Header Title


උදනිඳුගේ සිතුවිලි

2011/02/01

සිරිපා 'මල් ඇතිරූ' මාවත

සිරිපා කරුණා කරන අප මොහොතකටවත් සිතුවාද ඒ මාවත කවදා කවරෙකු විසින් කෙලෙස සොයා ගත්තාද කියා? ඊට පිළිතුරු ජනවහරේ පවතී. එවන් කතාවක් මවිසින් දැන උගත්තේ ද මෑතකදී සිරිපා කරුණා කරන විටයි. දැන් මෙම සටහන කියවන ඔබගේත්, මතුයෙහි මෙය කියවනු ඇති කෙනෙකුන් වෙනුවෙනුත්, මා ඇසූ ඒ ජනප්‍රවාදගත පුරාවෘත්තයේ සයිබර් සටහනක් මෙසේ තබමි.

(2010 වසරේ සීතල උඳුවප් මහේ දවසක සිරිපා කරුණා කරද්දී මටත්, මගේ මිතුරාටත්, මෙම කතාව පැවසූ ඇහැළ කණුවේ තේ කඩේ සිටි ඒ උපාසක මහතා ගෞරවයෙන් සිහිපත් කරමි.)

නිශ්ශංකමල්ල මහ රජතුමාට (භාතිකාභය වශයෙන් ද සැළකේ) විසිතුරු නේක පුෂ්පයෙන් ගැවසී ගත් මල් උයනක් තිබුණේ ලු. සෑම දිනකම පාහේ රාත්‍රියට මෙහි පිපි මල් කිසිවෙකු විසින් සොරකම් කරන්නේ ය. 'මල් හොරු' ඇල්ලීමට විධිවිධාන යෙදුවද පලක් නැත. සොරු ඇල්ලිය නොහැකි විය. මේ නිසා සිත් තැවුලට පත් රජ තෙමේ, මල් හොරුන් ඇල්ලීමට හැකි කෙනෙක් වේ නම් ඉදිරිපත් වෙව යි, ඔහුට මම නොයෙක් තෑගි දෙමි යි, රට පුරා අණබෙර වැයී ය. මෙසේ රට පුරා අණබෙර වැයෙද් දී, නුවරට නුදුරු ගමක වසන අත් පා නැති කොට තරුණයෙක්ට ද මෙය අසන්නට ලැබීය. හෙතෙම ඒ සඳහා ඉදිරිපත් විය. 'අත් පා නැති කොටා' යනුවෙන් ප්‍රසිද්ධව සිටි ඔහුගේ කතාව මෙසේ යි:

මේ තරුණයා එකල සියලු ශරීරාංගයන්ගෙන් සමන්විතව දැහැමිව ජීවත් වූ අයෙකි. ඔහු විසූයේ සිය වැඩිමහල් සොහොයුරු සමඟය. මේ තරුණයා කොතරම් දැහැමි ද කිවහොත්, නිතරම පාහේ සතිපට්ඨාන සූත්‍රය සහිත පුස්තකයක් ළඟ තබාගෙන එය සජ්ජායනා කිරීමට පුරුදුව සිටියේ ය. දිනක් අයියණ්ඩිය රැකියාවට ගිය පසු ඔහුගේ බිරිය විසින් ඇය හා සංවාසයේ යෙදෙන්නට තම මස්සිනා වන මේ මලණුවන් ට කතා කළාය. මෙයින් දැඩි ලජ්ජාවටත්, දුකටත් පත් වූ මෙම තරුණයා එම ස්ත්‍රියට මෙසේ පැවසීය: "අක්කණ්ඩි, නුඹ මට මව මෙනි. අයියා මට පියා මෙනි. එවැන්නක් කරන්නට තබා සිතන්නටවත් මට නොහැකිය." මෙසේ කියා ඒ කාමුක ස්ත්‍රියගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් අයියාගේ බිරිය මින් දැඩි කෝපයට පත්ව, මල්ලීගෙන් පළිගැනීමට සිතා ගත්තාය. ඇයගේ ස්වාමියා සවස නිවසට පැමිණි පසු අයියා-මල්ලී බිඳවන්නට මෙසේ පැවසුවාය. "ඔබ දන්නවාද? අද ඔබේ මල්ලී ඔහු සමඟ සංවාසයේ යෙදෙන්නට මට කතා කළා. මම එයින් දැඩි ලැජ්ජාවට පත්වුණා. මම ඔහුට මවක් මෙනි යි, ඔබ ඔහුට පියෙක් මෙනි යි පවසා එවැනි යෝජනාවක් ගෙන ඒම පිළිබඳව ඔහුට දොස් පවරා, එය ප්‍රතික්ෂේප කළෙමි" යනුවෙන් ස්වාමි පුරුෂයාට මුසා බස් දෙඩීය. මෙයින් අයියා දැඩි කෝපයට පත්විය. මල්ලීට හොඳ පාඩමක් උගන්වමි යි සිතා පසු දින උදෑසනම බෙහෙතකට අවශ්‍ය ද්‍රව්‍යයක් සොයන්නට කියා මල්ලීත් කැටුව කැලයට ගියේය. කැලය මැද දී දරුණු නාගයෙක් වසන තුඹසක් දැක මල්ලීට මෙසේ පවසයි. "මල්ලී, මා සෙවීමට පැමිණි දෑ ඇත්තේ මේ තුඹස තුළ යි. බිය නොවී අත් දෙකම එතුළට දමා එහි ඇති පස් මට අරන් දෙන්න." අයියා ගැන විශ්වාසය තැබූ මල්ලී කී සේ කළේය. නමුත් දැහැමිව ජීවත් වූ එම තරුණයාට නාගයා විසින් කිසිත් අනතුරක් නොකරන ලදී. තම උපාය අසාර්ථක වූ බව දුටු අයියා, තමන් රැගෙන ආ කැත්තෙන් මල්ලීගේ අත් පා වෙන් වන සේ කැපී යන්නට පහර දුනි. ඉන්පසු මල්ලී වනය මැද දමා යන්නට ගියේය. අයියා විසින් තමන්ට පහර දෙද්දී ද මල්ලී ඔහුට වෛර නොකළේය, සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කළේය.

