Header Title


උදනිඳුගේ සිතුවිලි

2013/10/31

පාසල් ළමුන් සමාජ මාධ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැදගත්කම

“සමාජ මාධ්‍ය” යනු මේ දිනවල නිතර අසන්නට ලැබෙන නිතර කතාබහට ලක්‍වන දෙවදනකි. ඒ කෙතරම් ද යත්, රටේ මුල් පුරවැසියාට ද පසුගිය දිනවල දී මේ සම්බන්ධව කතාකරන්නට සිදුවිය. ඔහු එහිදී සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව සඳහන් කළේය. වැඩිහිටියන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් දිය නොහැකි වුව ද, එම කාණ්ඩයට අයිති නොවන ළමා පරපුර ගැන වැඩි වගකීමකින් කටයුතු කිරීමත්, ඔවුන්ට අවැසි උපදෙස් ලබාදීමත් අත්‍යවශ්‍ය වේ.

වඩාත් ම කතාබහට ලක්වන ෆේස්බුක් (Facebook) සමාජ ජාලයට එක්වීමට වයස අවුරුදු 13 ට වැඩි ඕනෑම අයෙකුට හැකියාව තිබේ (දකුණු කොරියාවේ හෝ ස්පාඤ්ඤයේ නම් වයස අවුරුදු 14 ක් විය යුතුය). නමුත් ප්‍රශ්න ඇතිවන්නේ පිහියක් අවභාවිතා කරන්නා සේ මෙය භාවිතා කරන පිරිස් සහ ‘නිසි’ පරිදි තම සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කිරීමට නොදන්නා පිරිස් නිසා ය. අවභාවිතා කරන අයවලුන් සම්බන්ධයෙන් රටේ පවත්නා නීතිය අනුව ක්‍රියා කළ යුතුය. නැතහොත් දියුණු රටවල පවත්නා නීති අපටත් පනවා ගත යුතුය. එහෙත් නිසි පරිදි සමාජ මාධ්‍ය භාවිතා කිරීම යනු අත්දැකීම් හෝ දැනුවත්කමින් හෝ සාමාන්‍ය බුද්ධිය මෙහෙයවා ලැබිය යුතු දැනුමකි.

බොහෝ විට පාසල් යන වයසේ දරුවන්ට මෙම දැනුම නොලැබේ. එමනිසා මේ තුළින් ඔවුන්ට පැමිණිය හැකි ගැටලු හා අභියෝග පිළිබඳව ද නොදනී. මේ නිසා පාසල් දරුවන්ට සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳවත්, එහි තිබිය හැකි අවදානම් සහගත තත්ත්වයන් වළක්වාගැනීමට අනුගමනය කළ හැකි පියවර පිළිබඳවත් දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයකි.

මෙම කරුණු පාසලේ දී ඉගැන්වීමට පියවර ගත යුතුය. ශරීර සෞඛ්‍යය රැකගැනීම, ප්‍රථමාධාර ලබාදීම, ඩෙංගු වලින් ආරක්ෂාවීම ආදී දෑ පිළිබඳව උගන්වන්නා සේ ම මේ සම්බන්ධයෙන් ද අධ්‍යාපනයක් ලබාදිය යුතුය. විශේෂයෙන්ම ප්‍රසිද්ධ සමාජ ජාලවල පවත්නා පෞද්ගලිකත්ව යෙදුම් (privacy settings) ආදිය පිළිබඳව කියා දීමත්, තමන්ට අන්තර්ජාලය භාවිතයේ දී යම් කරදරකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවුණි නම් ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් දැනුවත් කළ යුතුය. මීට සමගාමීව දෙමව්පියන් ද දැනුවත් කරන වැඩසටහන් පැවැත්විය හැකි නම් ඉතා වටිනේ ය. මන්ද, මෙය කාලීන මෙන්ම සමාජීය වශයෙන් ද වැදගත්කමක් ඇති කරුණක් බැවිනි.

