Header Title


උදනිඳුගේ සිතුවිලි

Showing posts with label ඉංග්‍රීසි. Show all posts
Showing posts with label ඉංග්‍රීසි. Show all posts

2014/01/30

සිංහල IT වදන්

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ භාවිතා වන වචන සඳහා සිංහල යෙදුම් සෙවීම විටෙක ඉතා අසීරු කටයුත්තකි. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය සහ තවත් පුද්ගලික ආයතන විසින් හඳුන්වාදුන් පාරිභාෂික ශබ්දමාලා තිබුණ ද ඒවායින් සියලු අඩුපාඩු සම්පූර්ණ වී නොමැත. නිතර එක්වන අලුත් වදන් නිසා තත්ත්වය තවත් බැරෑරුම් වේ. මාගේ රැකියා ස්වභාවය අනුව මෙවන් අවස්ථාවලට නිතර මුහුණ දීමට සිදුවන අතර එවන් අවස්ථාවන්හි දී සාම්ප්‍රදායික වෘත්තීයමය පරිවර්තකයින් පවා අසීරුතාවයට පත් වේ.

කළ හැක්කේ අලුතින් වචන නිර්මාණය කිරීම හෝ එම අර්ථයම ඉස්මතු වන ආකාරයෙන් වදන් පෙළගැස්වීම ය. පසුව සඳහන් කළ විකල්පය සෑම විටකදී ම සාර්ථක නොවන්නේ පරිවර්තනයේ ස්වභාවය හා සන්දර්භය අනුව එම භාවිතාව ප්‍රායෝගික නොවීමට ඉඩකඩ ඇති බැවිනි. එනිසා මා අතින් කාලයක් මුළුල්ලේ නිර්මාණය වූ වදන්/යෙදුම් කිහිපයකි. ඔබගේ රුචිය හෝ අවශ්‍යතාවය අනුව මේවා භාවිතා කළ හැකි බැවින් මෙහි පළ කරමි. තවත් ඒවා නිර්මාණය වුවහොත් මෙම ලිපියම නැවත නැවත යාවත්කාලීන කරන්නෙමි.

Process redundancies - ක්‍රියාවලි අතිරික්තයන්
Predicting trends or patterns - නැඹුරුතා හා රටා පුරෝකථනය
Document & Workflow Management System - ලේඛන හා කාර්ය ප්‍රවාහ කළමනාකරණ පද්ධතිය
Process integration - ක්‍රියාවලි සමෝධානය
ICT enabled - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් බල ගැන්වුණු
Integrated information solution - සංගෘහිත තොරතුරු විසඳුම
Integrated approach - සමෝධානික ප්‍රවේශය
Process owners - ක්‍රියාවලි හිමිකරුවන්
Discussion groups - සංවාද සමූහ
e-Parliament - ඉ-පාර්ලිමේන්තුව
Digital chamber - අංකිත/ඩිජිටල් සභාව
Global Centre for ICT in Parliament - පාර්ලිමේන්තුවල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් සඳහා වූ ගෝලීය මධ්‍යස්ථානය
Open Source Productivity tools - විවෘත මූලාශ්‍ර ඵලදායිතා මෙවලම්
Assessment tools - ඇගයුම් මෙවලම්
Reachability - ප්‍රවේශ හැකියාව
Secure access - ආරක්ෂිත පිවිසීම
Outdoor digital screening system - එළිමහන් ඩිජිටල් තිරගතකිරීමේ/විකාශන පද්ධතිය
Document-handling system - ලේඛන පරිහරණ පද්ධතිය
Document repositories - ලේඛන සංචිත
Data stores - දත්ත ගබඩා
Concept paper - සංකල්ප පත්‍රිකාව
Phased-out approach - අදියර ගත ප්‍රවේශය
Intranet portal - අන්තඃජාල බිහිදොර
Information portal - තොරතුරු බිහිදොර
Information assets - තොරතුරු වත්කම්
Web traffic - වෙබ් දත්ත ගමනාගමනය
Network traffic - ජාල තොරතුරු ප්‍රවාහය
Streaming - විකාශය කිරීම
Sharing - බෙදාගැනීම / බෙදාහැරීම
Data loss - දත්ත හානිය
RSS reader - RSS කියවනය
Up-to-date - යාවත්කාලීන
Format - ස්වරූපය
High-resolution - අධි තීව්‍රතාවය
Wired - රැහැන් සහිත
Leased connectivity - පැවරූ සම්බන්‍ධකතාවය
Remote email access - දුරස්ථ ඊමේල් ප්‍රවේශය 