මේ අතර කැලයේ දර කඩන්නට ආ එක් වයසක කාන්තාවක් ලේ විලක් මැද වැටී, වේදනාවෙන් කෙඳිරිගාමින් සිටි මේ තරුණයා දුටුවාය. ඔහුව ඇගේ නිවසට ගෙන ගොස් ප්‍රතිකාර කර සුවපත් කොට පුතෙක් මෙන් බලා ගත්තාය. ඉහත කී රජුගේ අඬබෙරකරුවන්ගේ පණිවිඩය මොහුට අසන්නට ලැබුණේ මෙසේ සිටියදී ය.

ඉනික්බිති රාජ පුරුෂයන් විසින් මෙම අත් පා නැති කොට තරුණයා රජතුමා හමුවට පැමිණවීය. මේ පුරුෂයා දුටු රජු විස්මයට පත්ව, "තා කෙසේ මල් හොරුන් අල්ලන්නේ ද?" යි විමසා සිටියේය. අත් පා නැති කොටා මෙසේ කියයි: "දේවයන් වහන්ස, මට ඔය මල් හොරුන් ඇල්ලීමට හැකිය. නමුත් මට උයන ආසන්නයේ ම රජ වාසලට සම්බන්ධ කොට සම්පූර්ණයෙන් වැසුණු කුඩා කුටියක් තනා දිය යුතුය. එහි එක් කුඩා විවරයක් පමණක් තිබිය යුතුය. මම එහි සිට මල් හොරුන් අල්ලමි." එම කතාව පිළිගත් රජතෙමේ, ඉල්ලූ පරිද්දෙන්ම කුටිය වහා තනවා ඔහුට වාසය කිරීමට ලබා දුනි.

රජුගේ උයනේ මල් හොරුන් ගැන ද යමක් පැවසිය යුතුය. මොවුන් අන් කවරකුවත් නොව දෙවඟනන් පිරිසකි. දිනපතා රෑට රජුගේ උයනට පැමිණ මල් නෙළාගෙන යති. එහෙත් අන් අයට නොපෙනේ. ඒ ඔවුනට පින් මද බැවිනි.