2013/08/05

ඩෙංගු මැඩීමට කාවයියා ත්

මේ දිනවල නිතරම අසන්නට ලැබෙන මාතෘකාවකි ‘ඩෙංගු’. වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය බෝවීම වැඩිවන බවයි ඒ සම්බන්ධව කටයුතු කරන අංශ පවසන්නේ. එමනිසා ඩෙංගු මර්දන වැඩසටහන් ද නිතරම බොහෝ ප්‍රදේශවල දක්නට ලැබේ. මෙවැනි වැඩසටහන් තුළ දී වඩාත් අවධානයට ලක්වන්නේ ජලය එකතුවන කුඩා ස්ථාන (උදා: පොල් කටු, යෝගට් කෝප්ප ආදිය) පිළිබඳවයි. නමුත් ඒ හා සමානව අවධානය යොමු විය යුතු පිරිසිදු ජලය එක්රැස් වුණු තරමක් විශාල ජලජ පරිසර කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු නොවේ. ඒවා නම් ළිං පොකුණු ආදිය යි. මේවා වසා දමන්නටවත් මදුරු කීට නාශක රසායන යෙදීමටවත් නොහැකි ය. එසේ නම් හොඳම විසඳුම ජෛව පාලන ක්‍රමයක් වන අතර, සුදුසුම ජෛව පාලන ක්‍රමය මිරිදිය මසුන් ය.

කුඩා පොකුණක හෝ ළිඳක එක් මත්ස්‍යයෙක් හෝ දෙදෙනෙක් සිටීම වුවද ප්‍රමාණවත් ය. පොකුණේ මසුන් කුරුල්ලන්ගෙන් හෝ වෙනත් සතුන්ගෙන් ආරක්ෂා කිරීමට (ආවරණයක් වැනි) උපක්‍රමයක් යෙදීම ඔබ සතු කාර්යයකි. බොහෝ විට මෙවන් පරිසර සඳහා ගප්පි, ප්ලේටි වැනි මාළු වර්ග එක් කරන්නේ මේ හේතුවෙනි. නමුත් එම මත්ස්‍ය වර්ගවලටත් වඩා සුදුසු විශේෂයක් ලෙස කාවයියා (Anabas testudineus) යෝජනා කරමි. ඒ හේතු කිහිපයක් නිසාය.

සාමාන්‍යයෙන් කාවයියා හඳුන්වනු ලබන්නේ ‘පණ හයිය’ මත්ස්‍යයෙකු වශයෙනි. ඊට හේතු වී ඇත්තේ ඌ සතුව ඇති වායුගෝලයෙන් වාතය ලබාගත හැකි labyrinth organ නම් අවයවය යි. මේ නිසා තරමක් අපිරිසිදු ජලයේ පවා ජීවත් විමේ හැකියාව කාවයියාට ඇත. එමෙන්ම ලංකාව පුරා ඕනෑම පරිසරයක (ඉහළම කඳුකරය හැරෙන්නට) මේ මත්ස්‍යයාට ජීවත් විය හැකි අතර, ස්වාභාවික පරිසරයෙන් සොයාගැනීම ද පහසු වේ. සමහර මින්මැදුරු වලින් මේ මාළුවා ලබාගත හැකි මුත්, මිරිදිය ධීවරයෙක්ගෙන් හෝ ස්වභාවික පරිසරයෙන් ද සොයාගැනීම අපහසු නොවේ. කාවයියා සර්ව භක්ෂකයෙක් වන අතර මදුරු කීටයින් ආහාරයට ගැනීමට රුචිකත්වයක් දක්වයි. නමුත් ඉතා විශාලව වැඩුණු මසෙකුට වඩා කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ මත්ස්‍යයෙකු වඩා යෝග්‍ය වේ. ඔබගේ ළිඳට හෝ පොකුණට මේ වර්ගයේ එක් මත්ස්‍යයෙක් සිටීම ද ප්‍රමාණවත් ය.

උස්, වට ආවරණයක් නොමැති පොකුණක් නම් සැලකිලිමත් විය යුතු කරුණක් ඇත. එනම්, වැසි කාලයේ දී හෝ තෙතමනය සහිත වටාපිටාවක් හෝ ඇත්නම් කාවයියා පොකුණෙන් එළියට පැන ගමන් කිරීමට ඉඩ තිබේ. මෙවැනි ස්ථානයන් හි කාවයියාට ළඟ නෑකමක් දක්වන ගුරාමීන්, පුළුට්ටන් වැනි මසුන් ඇති කිරීම ද සුදුසු වේ.


