කරුණා කරන අප මොහොතකටවත් සිතුවාද ඒ මාවත කවදා කවරෙකු විසින් කෙලෙස සොයා ගත්තාද කියා? ඊට පිළිතුරු ජනවහරේ පවතී. එවන් කතාවක් මවිසින් දැන උගත්තේ ද මෑතකදී සිරිපා කරුණා කරන විටයි. දැන් මෙම සටහන කියවන ඔබගේත්, මතුයෙහි මෙය කියවනු ඇති කෙනෙකුන් වෙනුවෙනුත්, මා ඇසූ ඒ ජනප්‍රවාදගත පුරාවෘත්තයේ සයිබර් සටහනක් මෙසේ තබමි.

(2010 වසරේ සීතල උඳුවප් මහේ දවසක සිරිපා කරුණා කරද්දී මටත්, මගේ මිතුරාටත්, මෙම කතාව පැවසූ ඇහැළ කණුවේ තේ කඩේ සිටි ඒ උපාසක මහතා ගෞරවයෙන් සිහිපත් කරමි.)

නිශ්ශංකමල්ල මහ රජතුමාට (භාතිකාභය වශයෙන් ද සැළකේ) විසිතුරු නේක පුෂ්පයෙන් ගැවසී ගත් මල් උයනක් තිබුණේ ලු. සෑම දිනකම පාහේ රාත්‍රියට මෙහි පිපි මල් කිසිවෙකු විසින් සොරකම් කරන්නේ ය. 'මල් හොරු' ඇල්ලීමට විධිවිධාන යෙදුවද පලක් නැත. සොරු ඇල්ලිය නොහැකි විය. මේ නිසා සිත් තැවුලට පත් රජ තෙමේ, මල් හොරුන් ඇල්ලීමට හැකි කෙනෙක් වේ නම් ඉදිරිපත් වෙව යි, ඔහුට මම නොයෙක් තෑගි දෙමි යි, රට පුරා අණබෙර වැයී ය. මෙසේ රට පුරා අණබෙර වැයෙද් දී, නුවරට නුදුරු ගමක වසන අත් පා නැති කොට තරුණයෙක්ට ද මෙය අසන්නට ලැබීය. හෙතෙම ඒ සඳහා ඉදිරිපත් විය. 'අත් පා නැති කොටා' යනුවෙන් ප්‍රසිද්ධව සිටි ඔහුගේ කතාව මෙසේ යි:

මේ තරුණයා එකල සියලු ශරීරාංගයන්ගෙන් සමන්විතව දැහැමිව ජීවත් වූ අයෙකි. ඔහු විසූයේ සිය වැඩිමහල් සොහොයුරු සමඟය. මේ තරුණයා කොතරම් දැහැමි ද කිවහොත්, නිතරම පාහේ සතිපට්ඨාන සූත්‍රය සහිත පුස්තකයක් ළඟ තබාගෙන එය සජ්ජායනා කිරීමට පුරුදුව සිටියේ ය. දිනක් අයියණ්ඩිය රැකියාවට ගිය පසු ඔහුගේ බිරිය විසින් ඇය හා සංවාසයේ යෙදෙන්නට තම මස්සිනා වන මේ මලණුවන් ට කතා කළාය. මෙයින් දැඩි ලජ්ජාවටත්, දුකටත් පත් වූ මෙම තරුණයා එම ස්ත්‍රියට මෙසේ පැවසීය: "අක්කණ්ඩි, නුඹ මට මව මෙනි. අයියා මට පියා මෙනි. එවැන්නක් කරන්නට තබා සිතන්නටවත් මට නොහැකිය." මෙසේ කියා ඒ කාමුක ස්ත්‍රියගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් අයියාගේ බිරිය මින් දැඩි කෝපයට පත්ව, මල්ලීගෙන් පළිගැනීමට සිතා ගත්තාය. ඇයගේ ස්වාමියා සවස නිවසට පැමිණි පසු අයියා-මල්ලී බිඳවන්නට මෙසේ පැවසුවාය. "ඔබ දන්නවාද? අද ඔබේ මල්ලී ඔහු සමඟ සංවාසයේ යෙදෙන්නට මට කතා කළා. මම එයින් දැඩි ලැජ්ජාවට පත්වුණා. මම ඔහුට මවක් මෙනි යි, ඔබ ඔහුට පියෙක් මෙනි යි පවසා එවැනි යෝජනාවක් ගෙන ඒම පිළිබඳව ඔහුට දොස් පවරා, එය ප්‍රතික්ෂේප කළෙමි" යනුවෙන් ස්වාමි පුරුෂයාට මුසා බස් දෙඩීය. මෙයින් අයියා දැඩි කෝපයට පත්විය. මල්ලීට හොඳ පාඩමක් උගන්වමි යි සිතා පසු දින උදෑසනම බෙහෙතකට අවශ්‍ය ද්‍රව්‍යයක් සොයන්නට කියා මල්ලීත් කැටුව කැලයට ගියේය. කැලය මැද දී දරුණු නාගයෙක් වසන තුඹසක් දැක මල්ලීට මෙසේ පවසයි. "මල්ලී, මා සෙවීමට පැමිණි දෑ ඇත්තේ මේ තුඹස තුළ යි. බිය නොවී අත් දෙකම එතුළට දමා එහි ඇති පස් මට අරන් දෙන්න." අයියා ගැන විශ්වාසය තැබූ මල්ලී කී සේ කළේය. නමුත් දැහැමිව ජීවත් වූ එම තරුණයාට නාගයා විසින් කිසිත් අනතුරක් නොකරන ලදී. තම උපාය අසාර්ථක වූ බව දුටු අයියා, තමන් රැගෙන ආ කැත්තෙන් මල්ලීගේ අත් පා වෙන් වන සේ කැපී යන්නට පහර දුනි. ඉන්පසු මල්ලී වනය මැද දමා යන්නට ගියේය. අයියා විසින් තමන්ට පහර දෙද්දී ද මල්ලී ඔහුට වෛර නොකළේය, සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කළේය.

