Header Title


උදනිඳුගේ සිතුවිලි

2014/10/14

මොනරු ඇවිත්

මම දන්න කෙනෙක් ළඟදි පුදුම හිතෙන කතාවක් කිව්වා. ඒ මතුගමට කිට්ටුවත් මොනරු ඉන්නවා කියලා. සාමාන්‍යයෙන් මොනරු ඉන්නේ වියලි කලාපයේ. ඒත් දැන් ටික ටික තෙත් කලාපෙටත් ඇවිල්ලා. මීට අවුරුදු කීපයකට කලින් මම මාතර පැත්තේ මොනරු දැකලා තියෙනවා. ඒ වගේම බෙලිඅත්තෙත්. ඊට පස්සේ ගාල්ල දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල ඉන්නවා කියලා අහලා තියෙනවා. දැන් කළුතර දිස්ත්‍රික්කයේ. තව ටික කාලෙකින් කොළඹටත් ඒවි. ඉතින් පැහැදිලි බෝ වීමේ රටාවක් පේන්න තියෙනවා. මේ සත්තු මේ විදියට පැතිරෙන්න හේතුව හොයලා බලන එකත් සෑහෙන වටිනවා. මොකද අවුරුදු කීපයක් තුළ තමයි මේ ප්‍රවණතාවය ඇති වෙලා තියෙන්නේ.

දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකක්ද ප්‍රශ්නෙ කියලා. ප්‍රශ්නෙ තමයි මොනරු වගා පාළු කිරීම. ඌ සර්ව භක්ෂකයෙක්. සර්පයෝ පවා ආහාරයට ගන්නවා. ඊට අමතරව ධාන්‍ය ජාති කන්න හරි ආසයි. මේ හින්දා ගොවීන්ට වෙන හානිය වගේම පරිසරයේ සමතුලිතබවත් නැති වෙනවා. පොඩ්ඩක් අන්තර්ජාලයේ හොයලා බැලුවොත් දැනගන්න ලැබේවි මොනරු නිසා ඉන්දියාව, පකිස්තානය වගේ රටවල වගා බිම් අතහැරලා දාන්න පවා සිද්ධ වුණ බව. ඒ නිසා කවදාහරි ‍”මොනර උවදුරක්” ගැන කතා කරන්න සිද්ධ වෙන්න කලින් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත්.