Header Title


උදනිඳුගේ සිතුවිලි

2011/12/13

අප භාවිතා කරන දිනදසුනේ අධි පෝය අවුලක්ද?

ලෝකයේ දිනදර්ශන බොහෝමයකි. ඉන් එක් දිනදර්ශනයක් වන 'මායා' කැලැන්ඩරයේ යෙදීමකට අනුව ලබන වසරේ දෙසැම්බර් මාසයේ දී ලෝක විනාශයක් සිදුවන බවට සමහරු විශ්වාස කරති. මේ වන විට එය තේමා කරගනිමින් චිත්‍රපට ද නිපදවා ඇත. තවත් සමහරුන් ලෝක විනාශයෙන් බේරීමට හෝ ලෝක විනාශය සිදුවද්දී තමන් බේරීමට මඟක් ගැන හෝ කල්පනා කරති. දිනදසුනක් ඇති කළ කලබගෑනියක තරම!

අපේ රටේ ද දිනදර්ශන ක්‍රම කිහිපයක් භාවිතා වේ. ලංකාවේ සම්මත දිනදසුන වනුයේ ලෝකයේ බොහෝ රටවල භාවිතා වන ග්‍රෙගරියන් කැලැන්ඩරයයි. මෙම දිනදසුන 13 වැනි ග්‍රෙගරි පාප්තුමා විසින් මීට වසර 400 කට පෙර හඳුන්වා දෙන ලද්දකි. එහෙත් එහි කිසිදු විද්‍යාත්මක බවක් නැත. කෙටියෙන් කිවහොත් අංක ගණිතමය ගනුදෙනුවකි. මේ අතර, නොයෙක් ආගම් මත හා ජාතීන් මත පදනම් වූ, ඒ අනුව බිහි වූ දිනදසුන් බොහෝමයකි.

උදාහරණයක් වශයෙන් ගතහොත් මුස්ලිම්වරු 'හිජ්රි' කැලැන්ඩරය භාවිතා කරති. ඔවුන්ගේ සියලු ආගමික හා සංස්කෘතික අංග ඒ අනුව සිද්ධ වේ. මේ අතර බෞද්ධ දිනදර්ශනයක් ද පවතී. බුද්ධ වර්ෂ ක්‍රමය නොහොත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ සිට ගත වූ කාලය දක්වන්නේ එයිනි. එමෙන්ම, සිංහල මාස ක්‍රමයක් ද පවතී. බක්, වෙසක්, පොසොන්, ආදී වශයෙන් භාවිතා වනුයේ එයයි. නමුත් භාවිතාවේ පවතින්නේ පෙර කී බෞද්ධ දිනදර්ශනයේත්, සිංහල ක්‍රමයේත් සම්මිශ්‍රණයකි. මෙහිදී බුද්ධ වර්ෂ අනුසාරයෙන් වසරත්, සිංහල ක්‍රමයෙන් මාසයත්, සඳ අනුව තිථියත්, දවසත් එකට එකතු කර සම්පූර්ණ දිනයක් පවසනු ලැබේ. මෙය ඉතා යහපත් නාමකරණයක් වුවද, සාංවත්සරික වශයෙන් සමරන දින සඳහා යොදා ගැනීමේ දී යම් අවුලක් තිබේ.  එයට හේතු වී ඇත්තේ පෝය මත පදනම් වූ චන්ද්‍ර මාස ක්‍රමයත්, සූර්ය මාස ක්‍රමයත් එකට මිශ්‍ර වීම නිසා යැයි මට හැඟේ. මේ ක්‍රම ද්විත්වයේම ඒවාට ආවේණික ප්‍රයෝජන තිබේ. දින සහ මාස නිවැරදිව හැඳින්වීම සඳහා චන්ද්‍ර මාස ක්‍රමය වඩාත් සුදුසුය. සෘතු ආදී පෘථිවිය සූර්යයා වටා යන ගමන නිසා ඇතිවන වෙනස්කම් හා අනුරූපණය වීම සඳහා සූර්යය මාස ක්‍රමය වැදගත් වේ. එසේ නම් අවුලක් පෙනෙන්නට තිබෙන්නේ ඇයි? එය අපගේ භාවිතාව නිසා පැන නැඟුණකි. කෙටියෙන් කිවහොත් සාංවත්සරික සැමරුම් හා අධි පෝය සංකල්පය නොවන්නට මෙය ප්‍රශ්නයක් නොවනු ද නැත.

කාරණය තේරුම් ගැනීමට ලබන වසර උදාහරණයක් ලෙස ගනිමු. 2012 වසරේ අගෝස්තු මාසයේ (සම්මත බටහිර කැලැන්ඩරය අනුව) පොහොය දින දෙකකි. ඒ නිකිණි සහ අධි බිනර යනුවෙනි. මුළු වසරටම පෝය දින 13 කි. සෑම අධික අවුරුද්දකම අධි පෝයක් යෙදෙන බැවිනි. බුදුරදුන්ගේ තෙමඟුල ප්‍රධාන කොටගත් සියලු ආගමික සංවත්සර ආදිය බටහිර කැලැන්ඩරයේ ඒ ඒ සම්මත මාසවල නොවරදවාම යෙදේ. නිදසුනක් වශයෙන් වෙසක් සැමරුම සෑම වසරකම මැයි මාසයේ ම යෙදේ. පෝය 13ක් තිබුණා කියා වෙසක් සැමරුම ඊළඟ වසරේ අප්‍රේල් මාසයේ සැමරෙන්නේ නැත. බුද්ධ ශාසනය තුළ වාර්ෂිකව නියමිත කාලයකටම යෙදෙන සිදුවීමක් වශයෙන් වස් සමාදන් වීම පෙන්වා දිය හැකි අතර එය බුදුරජාණන්වහන්සේගේ නියමයක් අනුව ම සිදු වන්නකි. වස් සමාදන් වනුයේ වර්ෂා කාලයේ ය. ශාසන ඉතිහාසයේ වාර්තා වන සියලු වැදගත් සිදුවීම් යෙදී ඇත්තේ ද ප්‍රධාන පෝය දිනවලය. බුදුන් දවස අධි පෝය දිනයක් පිළිබඳව කිසිදු තැනක වාර්තා නොවේ. මෙයට හේතුව කුමක්ද යන්න ඉතිහාසඥයන් විසින් සොයා බැලිය යුතු කරුණකි. නැතහොත් අප සමරන සම්බුද්ධ ජයන්තිය ආදී සංවත්සර නිවැරදි නොවේ යැයි කෙනෙකුට තර්කයක් ඉදිරිපත් කළ හැකිය. එපමණද, මෙය බටහිර ක්‍රමය අනුගත කරගැනීමට ගොස් ඇති කරගත් අවුලක් වශයෙන් ද අර්ථ දැක්වීමට ඉඩ ඇත. එනිසා නිරවුල් අවබෝධයක් ඇති දැනුමැති කෙනෙක් මේ පිළිබඳව පැහැදිලි කීරීම ඉතා වටනේය.