පින්තූරය: http://en.wikipedia.org/wiki/Anabas_testudineus

2013/02/22

'පුරාවිද්‍යාවේ' අවධානය පිණිසයි

රටක ජාතියක උරුමය, අතීත ප්‍රෞඩත්වය, ලොවට කියාපාන්නේ පුරාවස්තූන්ගෙනි. පෙන්වන්නට එවන් දෑ නොමැති කෙටි ඉතිහාසයක් සහිත ඇමෙරිකාව වැනි රටකත්, ලංකාව වැනි රටකත්, වෙනස එයයි. එනමුදු ඒ අතීතයෙන් ලද දායාදයන් හි වටිනාකම අප කොතරම් දුරට අවබෝධ කරගෙන සිටීන්නේ ද යන්න ගැටලුවකි. ඇමෙරිකාවේ හෝ යුරෝපාකරයේ රටකට එවන් සම්පත් තිබුණා නම් ඔවුන් ඒවා දිවි දෙවෙනිකොට සුරකිනු නිසැක ය. එහෙත් අපට ඒවා ‘නිතර දකින කුකුලාගේ කරමලය’ සේ වී ඇත්දැයි වරෙක සිතේ.

අපේ රටේ පුරාවස්තූන් හා බුදු සමය අතර ඇත්තේ ඉතා සමීප සබඳතාවකි. ඒ බව මේ රටේ ඉතිහාසය නිවැරදිව උගත් ඕනෑම කෙනෙක් දනී. නමුත්, මෙකල පුරාවස්තූන් ආරක්ෂා කිරීම සහ ‍බෞද්ධ  සිද්ධස්ථාන රැකගැනීම ගැටලු සහගත තත්වයක් බවට පත්වන අවස්ථා නිතර දකින්නට ලැබේ. මා ලද එක් පුද්ගලික අත්දැකීමක් පහත සඳහන් කරමි.

ගල්ගමුව ප්‍රදේශයේ එක්තරා දුෂ්කර ගම්මානයක වනයට ගිලගත් කුඩා ආරණ්‍යයක් විය. මෙහි බ්‍රාහ්මී අක්ෂර කෙටූ විශාල ගල් කුටියක් ද වේ. අලි ඇතුන් නිතර ගැවසුණ ප්‍රදේශයකි. වල් බිහි වී තිබුණු නිසා මේ භූමිය වන සතුන්ගේ හා නිධන් හොරුන්ගේ ග්‍රහණයට නිතර ලක්වුණි. සමහර නිධන් හොරු එහි පැමිණ ඇත්තේ සිවුරු ද දරාගෙන ය. කෙසේ වෙතත්, මා දන්නා සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් මීට අවුරුදු කිහිපයකට පෙර එතැනට වැඩම කර, මහත් පරිශ්‍රමයක් දරා ඒ ස්ථානය එළි පෙහෙළි කර අවම පහසුකම් සහිතව ආරණ්‍ය සේනාසනය යළි පිහිටුවන ලදී. එතෙක් ආගමික සිද්ධස්ථානයක් නොතිබූ ගම්වැසියන්ගේ නොමද උපකාරයද උන්වහන්සේට ලැබුණි. මේ අතර ටික කලකට පසු උන්වහන්සේට ආරණ්‍යයෙහි කුඩා කුටියක් සැදවීමට අවශ්‍ය විය. එහෙත් එතැනදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරස් විය. ඒ, එම භූමියේ කුමන හෝ ඉදිකිරීමක් සිදුකිරීමට නම් ‘පුරාවිද්‍යාවේ’ අවසරය අවශ්‍ය වූ බැවිනි. මෙපමණ කාලයකට එම ස්ථානය තිබේදැයි ද කියාවත් නොසෙවූ නිලධාරීන්ට ඒ ගැන සොයා බැලීමට සිතුණේ ද එවිටයි. කෙසේ හෝ සෑහෙන කාලයක් ඉක්ම යෑමෙන් පසු එම එදිකිරීම කරගෙන යෑමට උන්වහන්සේට අවසර ලැබුණි. අද ඒ ස්ථානය සිත් පහන් කරවන කුඩා අරණකි. එහි පුරාවිද්‍යා වටිනාකමක් ඇති වස්තූන්ට අබමල් රේණුවකවත් හානියක් සිදු වී නැත. ඒවායේ සුරක්ෂිතතාව ආරණ්‍යය නිසා තහවුරු වී ඇත. උරුමය ද, සමය ද, දෙකම රැකුණා සේය.