මෙලෙසින් පසුදින රාත්‍රිය එළඹුණි. කොටා කුටිය තුළට වී සතිපට්ඨානය සජ්ජායනා කරමින් සිටී. පොත ඔහුගේ බඩ මතය. වෙනදා මෙන්ම මල් නෙළීම සඳහා දෙවඟනෝ පැමිණියහ. ඉන් එක් දෙවඟනකට කිසිවෙක් ලස්සනට පිරිත් කියවන ශබ්දය ඇසී එයට ලොල්ව කොටා සිටින කුටිය දෙසට පැමිණියාය. පෙනෙන්නට කිසිවෙක් නැත. කුටියේ කුඩා සිදුර තුළින් බැලුවාය. පිරිත් කියවන්නා එතුළ ය. ඔහුට අත් පා නැත. ඔහු කෙරේ පැහැදී අනුකම්පා සිතී තම දිව්‍ය සළුවේ එක් අග්‍රයක් කුටියේ සිදුර තුළින් ඇතුළට යැව්වාය. ඒ සළුව කොටාගේ ඇඟ වටා එතිණි. පුදුමයකි! ඔහුගේ අත් පා දිව්‍යානුභාවයෙන් යළි ලැබුණි. මේ අතර කොටා පිරිතේ සමාධියෙන් මිදුණේ ය. තම සිරුර වටා එති සළුව දුටුවේය. ඊටත් වඩා විශ්මයකි. සියලු ශරීරාංග නැවතත් ලැබී තිබේ. හේ ඉමහත් සතුටට පත් විය. මේ අවස්ථාවේ දී, සළුව කුටියේ විවරය තුළින් එළියට ඇදී යන බව දුටු හෙතෙම එය අල්ලා ගත්තේය. "අනේ, මගේ සළුව දෙනවාද?" කවුදෝ කියනු ඇසිණි. සිදුරෙන් එළිය බැලීය. ලස්සන තරුණියකි. "නුඹ කවුද? කුමකටද ආවේ?" තරුණයා විමසීය. "අපි දෙවඟනන් වෙමු. උයනේ මල් නෙළීමට පැමිණියෙමු" යි පිළිවදන් ලැබුණි. තමුන් ඇල්ලීමට පැමිණි හොරුන් හමු වූ බව දැන මෙසේ පැවසීය: "ආ, නුඹලාව තමයි මම සොයමින් සිටියේ. රජුගේ මල් උයනේ මල් සොරකම් කරන්නේ නුඹලායි. නුඹලා අල්ලා රජුට බාර දෙමි. ඒත් ඊට කලින් මේ සළුව මෙතැනට ආවේ කෙසේදැ යි කියව." එවිට ඒ දිව්‍යාංගනාව විසින් සිදු වූ දේ ඔහුට පවසන ලදී. ඒ අසා හෙතෙම දුක් විය. තමන්ගේ ශරීරාවයව යළි ලබා දුන්නාට කරන ප්‍රත්‍යුපකාරය මොවුන් අල්ලා රජුට බාර දීම නොවන බව වැටහුණි. ඒ ගැන සමාව ඉල්ලා සළුව අත හැරියේය. ඉනික්බිති දෙවඟනගෙන් මෙසේ විමසීය: "දිනපතා මේ මල් නෙළන්නේ කුමකටද?" එවිට දෙවඟන, "මිතුර, අපි මේ පුෂ්පයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයට පූජා කරනු පිණිස රැගෙන යම්හ" යි පැවසීය. මේ අසා බලවත් සතුටට පත් තරුණ තෙමේ "ශ්‍රී පාද පද්මය තිබෙන්නේ කොහිද? මටත් එහි යන හැටි පවසන්න" යි ඉල්ලා සිටියේය. "මිතුර, දැන් අරුණ වැටීගෙන එයි. අපට තවත් වේලා මෙහි රැඳී සිටිය නොහැකිය. එබැවින් පද්මයට යන මාර්ගයේ අපි දැන් මල් අතුරා යන්නම්. ඔබ ඒ මඟ අනුව යමින් තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිට වූ තැනට එළැඹෙන්න" යනුවෙන් පැවසූ දෙවඟන, තම සළුව ද රැගෙන යන්නට ගියේ පොරොන්දු වූ පරිදි සමනොළ කඳු මුදුනේ පිහිටි බුදුරජාණන් වහන්සේගේ වම් සිරි පතුල කරා යන මාර්ගයේ මල් අතුරමිනි.

පසු දින උදෑසන තරුණයා රජු බැහැ දැකීය. සිදු වූ සියල්ල රජුට පැවසීය. ඉමහත් ශ්‍රද්ධාවෙන් හා සතුටින් ඔද වැඩුණු රජ තෙමේ ශ්‍රී පාද පද්මය නමදින්නට යන්නට සූදානම් වන ලෙස ඔහුට දැනුම් දුන්නේය. දෙවඟනන් විසින් මල් ඇතිරූ මාවත දිගේ ගමන් ගත් රජු ඇතුළු පිරිස සම්බුදුරජාණන් වහන්සේගේ වාම සිරිපා ලාංඡනය පිහිටි ස්ථානයට පිවිස එයට අපමණ සැදැහැයෙන් නමස්කාර කළෝය. පසු කලක රජු විසින් එම මාර්ගය සුදුසු පරිදි කරවා ශ්‍රී පාද පද්මයේ ආරක්ෂාව වෙනුවෙන් ද වැඩ කටයුතු රාශියක් කරවන ලදී.