Header Title


උදනිඳුගේ සිතුවිලි

2011/12/03

පඩි වැඩි වීම

මෙවර අයවැයෙන් රජයේ සේවකයින්ගේ පඩි වැඩි වුණි. පඩි වැඩිවීමක් යැයි පැවසුව ද, වැඩි වූයේ මූලික වැටුප නොවේ. දීමනාවකි. කෙසේ වුවද පඩිය වැඩි වුණි. මම නම් මෙලෙසින් පඩි වැඩිවෙනවාට අකැමැත්තෙමි. බොහෝ දෙනෙකුට මේ බව පැවසූ විට ඔවුහු මාත් සමඟ විවාදයකට පැටලෙති. ඊට එකඟ නොවෙති. එය සාධාරණය. එය ස්වාභාවිකය. එය එසේ නම් මා සිතන ආකාරය අස්වාභාවික විය යුතුය. නැත. මෙලෙස සිතන්නට මට සාධාරණ හේතු තිබේ.

පළමුවැන්න නම් මෙලෙස වැටුප වැඩිවන්නේ රජයේ සේවකයන්ගේ පමණකි. රටේ බහුතරයක් වූ පුද්ගලික අංශයේ සේවකයන්ට මේ පඩි වැඩිවීම බලනොපායි. දෙවැන්න නම් දීර්ඝ කාලීනව මුදල බාල්දු විය හැකි බැවිනි. පැහැදිලි කිරීම මෙසේයි. මගේ වැටුප වැඩිවන බැවින් අන් අයගේ වැටුප වැඩි වුණත් නැතත් මට කම් නැත. ඒ සිතිය හැකි එක් ආකාරයකි. නමුත් සාමාන්‍යයෙන් පවුලක සියලු දෙනාම රජයේ සේවකයෝ නොවෙති. ඒ අතර තවත් සමහරෙක් ගොවිතැන හෝ තමන්ගේම ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක හෝ නිරත වෙති. ඒ සියලු දෙනාගේම මාසික ආදායම මෙලෙසින් වැඩි නොවේ. නමුත්, රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ මුළු මහත් රටේම බදු ගෙවන ජනතාවගේ මුදලිනි. එයට, පෙර කී සියලු දෙනාම අයිති වෙති. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළ විට (දීමනා වශයෙන් හෝ) ඒ සඳහා අමතර වියදමක් දැරීමට රජයට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසා ඒ මුදල කොහෙන් හෝ සපයා ගත යුතුය. සාමාන්‍යයෙන් රජය විසින් එකී මුදල සොයාගනු ලබන්නේ ජනතාවගෙන් අය කරන බදු ආදී ගාස්තු වැඩි කිරීමෙනි. එවිට සිදුවන්නේ කුමක්ද? පෙර කී වැටුප වැඩිවුණ රජයේ සේවකයාටත්, වැටුප් වැඩිවීමක් නොලද පුරවැසියාටත්, වැඩියෙන් බදු ගෙවීමට සිදු වේ. එනම් වක්‍රාකාරව ඔවුන් සියලු දෙනාගේ ම වියදම වැඩි වේ. මෙයින් වඩාත් පීඩාවට පත්වන්නේ තම මාසික ආදායමේ කිසිදු වැඩිවීමක් නොලද පුද්ගලික අංශයේ සේවකයින් හා රජයේ සේවය නොකරන අතිමහත් බහුතරය ය. එනිසා මෙලෙසින් එක කොටසකගේ පමණක් මාසික ආදායම වැඩිවීම සාධාරණ නොවේ. එබැවින් සියලු දෙනාට සහනයක් දැනෙන ක්‍රමයක් යෝජනා කරමි.