මේ අතර කැලයේ දර කඩන්නට ආ එක් වයසක කාන්තාවක් ලේ විලක් මැද වැටී, වේදනාවෙන් කෙඳිරිගාමින් සිටි මේ තරුණයා දුටුවාය. ඔහුව ඇගේ නිවසට ගෙන ගොස් ප්‍රතිකාර කර සුවපත් කොට පුතෙක් මෙන් බලා ගත්තාය. ඉහත කී රජුගේ අඬබෙරකරුවන්ගේ පණිවිඩය මොහුට අසන්නට ලැබුණේ මෙසේ සිටියදී ය.

ඉනික්බිති රාජ පුරුෂයන් විසින් මෙම අත් පා නැති කොට තරුණයා රජතුමා හමුවට පැමිණවීය. මේ පුරුෂයා දුටු රජු විස්මයට පත්ව, "තා කෙසේ මල් හොරුන් අල්ලන්නේ ද?" යි විමසා සිටියේය. අත් පා නැති කොටා මෙසේ කියයි: "දේවයන් වහන්ස, මට ඔය මල් හොරුන් ඇල්ලීමට හැකිය. නමුත් මට උයන ආසන්නයේ ම රජ වාසලට සම්බන්ධ කොට සම්පූර්ණයෙන් වැසුණු කුඩා කුටියක් තනා දිය යුතුය. එහි එක් කුඩා විවරයක් පමණක් තිබිය යුතුය. මම එහි සිට මල් හොරුන් අල්ලමි." එම කතාව පිළිගත් රජතෙමේ, ඉල්ලූ පරිද්දෙන්ම කුටිය වහා තනවා ඔහුට වාසය කිරීමට ලබා දුනි.

රජුගේ උයනේ මල් හොරුන් ගැන ද යමක් පැවසිය යුතුය. මොවුන් අන් කවරකුවත් නොව දෙවඟනන් පිරිසකි. දිනපතා රෑට රජුගේ උයනට පැමිණ මල් නෙළාගෙන යති. එහෙත් අන් අයට නොපෙනේ. ඒ ඔවුනට පින් මද බැවිනි.

