Header Title


උදනිඳුගේ සිතුවිලි

2011/03/25

ඉඳහිට ලියවෙන හිටිවන කවි

මම කවියෙක් යැයි නොසිතමි. එහෙත් අසන්නට දකින්නට දැනෙන්නට ලැබෙන දෑ අනුසාරයෙන් මගේ සිතට ද ඉඳහිට කවි සිතුවිලි පහළ වේ. එවන් අවස්ථාවන්හිදී කවියක් දෙකක් පබැඳෙන්නේ නිතැතිනි. එලෙස ලියැවුණු කවි කිහිපයකුත් ඊට පාදක වූ කරුණුත් මෙලෙසින් ගෙනහැර පාමි.


ඔන්න දවසක් මම වැඩට එන ගමන්. නුගේගොඩ දී බස් එක වාහන තදබදයේ හිරවෙලා, මම හිටගෙන. ඉතින් මට පේනවා වාහනයක ඇතුළේ 'ඩෑෂ් බෝඩ්' එක උඩ හිටවපු ප්ලාස්ටික් සූරියකාන්ත මලක්. වාහනේ යනකොට මේක පැද්දෙනවා. මට සිතුවිල්ලක් පහළ වුණා. සූරියකාන්ත මල් පිපෙන්නේ සූර්යාලෝකය පතිත වුණු විටදී වුණත් මේ මලට එහෙම අවශ්‍යතාවයක් නැහැනේ. මේක අව්වට වැස්සට තෙමෙන්නෙත් නැහැ. ඒ වේලාවේම හැදුවා පොඩි කවියක්. පස්සේ ඔෆිස් එකට ඇවිත් ලිව්වා.

පොළොවේ නොපිහිටි සුරියකන්ත         මලේ
හිරු නැතිව ද පිපි සුරියකන්ත               මලේ
වැසි වැටුණ ද නොතෙමෙන ඒ සොඳුරු මලේ
පවන නොමැත එනමුදු නැළැවේ එ       මලේ


මල් ගැනම කියලා පටන් ගත්ත නිසා ඒ වගේම තවත් අත්දැකීමක් කියන්නම්කො. මේක දැක්කේ 'ස්ටාෆ් බස්' එකේ උදේ එනකොට. නාවින්නේ මිරිහාන පාරේ පන්සලක් ඉස්සරහ නෙළුම් මල් හුඟක් පිපෙන පොකුණක් තියෙනවා. ඒත් මෙදා නම් පිපිලා තිබුණේ එකම එක මලයි. තවත් හරි අපූරු සිතුවිල්ලක් පහළ වුණා. ඒක මෙහෙමයි:

වෙහෙර ඉදිරිපිට පොකුණකි
එහි එකම             නෙළුමකි
මඩ පතුල වන්        ලොවකි
ඉන් නැගුණු           උතුමෙකි

ඔතැන උතුමා යනුවෙන් මම අදහස් කළේ නම් නික්ලේශී උත්තමයෙක්. ඒත් වෙන අර්ථකථනයක් වුණත් දෙන්න පුළුවන්.


දැන් මම කියන්නේ ගල් දෙකක් ගැන. පළවෙනි එක නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගලක්. ඒ කිව්වේ බතලේගල ගැනයි. තියෙන්නේ මාවනැල්ල පළාතේ. මම ඕක තනියම තරණය කළා. ගල මුදුනට ගියාම මට දැනුණු හැඟීමයි මේ…

හිතුවා කවදාහරි යන්නට    බතලෙගලේ
එලෙසින් ගියා මම අද        බතලෙගලේ
නැගගත් පසුව විරියෙන් මුදුනට එගලේ
මා දෙනයන අවටට ආදරය          කළේ

ගමනේ පින්තූර මෙතැනින් බලාගන්න පුළුවන්.

අනිත් ගල නම් ගලක් නෙවෙයි. මීතිරිගල කියලා පළාතක්. මම දන්න මල්ලි කෙනෙක් මීතිරිගල ආරණ්‍යයේ ගිහින් මහණ වුණා. මම ඉතින් දවසක් ඒ හාමුදුරුවෝ මුණ ගැහෙන්න ගියා. ඒ හමුවීම මට අදටත් අමතක නොවන අත්දැකීමක්. පහුවෙනිදා ඔෆිස් එකට ඇවිල්ලත් හිතුවේ ඒ ගැනමයි. ඔය අතරේ එදා අපේ අධ්‍යක්ෂකතුමා පොඩි රැස්වීමක් කැඳෙව්වා. රැස්වීමේ එක්තරා අවස්ථාවක දී හරිම කම්මැලි ගතියක් දැනුණා. මම අතේ තිබුණු සටහන් පොතේ කවි තුනක් සටහන් කළා.

සිසිලසය වන සෙනසුන
සිසිලසය සිත     නිවුණ
නිසසලය මුනි  හමුවුණ
අනලසය කල්  ගතවුණ

ඇතුළු වුණි ඒ   අරණට
මා ගිය           අරමුණට
වෙහෙස වුණු  පමණට
ලත් නිරාමිස අපමණට

මා මිතුරු            මිදුණා
සතුට මා හට     දැනුණා
නිති කෙලෙස්     තවනා
පෙනේ ඔබගේ සිඳෙනා

මේ කවි තුනට නම් ලබපු අත්දැකීමේ සාරාංශයක් කියලාවත් කියන්න බැහැ. ඒ වුණාට සම්පූර්ණ කතාව කවියකට නගන්නත් වචන මදි.


දැන් 'මූඩ් එක' වෙනස් කරන්නයි යන්නේ. දවසක් අපේ ඔෆිස් එකේ ගැහැණු ළමයෙක් අලුත් ඔසරියක් ඇඳගෙන ආවා. පුංචි කවියක් ලියවුණා.

හැඳ නව      ඔසරිය
යන මල්       කුමරිය
දැකුමෙන් තුටු   විය
නෙත සිත දෙකමය


ඒ වගේම තවත් පුංචි (නිසඳැස්) කවියක් ලියවුණේ දවසක් යාළුවෙක් එක්ක 'චැට්' කරන කොට. මොකද, කොච්චර ටයිප් කළත් එහා පැත්තේ ඉන්න කෙනාගේ මුහුණ පේන්නේ නැහැනේ. ඉතින් ඒ කෙනා තරහින් හිටියත් හිනාවෙන 'ඉමොටිකොන්' දාන්න පුළුවන්. හැඟීම් කියන දේට වෙස් මුහුණක් ලබාදෙන්නට මේ මෘදුකාංග වල අතුරු මුහුණත් සමත් වෙලා.

තොරතුරු යුගයක අද
අනවැසි වත    දකිනට
අංකිත     හුවමාරුවක
සබැඳි වේ අපි        අද


මෙලෙසින් ලියවුණු කවි හා නිසඳැස් කවි බොහෝමයක් මා සතුය. සමහරක් අතිශයින් පෞද්ගලිකය. අනෙක්වා විවිධ මාතෘකා හා තත්ත්වයන් අරභයා ය. හැකිනම් පසුකලක ඒවාද පළ කරන්නෙමි.