මේ සඳහා සියලු පුද්ගලයන්ගේ මාසික ආදායම වැඩි වීම අනිවාර්ය නොවේ. ඒ වෙනුවට සියලු දෙනාගේ මාසික වියදම අඩු කිරීමෙන් ද ඒ හා සමාන ප්‍රතිඵලයක් ලබාගත හැකිය. මාසික වියදම අඩු වීම යනු මුදල් ඉතිරි වීමය. මෙය සිදුවන්නේ ජීවන වියදම අඩු වීමෙනි. ජීවන වියදම අඩු වීමට නම් රටේ සෑම ප්‍රදේශයකම භාණ්ඩ හා සේවා මිල අඩු විය යුතුය. අඩු කළ යුතුය. අවම වශයෙන් අත්‍යාවශ්‍ය යැයි ගැනෙන භාණ්ඩවල මිල හෝ අඩු වුවහොත් එය සියලු රටවැසියනට දැනෙනු ඇත. එවිට පඩි වැඩිවීමක් අනවශ්‍යය. රටේ උද්ධමනයට ද මෙය හිතකර ලෙස බලපායි.

මා පෙර සඳහන් කළ දෙවන හේතුව බදු නිසා භාණ්ඩ හා සේවා මිල වැඩිවීම මත පදනම් වේ. එක් අතකින් ආදායම වැඩි කළ ද අනෙක් අතින් බදු නිසා බඩු මිල වැඩි විය හැකිය. ප්‍රතිලය කුමක්ද? මුදල බාල්දු වීමයි. මෑතකදී ලෝකයේ සමහර රටවලින් මෙවැනි තත්ත්වයන් වාර්තා වී තිබේ. එම රටවල ජනතාව පාන් රාත්තලක් මිලදී ගැනීමට පවා මුදල් නෝට්ටු මිටියක් රැගෙන යන තත්ත්වයට පත්වුණි. එවැනි තත්ත්වයකට අපේ රට පත්විය යුතු නැත. සමහරවිට රු 5000 මුදල් නෝට්ටුවක් මුද්‍රණය කරන්නට මහ බැංකුවට සිදුවූයේ ද මේ නිසා වන්නට පුළුවනි.

එමනිසා අප සාම්ප්‍රදායික "වැටුප් වැඩි කරනු" චින්තනයෙන් මිදිය යුතුය. ඒ වෙනුවට ජීවන වියදම අඩු කරන ක්‍රම ගැන සිතිය යුතුය. වගකිවයුත්තන් ජීවන වියදම අඩු කිරීමට ගතහැකි ක්‍රියා මාර්ග ගත යුතුය. එය අපේ රටේ ආර්ථිකයේ යහපැවැත්ම පිණිස ද සියලු පුරවැසියන්ගේ යහපත් ජීවන තත්ත්වයක් පිණිස ද හේතු වනු ඇත.

2011/11/15

'සෙනසුරු මාරුව' ඔබට කොහොමද?

ජ්‍යොතිෂයට අනුව අද දින ශනි ග්‍රහයා නොහොත් සෙනසුරු තුලා රාශියට පැමිණේ. බොහෝ දෙනා මෙය 'සෙනසුරු මාරුව' නමින් හඳුන්වයි. මේ පිළිබඳව නොයෙකුත් පුද්ගලයින් නොයෙකුත් අදහස් දක්වද්දී ඒ පිළිබඳව මට සිතෙන යමක් කියන්නට සිතීමි.