මෙලෙසින් පසුදින රාත්‍රිය එළඹුණි. කොටා කුටිය තුළට වී සතිපට්ඨානය සජ්ජායනා කරමින් සිටී. පොත ඔහුගේ බඩ මතය. වෙනදා මෙන්ම මල් නෙළීම සඳහා දෙවඟනෝ පැමිණියහ. ඉන් එක් දෙවඟනකට කිසිවෙක් ලස්සනට පිරිත් කියවන ශබ්දය ඇසී එයට ලොල්ව කොටා සිටින කුටිය දෙසට පැමිණියාය. පෙනෙන්නට කිසිවෙක් නැත. කුටියේ කුඩා සිදුර තුළින් බැලුවාය. පිරිත් කියවන්නා එතුළ ය. ඔහුට අත් පා නැත. ඔහු කෙරේ පැහැදී අනුකම්පා සිතී තම දිව්‍ය සළුවේ එක් අග්‍රයක් කුටියේ සිදුර තුළින් ඇතුළට යැව්වාය. ඒ සළුව කොටාගේ ඇඟ වටා එතිණි. පුදුමයකි! ඔහුගේ අත් පා දිව්‍යානුභාවයෙන් යළි ලැබුණි. මේ අතර කොටා පිරිතේ සමාධියෙන් මිදුණේ ය. තම සිරුර වටා එති සළුව දුටුවේය. ඊටත් වඩා විශ්මයකි. සියලු ශරීරාංග නැවතත් ලැබී තිබේ. හේ ඉමහත් සතුටට පත් විය. මේ අවස්ථාවේ දී, සළුව කුටියේ විවරය තුළින් එළියට ඇදී යන බව දුටු හෙතෙම එය අල්ලා ගත්තේය. "අනේ, මගේ සළුව දෙනවාද?" කවුදෝ කියනු ඇසිණි. සිදුරෙන් එළිය බැලීය. ලස්සන තරුණියකි. "නුඹ කවුද? කුමකටද ආවේ?" තරුණයා විමසීය. "අපි දෙවඟනන් වෙමු. උයනේ මල් නෙළීමට පැමිණියෙමු" යි පිළිවදන් ලැබුණි. තමුන් ඇල්ලීමට පැමිණි හොරුන් හමු වූ බව දැන මෙසේ පැවසීය: "ආ, නුඹලාව තමයි මම සොයමින් සිටියේ. රජුගේ මල් උයනේ මල් සොරකම් කරන්නේ නුඹලායි. නුඹලා අල්ලා රජුට බාර දෙමි. ඒත් ඊට කලින් මේ සළුව මෙතැනට ආවේ කෙසේදැ යි කියව." එවිට ඒ දිව්‍යාංගනාව විසින් සිදු වූ දේ ඔහුට පවසන ලදී. ඒ අසා හෙතෙම දුක් විය. තමන්ගේ ශරීරාවයව යළි ලබා දුන්නාට කරන ප්‍රත්‍යුපකාරය මොවුන් අල්ලා රජුට බාර දීම නොවන බව වැටහුණි. ඒ ගැන සමාව ඉල්ලා සළුව අත හැරියේය. ඉනික්බිති දෙවඟනගෙන් මෙසේ විමසීය: "දිනපතා මේ මල් නෙළන්නේ කුමකටද?" එවිට දෙවඟන, "මිතුර, අපි මේ පුෂ්පයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයට පූජා කරනු පිණිස රැගෙන යම්හ" යි පැවසීය. මේ අසා බලවත් සතුටට පත් තරුණ තෙමේ "ශ්‍රී පාද පද්මය තිබෙන්නේ කොහිද? මටත් එහි යන හැටි පවසන්න" යි ඉල්ලා සිටියේය. "මිතුර, දැන් අරුණ වැටීගෙන එයි. අපට තවත් වේලා මෙහි රැඳී සිටිය නොහැකිය. එබැවින් පද්මයට යන මාර්ගයේ අපි දැන් මල් අතුරා යන්නම්. ඔබ ඒ මඟ අනුව යමින් තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිට වූ තැනට එළැඹෙන්න" යනුවෙන් පැවසූ දෙවඟන, තම සළුව ද රැගෙන යන්නට ගියේ පොරොන්දු වූ පරිදි සමනොළ කඳු මුදුනේ පිහිටි බුදුරජාණන් වහන්සේගේ වම් සිරි පතුල කරා යන මාර්ගයේ මල් අතුරමිනි.

පසු දින උදෑසන තරුණයා රජු බැහැ දැකීය. සිදු වූ සියල්ල රජුට පැවසීය. ඉමහත් ශ්‍රද්ධාවෙන් හා සතුටින් ඔද වැඩුණු රජ තෙමේ ශ්‍රී පාද පද්මය නමදින්නට යන්නට සූදානම් වන ලෙස ඔහුට දැනුම් දුන්නේය. දෙවඟනන් විසින් මල් ඇතිරූ මාවත දිගේ ගමන් ගත් රජු ඇතුළු පිරිස සම්බුදුරජාණන් වහන්සේගේ වාම සිරිපා ලාංඡනය පිහිටි ස්ථානයට පිවිස එයට අපමණ සැදැහැයෙන් නමස්කාර කළෝය. පසු කලක රජු විසින් එම මාර්ගය සුදුසු පරිදි කරවා ශ්‍රී පාද පද්මයේ ආරක්ෂාව වෙනුවෙන් ද වැඩ කටයුතු රාශියක් කරවන ලදී.