නමුත් සමහර ස්ථානවල තත්ත්වය මෙසේ නොවේ. ලංකාවේ බොහෝ ඓතිහාසික වැදගත්කමක් ඇති ගල්ලෙන් වැනි ස්ථාන පවා ආරක්ෂා වූයේ කුඩාවට හෝ විහාරස්ථානයක් පැවති නිසාය (උදා: බෙලිලෙන, බටදොඹලෙන). නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පැමිණ කැණීමක් කර යම් කිසි සාධකයක් සොයාගත් විට කරනුයේ පන්සල වසා දමා භික්ෂූන් වහන්සේ ද එයින් පිටමං කිරීමට කටයුතු සැලැස්වීමයි. එයින් එම පුරාවස්තු දැඩි අනාරක්ෂිතභාවයට පත් වේ. ‘පුරාවිද්‍යාවට’ ඒ සෑම ස්ථානයක්ම ආරක්ෂා කිරීමට සෑහෙන සේවක පිරිසක් ද නොවේ. ඒ බව මෑතකදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාම තහවුරු කළේ මුළු නැගෙනහිර පළාතේ ම පුරාවිද්‍යා කාර්යයන් සඳහා යෙදවීමට ඇත්තේ නිලධාරීන් අතළොස්සක් බව පවසමිනි. එය බරපතලම තත්ත්වයක් වන්නේ නැගෙනහිර පළාත යනු ශ්‍රී ලංකාවේ පුරාවස්තු හා පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථාන බහුලවම ඇති පළාතක් බැවිනි. නිවැරදි සංගණනයක් හා අලුතින් කැණීම් සිදුකළහොත්, එවන් ස්ථාන වැඩි වශයෙන්ම ඇති පළාත වන්නට ද බැරි නැත.

කළ යුත්තේ පුරාවිද්‍යා නිලධාරීන් තව තවත් බඳවා ගැනීමය. නැතහොත් ආගමික ස්ථාන හා සබැඳි පුරාවිද්‍යා ස්ථාන, ඒවායේ භාරකාරත්වයට යටත් කිරීමය. එයින් රටේ උරුමය ද, බුදු සසුන ද, යන දෙකම රැකේ. එසේ නොවුණහොත් සිදුවන්නේ ජාතියේ උරුමය පිළිබඳ කිසිම හැඟීමක් නැතියවුන් මේවා විනාශ කිරීම හෝ විකෘති කිරීම ය (උදා: දීඝවාපි, කූරගල). එසේත් නැතිනම් කිසිදාක අනාවරණය කරගත නොහැකි සේ උරුමය යටපත් වී වල් බිහි වීමය.

2012/10/09

ක්‍රිකට් ලංකාවේ ජාතික ක්‍රීඩාව විය යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලොව විස්සයි-20 අනුශූරයන් බවට පත්විය. තවත් විදියකින් කිවහොත් (තවත් වරක්) අවසාන තරඟය පැරදුණහ. එහෙත් පසුගිය පස් වසර තුළ ක්‍රිකට් ලෝක ශූරතා තරඟාවලි හතරක අවසන් තරඟ සඳහා සුදුසුකම් ලැබීමට දක්ෂ වූහ.

ක්‍රිකට් ලංකාවේ නිල නොවන ජාතික ක්‍රීඩාවයි. නිල ජාතික ක්‍රීඩාව වොලිබෝල් ය. ජාතික ක්‍රීඩාව හුදෙක් නමට පමණක් නොවිය යුතුය. ජාතික පුෂ්පය, ජාතික පක්ෂියා, ආදී ලෙසින් ජාතික ක්‍රීඩාව සැබැවින්ම 'ජාතික' ක්‍රීඩාවක් විය යුතුය. එකම මොහොතකදී ජාති, කුල, ආගම්, දේශපාලන භේදවලින් තොරව මේ රටේ බහුතර ජනයා ඒකාත්මික කළ හැකි ක්‍රීඩාවක් වේ නම් එය ක්‍රිකට් පමණි.