සෙනසුරු මාරුවෙන් පසුව අප වයසට යනු ඇත. අප ජරාවට එනම් දිරීමට පත්වනු ඇත. ලෙඩ වනු ඇත. ලෙඩ හැදුනවුන් සනීප වනු ඇත. මරණයට පත් වනු ඇත. රහත් වී නැත්නම් නැවත ඉපදෙනු ද ඇත. කළ හොඳ සහ නරක අනුව සුගතියේ හෝ දුගතියේ උපදිනු ඇත. එපමණද? සෙනසුරු මාරුවෙන් පසුව ද අපට සැප විඳීමට ලැබෙනු ඇත. දුක් විඳීමට ද සිදුවනු ඇත. ප්‍රශංසා හිමිවනු ඇත. නින්දා විඳින්නට ද සිදුවනු ඇත. ලාභ මෙන්ම අලාභ ද හිමිවනු ඇත. සත්‍ය නම්, සෙනසුරු මාරු වුවත් නැතත් ඉහත කී සියල්ලටම ඔබත් මමත් ඇතුළු ලෝකවාසී සියලු සත්වයෝම මුහුණ දෙනු ඇත. අතීතයේ ද ඊට මුහුණ පෑහ. මේ ලියන මොහොතෙත් මුහුණ පාමින් සිටින්නාහ. ඒ මේ ලෝක ස්වභාවයයි. ඊට හසු නොවූ එකදු සත්ත්වයෙකුදු මේ මිහිපිට නැත්තේමය. යථාර්ථය එයයි.

2011/10/02

රිෂාක්ගේ ත්‍රීවීල් ගනුදෙනුව

අපි ඔහුට රිෂාක් යැයි කියමු (ඇත්ත නම නොවේ). අපේ කාර්යාලයේ සගයෙකි. මේ සටහන මඩ පිණිස නොවේ. අපේ මිතුරාගේ වෙළෙඳ 'ඤාණයට' ගරු කිරීම පිණිසත්, හුදෙක් විනෝදය සඳහාත් ය.

ඔන්න ඉතින් මේ යාළුවා මීට මාස තුන හතරකට කලින් අලුත් ත්‍රීරෝද රථයක් ගන්න ඇණවුම් කළා. ඒ වෙනකොට බදු වැඩිවීමක් තිබුණේ නැහැ. කොහොමහරි ත්‍රීවීල් එක ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දී බදු වැඩි වුණා. ඒත් මෙයා කොම්පැනියට සල්ලි බැඳලා තිබුණ නිසාත්, ඉල්ලපු පාටම නොලැබුණ නිසාත්, කලින් ඇණවුම් කරපු ගාණටම 'වීල්' එක ලැබුණා. බදු වැඩි වීම නිසා ත්‍රීවීල්වල ගාණ රුපියල් 30,000 කින් විතර වැඩි වුණා. ඉතින් අපේ යාළුවා ඒ වෙලාවෙම හිතාගෙන තියෙනවා මේ වීල් එක ඉක්මනින්ම විකුණනවා කියලා. ඇයි, අර තිස්දාහේ ලාබේ ගන්න පුළුවන්නේ.

කොහොමින් කොහොමහරි මීට ටික දවසකට කලින් මෙයා වීල් එක විකුණලා, ගත්ත මිලටත් රු 30,000 කට වැඩියෙන්. ඒත් 'මාර්කට් ප්‍රයිස්' එක නම් ඊට අඩුයි. ඉතින් අපි මෑන්ස්ගෙන් ඇහුවා ඒ ගාණට වික්කේ කොහොමද කියලා. බැලින්නම් වීල් එක ගත්ත කෙනාට හදිස්සියක් තිබිලා, කොම්පනියට සල්ලි ගෙවුවා නම් තවත් මාසයක් දෙකක් ඉන්නත් වෙනවානේ. ඒ නිසා අපේ යාළුවා චාන්ස් එක අරගෙන හොඳ ගාණකට වීල් එක වික්කා. දුවලා තියෙන්නෙත් කි.මී. 600 යි.

