Header Title


උදනිඳුගේ සිතුවිලි

2011/02/08

තදබදේ තදබදේ

ට්‍රැෆික්! නගරබද හා තදාසන්න ප්‍රදේශ වල අයට නම් එච්චර ප්‍රියමනාප වචනයක් නෙමෙයි. මේ දවස්වල පාරේ තියෙන වාහන කන්දරාවත් ඒ නිසාම වැඩි වී ඇති වාහන තදබදයත් දැක්කම අපි කොහොමද සංවර්ධනයක් කරා යන්නේ කියලා හිතෙනවා. නිකමට හිතන්න මේ නිසාම අපතේ යන ඉන්ධන සහ කාලය ගැන. ඒ කියන්නේ සල්ලි! පාරවල් කොච්චර හොඳට හැදුවත්, කොච්චර පළල් කළත්, ගුවන් පාලම් හැදුවත්, මේක නම් එහෙම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි??

පාරවල් වල ඉඩ තියෙන තරමට මිනිස්සු තවත් වාහන පාරට දානවා. පහුගිය කාලෙත් සෑහෙන වාහන කන්දරාවක් රටට ආවානේ. ඒක හොඳ නැහැයි කියනවා නෙමෙයි. මොකද කවුරුවත් කැමති නැහැ බස්වල තෙරපිලා දාඩිය දාගෙන, එහෙමත් නැතිනම් ජීවිත ආසාව අතඇරලා පාපුවරුවේ එල්ලිලා යන්න. ඒත් සැප ගන්න කියලා ගිහින් අන්තිමට ගන්නේ සැපම ද කියලා හිතලා බලන්න. පැය ගාණක් පාරේ ට්‍රැෆික් එකේ හිරවෙලා, තෙලුත් පුච්චගෙන, ඇඟේ ලේත් පුච්ච ගන්නවා. ඊට පස්සේ බලන්න මොන දුකක් ද, නිතරම ක්ලච් එක පාග පාග, බ්‍රේක් කර කර යන එක. හැබැයි ඉතින් කකුල් වලට හොඳ ව්‍යායාමයක් කියලා සුභවාදීව හිතන්න පුළුවන්. මේ ඔක්කොමත් හරියි කියමු. එත් අන්තිමට හතර දෙනෙක් යන්න පුළුවන් වාහනේ යන්නේ එක්කෙනයි! ඒ කියන්නේ එළවන කෙනා. අපරාදේ නේද? ඉතින් එක වාහනේකට පාරේ පර්ච් එකක් විතර ඉඩ යනවා. ඒ කියන්නේ එක පුද්ගලයෙක් සඳහා එච්චර ඉඩක්.

ට්‍රැෆික් ඇති වෙන්න බලපාන හේතුත් ගොඩක් තියෙනවා. මේවායින් වැඩි හරියක්ම සිද්ධ වෙන්නේ රියැදුරන්ගේත්, මගීන්ගේත් අසංවරකම් නිසා. අපේ මිනිස්සුන්ට පාර පනින්න ගියාම තැනක් නොතැනක් නැහැ. හිතුණ තැනින් පනිනවා. ඊට පස්සේ ඇක්සිඩන්ට් වුණාම වාහනේ එළවපු මනුස්සයා අමාරුවේ. බස් එකට නගින්න ගියාම හැම තැනින්ම අත දාලා නවත්ත ගන්න බලනවා. බස් කාරයාත් තියෙන කෑදරකමට ඕනෑම තැනක නවත්තලා 'ලෝඩ්' කරනවා. ඉතින් පිටිපස්සෙන් එන වාහන ඔක්කොම හිර වෙනවා. මේ ළඟදී මම දැක්කා පාලමක් උඩත් බස් එකකට මිනිස්සු නග්ග ගන්නවා. ඔය රියදුරා මාර්ග නීති පරීක්ෂණය පාස් වුණේ කොහොමද කියන එක හොයලා බලන්න ඕනෙ. අපේ තවත් සමහරු හිතන් ඉන්නේ පාර කියන්නේ free parking එකක් කියලා. ඒකනේ පාර අයිනේ ලස්සනට වාහනේ නවත්තලා යන්නේ. ඉතින් අනේ ඒකෙන් පාරේ අනිත් වාහන වලට යන්න තියෙන ඉඩ ඇහිරෙනවා. එතකොට බ්ලොක් එකක් ඇතිවෙන එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. තව දෙයක් තමයි කන්ටේනර්, ට්‍රක් වගේ බර වාහන උදේටයි හවසටයි පාරට දාන එක. කාර්යාල වේලාවන් කියලා කියන මේ වේලාවට ඔය හිමිට ගමන් කරන තඩි වාහන නිසා පාර බ්ලොක් වෙනවා කියන එක මම වගේම දිනපතා මාර්ග තදබදය අත්විඳින ඕනෑම කෙනෙක් පිළිගන්නවා. ආහ්, මේ තත්වයට වග කිවයුතු තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි ජනතාවත් රියැදුරනුත් බොහෝ විට 'ආදරයෙන්' මතක් කරන රථ වාහන පොලීසියේ මහත්වරු. වාහන තදබදය වැඩිම මංසන්ධි වලට සමහර වේලාවට දාන්නේ අත්දැකීම් අඩුම තරුණ පොලිස් නිලධාරීන්. මේගොල්ලෝ ඉතින් හුඟක් වෙලාවට නා ගන්නවා. වැඩියෙන්ම ඉඩ දිය යුතු මාර්ගයට ඉඩ නොදීම, දිනයේ ට්‍රැෆික් තත්වය නිසි පරිදි අවබෝධ කර නොගැනීම වගේ වැරදි, අතපසුවීම් නිසා විශාල තදබද ඇති වෙනවා. හැබැයි ඒ අතර මේ අසීරු රාජකාරිය දක්ෂව ඉටු කරන පොලිස් නිලධාරීනුත් මම දැකලා තියෙනවා. ඔවුන් ඇත්තෙන්ම හරිම දක්ෂයි. හේතුව, දූවිලි කකා, විස දුම බිබී, අව්වේ වේලි වේලි, වැස්සට තෙමි තෙමී කරන ඔය රාජකාරිය ලේසි වැඩක් නෙමෙයි. පොලීසිය වගේම වැරදි ටයිමින් තියෙන 'කලර් ලයිට්' නිසාත් දැවැන්ත මාර්ග තදබද ඇතිවෙනවා. ඉතින් ඒවා විද්‍යානුකූල ක්‍රමවේදයකට සුසර කරන එක අත්‍යාවශ්‍යයි.

මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න බැරි නැහැ. පටන් ගන්න ඕන පළමුවෙනි තැන තමා ජනතාව (රියැදුරන් ද ඇතුළුව) විනයානුකූල වීම එක්කෝ කිරීම. ඉන්පස්සේ හොඳ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් ඇති කිරීම. මේ දෙක කළොත් ප්‍රශ්නෙන් 80% ක් විසඳෙනවා කියන එකයි මගේ හැඟීම. ඒක ජාතික ආර්ථිකයටත්, ජනතාවගේ සෞඛ්‍යයටත් මහඟු ප්‍රතිඵල ගෙන දෙනවා නොඅනුමානයි.

පාරේ ට්‍රැෆික් වගේම බස් ඇතුළේ 'ට්‍රැෆික්' ගැනත් පොඩ්ඩක් ලියන්න හිතුණා. මේ සිතුවිල්ල ආවෙත් ට්‍රැෆික් එකේ හිරවුණ බස් එකක් ඇතුළේ හිරවෙලා ඉන්න කොට. සමහර උදවිය බස් එකට නැග්ගාම හිට ගත්ත තැනමයි. පොඩ්ඩක්වත් එහා මෙහා වෙන්න කැමති නැහැ. ඒ අස්සේ තවත් සමහරු කාන්තාවන් ළඟින් හෙල්ලෙන්නෙවත් නැහැ. සෙනඟ පිරිලා ඉන්න වේලාවක වුණත් මනුස්සයෙක් අතින් බැරි වෙලාවත් කකුලක් පෑගුණොත් බනින අයත්, එහෙම නැතිනම් ඇඟේ පොඩ්ඩක් හැපුණත් කන්න වගේ රවන බොරු පත්තිනි අම්මලා වගේ ඉන්න ගෑණු අයත් බස්වල හිඟ නැහැ. මේ ඔක්කොටම හපන්, ඉඩ නැති වුණත් මිනිස්සුන්ට ඉස්සරහට පස්සට යන්න යි කෑ ගසමින්, බස් එකේ මිනිස්සු තෙරපගෙන එහාට මෙහාට යන හඩු ඇඳුම් ඇඳ ගත්ත පිරිසිදු කමේ අර්ථයවත් නොදන්න සමහර කොන්දොස්තරලා. උන් ඉගෙන ගෙන තියෙන්නේ අර අන්දරේ කිරි කාපු කතාව විතරක් කියලයි මට නම් ඒ වේලාවට හිතෙන්නේ. අඩුවකට තියෙන්නේ තමන්ගේ පාරිභෝගිකයාට ඒ කියන්නේ මගියාට රජෙක් විදියට නොසලකන එක විතරයි.

කොහොම වෙතත් මේ තදබදය ගැන ලියපු එකෙන් මගේ හිතෙත් මේ ගැන තිබුණු තදබදය නැති වෙලා ගියා. ඒ වගේම අපේ රටේ හෙට දවසට බලපාන මේ ප්‍රශ්නයට පිළිතුරු ඉක්මනින්ම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මෙවන් ලිපි සිය ගණනක් පිරිස නොකියෙව්වත් කමක් නැහැ, වග කිව යුතු, වග කිව හැකි, එක්කෙනෙක් හෝ දෙන්නෙක් කියවනවානම්.