වොලිබෝල් ඉතා හොඳ ක්‍රීඩාවක් වුවද, ක්‍රිකට් ක්‍රීඩාව මෙරට තුළ ඇතිකරන බලපෑම එයට කිසිසේත් කළ නොහැකිය. 1996 න් පසුව ලංකාව ලෝකයට ගෙන ගියේ ද ක්‍රිකට් ය. බොහෝ පිටරැටියන් ලක් කොදෙව්ව ලෝක සිතියමේ සොයන්නට පටන් ගත්තේ ද ඉන්පසුවය. දැනට ජාතික ක්‍රීඩාව ලෙස වොලිබෝල් නම් කිරීමේ පදනම මට නම් නොතේරේ. ක්‍රිකට් සේම වොලිබෝල් ද වෙන රටක උපන් ක්‍රීඩාවකි. වොලිබෝල් ක්‍රීඩාව ලොවට දායාද කළේ ඇමෙරිකානු ජාතික විලියම් මෝර්ගන් මහතායි. ජාතික ක්‍රීඩාව දේශීය ක්‍රීඩාවක් විය යුතු නම් මම එයට ද එකඟ වෙමි. එවිට එල්ලේ වැනි ක්‍රීඩාවක් තෝරාගත හැකිය. නමුත් ජාතික ක්‍රීඩාව වීම සඳහා වොලිබෝල් වලට වඩා ක්‍රිකට් ක්‍රීඩාව සියලු සුදුසුකම් සපුරා ඇත. මීට දශක කිහිපයකට පෙර ඉහළ පැලැන්තියට සීමා වුවද, අද එය සියලු ලාංකිකයන්ගේ ක්‍රීඩාවකි. යාචකයාගේ පටන් රටේ ධනවත්ම පුද්ගලයා දක්වා එකසේ විඳින ක්‍රීඩාවකි. පෙර සඳහන් කළ පරිදි ක්‍රිකට් ජාතියේ ක්‍රීඩාව වී හමාරය. එය ජාතික ක්‍රීඩාව කරවීම නිසි දේට නිසි තැන දීමක් වනු ඇත.

2012/09/05

තවත් ආකාරයක වීරයෙක්

පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම වරට පදක්කමක් දිනාගැනීමට ප්‍රදීප් සංජය ඊයේ සමත් විය. මීටර් 400 T46 වර්ගීකරණය යටතේ ධාවනයේ යෙදෙමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට හෙතෙම සමත් වූයේ නව කලාපීය වාර්තාවක් ද පිහිටුවමිනි. ඔලිම්පික් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් ද කිසිවක් ලීමට නොහැකි වූ නිසා මේ ගැන යමක් කිව යුතු යැයි සිතීමි.

ඔලිම්පික් තත්ත්වයට පැමිණිමට ක්‍රීඩකයෙක් දරන පරිශ්‍රමය අතිමහත්ය. බොහෝ විට ඔවුන් ඒ සඳහා අවතීර්ණ වන්නේ කුඩා කල සිටම ය. පසු කලක ක්‍රීඩාවක් කිරීම ආරම්භ කළ ද, ඒ සඳහා දින, මාස, අවුරුදු ගණනක් ඉමහත් කැපවීමකින් පුහුණු වෙති, කැපවීම් කරති. ඒ නයින් ඔලිම්පික් වැනි ක්‍රීඩා උළෙලක දී අවසන් තරඟයකට වුව සහභාගී වීමට වරම් ලබාගන්නා ක්‍රීඩකයන් සැබැවින්ම ඔවුන් නියෝජනය කරන රටවල වීරයෝ වෙති. පැරාලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වනුයේ ආබාධිත පුද්ගලයන් සඳහාය. T45, T46 ආදී මේ වර්ගීකරණ සිදුකරනු ලබන්නේ ඒ ඒ ක්‍රීඩකයන්ගේ ආබාධිත මට්ටම අනුවයි. උදාහරණයක් වශයෙන්, ජවන ඉසව්වන්හි T46 කාණ්ඩය යටතට ගැනෙන්නේ තනි අතක වැලමිටෙන් ඉහළ/පහළ පමණක් ආබාධිත තත්ත්වයට පත් ක්‍රීඩකයින් ය. මේ පිළිබඳ වැඩිමනත් විස්තර අන්තර්ජාලයෙන් සොයා බලන්න. (ප්‍රදීප් සංජයගේ වමත පණ නැති වී තිබෙන්නේ යුධ බිමේදී මෝටාර් ප්‍රහාරයකට ලක්වීමෙනි)

මේ අනුව බලන කළ ප්‍රදීප් ගේ ජයග්‍රහණය සුවිශේෂී එකක් ය. ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන ඔහු දැන් තවත් ආකාරයකින් ද වීරයෙක් බවට පත් වී ඇත. ඒ, ලොව පුරා එම අංශයෙන් වඩාත්ම දක්ෂ ක්‍රීඩකයන් අතලොස්ස අතරින් තෙවැනි ස්ථානය හිමි කරගනිමිනි. එය කිසිසේත් සුළු කොට තැකිය නොහැකිය. ඔහුට ජයග්‍රාහී අනාගතයක් පතන අතර ඉදිරියේදී තවත් මෙවන් ජයග්‍රහණ ලබාගැනීමට අපේ ක්‍රීඩකයින්ට හැකි වේවායි පතමි.