හොඳම වැඩේ ඒක නෙමෙයි. මෙයා කියන විදිහට, වාහනේ විකුණන මොහොත වෙද්දී වියදම් වෙලා තියෙන්නේ ලයිසන් ඉන්ෂුවරන්ස් වලට විතරයි. ඉන්ෂුවරන්ස් එකත් 'තර්ඩ් පාටි'. අඩුම ගාණේ නම්බර් ප්ලේට්වත් හයිකරලා නැහැ. මොකද, රිවට් කරලා බුෂ් අල්ලලා ඒක ගහන්නත් රුපියල් පන් හය සීයක් යනවාලු. ඉතින් විකුණන කෙනාටම ඒක ගහගන්න තියලා. ඒ විතරද, වීල් එක විකුණද්දී මෑන්ස් ඉතුරු කරලා තියෙන්නේ රිසර්ව් එකේ පෙට්‍රල් ටික විතරයි. ඒකත් රිසර්ව් එකෙන් භාගයක් විතර. ඉතුරු පෙට්‍රල් ටික එලියට අරගෙන රුපියල් 150 කට විකුණලා.

මම නම් මේ විදියට වීල් එකක් වික්ක පොරක් ගැන ඇහුවාමයි. ඊටත් වඩා, අපේ සගයා සකසුරුවමට සහ ඔය වගේ වැඩවලට දක්ෂ වුණත් ත්‍රීවීල් ගනුදෙනුවක් මේ විදියට කරයි කියලා හිතුවේ නැහැ. මේ සටහන ලිව්වෙත් ඒ නිසයි. :D

2011/09/08

ළමා අපයෝජන කොයිබටද?

ලියන්නට ඉතා අප්‍රසන්න වුවද, නොලියා බැරි බැවින් ද, ලියන්නට ඇති වුවමනාව නිසා ද මෙය ලියමි. මාතර තෙලිජ්ජවිල විභාග මධ්‍යස්ථානයක් තුළදී දස හැවිරිදි දැරියකට අතවර කිරීමේ ප්‍රවෘත්තියක් වාර්තා වූයේ ගිය සතියේ ය. මේ වන විට මේ සිද්ධිය පිළිබඳව නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. එනිසා එකී සිදුවීම පිළිබඳව කතා නොකරමි. එනමුදු අනාගතයේ දී සමාජ ප්‍රශ්නයක් බවට පත්විය හැකි තත්ත්වයක් පිළිබඳව මගේ අදහස් මෙසේ ගෙනහැර පාමි.

මා දරන පෞද්ගලික මතය නම්, සියලුම ස්ත්‍රී දූෂකයන් හට මරණ දඬුවම් නොමැති නම් අරාබිකරයේ බඳු දඬුවම් ලබාදිය යුතු බවයි. එහෙත් මේ සටහන ළමා අපචාර පිළිබඳවයි. මෙයට ලක්වන්නේ ගැහැණු ළමුන් පමණක් නොවේ, පිරිමි ළමුන් ද ඒ හා සමානව අවදානමකට ලක්වෙති. නමුත් මේ මඟින් ළමයාට ඇතිවන මානසික හා කායික බිඳ වැටීම ද, සමාජයට සිදුවන විනාශය ද, අතිමහත්ය. ළමයෙකුට වැඩිහිටියන්ගේ නිරන්තර ආරක්ෂාව හා රැකවරණය අවශ්‍ය වේ. මන්ද, ඔවුනට තනිවම ජීවත්විය නොහැකි නිසාත්, උවදුරුවලට භාජනය විය හැකි පිරිසක් නිසාත්ය. ළමා කාලයේ බලපාන මානසික, කායික සහ සමාජීය සාධක ඒ ළමයාගේ අනාගත අභිවෘද්ධිය හා දැඩිව බැඳේ. මනෝ වෛද්‍යවරුන් පවසන පරිදි එය ළමයාගේ පෞරුෂත්වයට ද එක එල්ලේ බලපායි. බොහෝ විෂමාකාරී ක්‍රියාවන්හි නිරත පුද්ගලයන්, අපරාධකරුවන්, සමාජ විරෝධී පුද්ගලයන් ආදීන්ගේ කුඩා කාලය විමසා බැලුවහොත් මේ බව සනාථ වේ. සමහරවිට ළමයින්ට එරෙහි අපරාධ සිදු කරන අයගේ ද ළමා කාලය එබඳුය. ඔවුහු ද ඇතැම් විට අතවරයන්ට ලක් වූවෝය.