අතුරු මුහුණත් සඳහා

Captcha / Security code - ආරක්ෂක කේතය
Discussion Forum - සාකච්ඡා මණ්ඩපය / සංවාද මණ්ඩපය
Forum thread - සංවාදය
Forum topic - සංවාද මාතෘකාව
Follow-up comments - අනුගාමී අදහස්
Anonymous user - අඥාත පරිශීලකයා
Login with Facebook - ෆේස්බුක් මගින් පිවිසෙන්න
Logout - පිටවෙන්න
Social profile - සමාජ මාධ්‍යය ගිණුම
Video is not supported - වීඩියෝවට සහය නොදක්වයි
Reset - හිස් කරන්න
On-demand - අවැසි පරිදි
Mailing List - ඊ-මේල් ලැයිස්තුව
Newsletter Subscription - ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය
Subscribe - බැ‍ඳෙන්න
Share this - මෙය ප්‍රචාරණය කරන්න
Increase/Decrease font size - අකුරු ලොකු/පොඩි කරන්න
Switch to Sinhala - සිංහල භාෂාවට මාරු වෙන්න / සිංහලට මාරු වෙන්න
{X} is Loading – {X} ප්‍රවේශනය වෙමින් පවතී
Common words - අප්‍රධාන වචන


සැ.යු.:
  • මෙහි සමහර යෙදුම් තවත් පුද්ගලයින් අතින් ද නිර්මාණය වී තිබිය හැකිය.
  • මෙම වදන් සෑම සන්දර්භයකටම සුදුසු නොවනු ඇත.
  • මේ වදන්/යෙදුම් සඳහා විකල්ප ද පවතී.

2012/06/15

'තේරීම් කාරක සභාව' නොවේ 'විශේෂ කාරක සභාව'

'පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව', 'පාර්ලිමේන්තු තේරීම් කාරක කමිටුව', 'පාර්ලිමේන්තු තේරීම් කමිටුව'... මේ මාධ්‍ය තුළින් නිතර ඇසෙන වචන කිහිපයකි. එකී සියල්ලෙන්ම අදහස් කරනුයේ ද එකම දෙයකි. එහෙත් ඒ සියල්ලම වැරදිය. ඇයි?

මේ පද සියල්ලේ සම්භවය ඉංග්‍රීසියෙන් Parliamentary Select Committee යන්නය. එය සිංහලෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වේ (පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 94 - 103). මේවා පාර්ලිමේන්තුවේ කාරක සභා වර්ගයකි. “මෙම කාරක සභා වල කාර්යය වන්නේ ඒවාට යොමු කරනු ලබන විවිධාකාර කර්තව්‍යයන් පිළිබඳව විමසා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමයි. මෙකී කාරක සභාවන් හි පරීක්ෂණයක විෂය පථය, ඒවා පත්කිරීමේදී සඳහන් කරනු ලබන විභාග කළ යුතු කරුණු යටතේ නිර්වචනය කර තිබේ.” [මූලාශ්‍රය: පාර්ලිමේන්තු වෙබ් අඩවිය] ඉංග්‍රීසි 'select' යන වදනේ සිංහල පරිවර්තනය 'තේරීම' යන්න වුවද, ස්ථාවර නියෝග ප්‍රකාරව මේවා 'විශේෂ' කාරක සභා ලෙස හැඳින්වේ. නමුත්, ස්ථාවර නියෝග නොසලකා හරිමින් බොහෝ මාධ්‍ය හා සමහර පුද්ගලයින් 'තේරීම් කාරක සභාව' යන වැරදි වචනය භාවිතා කරයි. එයට හේතුව ඉංග්‍රීසි වචනය ඍජුවම පරිවර්තනය කිරීමයි.

මීට අමතරව, ඉහත දක්වන ලද පදවල තවත් සුළු වැරද්දක් ද පෙන්වාදෙනු කැමැත්තෙමි. එය නම්, 'කමිටුව' (ඉංග්‍රීසියෙන් Committee) යන වචනය පාර්ලිමේන්තු සන්දර්භයක් තුළදී උචිත/නිවැරදි නොවන බවය. එහි පාර්ලිමේන්තු භාවිතාව 'කාරක සභාව' යන්නයි.

පැවසිය යුතු තවත් දෙයක් ද තිබේ. එනම්, තේරීම් කාරක සභාව යනුවෙන් හැඳින්වෙන කාරක සභාවක් ද පාර්ලිමේන්තුවේ ඇති බවයි (ස්. නි. 121). එය ඉංග්‍රීසියෙන් Committee of Selection නමි. මෙය වි‌‌ශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවක් වන අතර, “උපදේශක කාරක සභාවල හා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවල සංඛ්‍යාව, ඒවායේ කාර්යභාරය හා සංයුතිය කවරක්ද යන්න සලකා බැලීමත් විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවල සේවය කරනු පිණිස සාමාජිකයින් නම් කිරීමත්” එහි කාර්යය වේ. [මූලාශ්‍රය: පාර්ලිමේන්තු වෙබ් අඩවිය]

එනිසා මේ පද නිවැරදිව භාවිතා කිරීම, සම්මතය පිළිපැදීම පමණක් ම නොවන අතර, මතුවිය හැකි පැටලිලි සහගත තත්ත්වයන් මඟහරවා ගැනීමට ද ඉවහල් වනු ඇත.