මෙසේ වන්නේ ඇයි? අපචාරයකට ගොදුරු වූ දරුවෙකු හැදී වැඩෙන්නේ ඔහුට හෝ ඇයට ඇති කළ කායික/මානසික කැළලත් සමඟය. ඒ නිසා සමාජය කෙරෙහි සිත යටින් දැඩි වෛරයක් ඇති කර ගනී, එසේත් නැතහොත් එම ක්‍රියාව සාධාරණීකරණය පිණිස වැඩිහිටියෙකු වීමෙන් පසු තෙමේ ද ඒ ක්‍රියාවේම නිරත වෙයි. අනිත් අන්තය නම් දුර්වල පෞරුෂයකින් හෙබි පුද්ගලයන් බිහිවීමයි. මෙය ඔහුගේ/ඇයගේ පවුලටත්, ගමටත්, රටටත්, අවසන මුළු මහත් සමාජයටත් බලපායි. මෙය ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම පොදුය. එහි ප්‍රතිඵල කලඑළි බසින්නේ ද, සමාජගත වන්නේ ද, විවිධාකාර ස්වරූපයන්ගෙනි. ඒ සියල්ලම බොහෝ විට සමාජයට අනර්ථකාරීය.

දූෂකයකු කරනුයේ තව කෙනෙකුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. එවැනි ඉරණමකට භාජනය වූ අයෙකුගේ ජීවිතය දැඩි බිඳවැටීමකට ලක් වේ. එයට ළමා වැඩිහිටි භේදයක් නැත. එයිනුත් ළමයෙකුට මෙවැනි ඉරණමක් අත්වීම අතිශය අවාසනාවන්තය, අනර්ථකාරීය. එපමණක් නොවේ, සමාජයක් ලෙස ලජ්ජා විය යුතු කරුණකි. මේ, නීති සම්පාදකයන්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, සමාජ ප්‍රගමනය බලාපොරොත්තු වන පිරිස් සහ පොදුවේ වැඩිහිටියන් තදබල ලෙස සලකා බැලිය යුතු කරුණකි.

2011/08/25

උපවාසය

මේ ගතවන්නේ මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ මාසය හෙවත් 'රාමසාන්' මාසයයි. මෙම මාසය තුළ මුස්ලිම් බැතිමත්හු දිනපතා උපවාසයේ යෙදෙති. එනම් අලුයම් කාලයේ සිට සවස් වරුව දක්වා ආහාර පාන ගැනීමෙන් වැළකී සිටිති. ඉස්ලාම් ආගමේ මෙන්ම සමහර කිතුණුවන් ද, කතෝලික බැතිමත්හු ද, (උදා:- පාස්කු සමයේ දී) උපවාසයේ යෙදෙති. මේ ආගම් ද්විත්වයේම සම්භවය මැද පෙරදිග කලාපයේ සිදු වුවද, සංකල්පයක් ලෙස 'උපවාසය' වූ කලී පෙරදිගට වඩාත් නැඹුරු වූ එකකි.

හින්දු ආගමේ දී උපවාසය සඳහා වැදගත් තැනක් ලැබේ. ඊට අමතරව ජෛන වැනි ආගම්වලද මේ සඳහා සුවිශේෂී තැනක් හිමි වේ. මූලිකව භාරතය හා එහි ශිෂ්ටාචාර ආශ්‍රයෙන් පැන නැගි ආගම් හා දර්ශන බොහෝමයකම මෙය දක්නට ලැබේ. බුදු දහම උපවාසය ප්‍රතික්ෂේප කරනුයේ එය මධ්‍යම ප්‍රතිපදාවට පටහැනි වන බැවිනි. ශරීරයට අධික සැප දීමත්, අධික දුක් දීමත්, මැදුම් පිළිවෙතින් බැහැර කෙරේ. එනමුදු, ආධ්‍යාත්මික හා කායික සුඛ විහරණය පිණිස භික්ෂුන් වහන්සේලා විකාල භෝජනයේ (ඉර හැරුණු පසුව ආහාර ගැනීම) නොයෙදිය යුතු බවට විනය නීතියක් තිබේ. පෝය දිනවල පෙහෙවස් සමාදන් වන ගිහියන් ද මේ ශික්ෂා පදය සමාදන්ව ආරක්ෂා කරති. එය උපවාසයක්ම නොවුණත්, සන්ධ්‍යා වරුවේ සිදුකරන ආහාර වර්ජනයක් සේ අවශ්‍ය නම් සැලකිය හැකිය.

ඉහත සාකච්ඡාවට බඳුන් වූයේ උපවාසයේ ආගමික පැතිකඩකි. එනමුත් පෙරදිග ශිෂ්ටාචාරයන් හා සංස්කෘතීන්හි ප්‍රමුඛස්ථානයක් ගත් ඉන්දියාවෙන්ම උපවාසය සඳහා වෙනත් අර්ථකථනයක් ද නිර්මාණය වුණි. එහි පුරෝගාමියා මහත්මා ගාන්ධිතුමාය. එතුමා සිය අවිහිංසාවාදී ප්‍රතිපත්තිය තුළට උපවාසය ඈඳා ගත්තේ අධිරාජ්‍යවාදීන්ගේ මර්ධනයට එරෙහිව නැගී සිටීමටත්, සමාජ දේශපාලනික බලපෑමක් ඇති කිරීම පිණිසත් ය. ඔහුගේ ජීවිත කතාව අධ්‍යයනය කළ කෙනෙකුට දැන ගත හැකි තවත් කරුණක් වනුයේ, ගාන්ධි සිය ශරීර සෞඛ්‍යය වෙනුවෙන් ද, ආධ්‍යාත්මයේ නිර්මාණය වුණු අපවිත්‍ර සිතුවිලි මර්ධනය පිණිස ද, උපවාසය යොදාගත් බවයි. ගාන්ධි මෙන් පූර්ණ අවිහිංසාවාදී ප්‍රතිපත්තියක නොපිහිටිය ද, ඔහු අනුගමනය කරමින් ඒ මගේ ගමන් කරන චරිතයක් ලෙස සමාජ ක්‍රියාකාරිකයකු වන අන්නා හසාරේ හැඳින්විය හැකිය. මේ ලිපිය ලියන මොහොත වන විටත් හෙතෙම නොකඩවා උපවාසයක යෙදී දින දහයකි. ඒ, ඉන්දියාව තුළ දූෂණ වංචා පිටුදැකීමේ නීති ගෙන එන ලෙසට ඉන්දීය රජයට බල කිරීම සඳහාය.

අපේ රටේ ද නොයෙක් විට නොයෙක් දෙනා උපවාස කරති. ඒ අතර, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, දේශපාලඥයන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ආදිය වේ. මේ උපවාස සඳහා විටෙක භික්ෂුන් වහන්සේලා ද එක්වෙති. බොහෝ විට උපවාසයේ මුලට 'මාරාන්තික' යන විශේෂණය ද එක්කර ගනී. එනමුත්, මා සිතන ආකාරයට නම් මෙවැනි උපවාස සියල්ලක්ම නිසර්ගයෙන්ම මාරාන්තික වේ. හේතුව, ඔවුන් උපවාසය අරඹනුයේ යම් ඉල්ලීමක් මුල් කරගෙන ද, එය ඉටුනොවන්නේ නම්, උපවාසය ද නොනැවතීමේ ඉඩක් පවතින බැවිනි. මහත්මා ගාන්ධි එක දිගට සති තුනක් උපවාස කළේ ද මේ නිසාය. ඒ තුළින් මේ සංකල්පයට අමුතුම අරුතක් ද ආරෝපණය විය.