Header Title


උදනිඳුගේ සිතුවිලි

2013/11/14

ෆුල්-ෆේස් හෙල්මට් තහනම

මීට සතියකට පෙර පොලිස් මූලස්ථානය මඟින් නිකුත් කළ නිවේදනයකින් කියැවුණේ මුහුණ සම්පූර්ණයෙන්  ආවරණය කරන ලද (full face) සහ ඉදිරිපස ආවරණය (visor) කළු පැහැ ගැන්වූ හෙල්මට් පැළඳීම තහනම් බවයි. මෙය අලුත් නීතියක් නොවන අතර 1981 අංක 21 දරන මෝටර් වාහන (සංශෝධන) පනතේ 158 (2) හා 237 වගන්ති යටතේ 1991.01.11 දිනැති අංක 644/26 දරන අති විශේෂ ගැසට් පත‍්‍රයේ මෙම රෙගුලාසි සඳහන් වේ. එනම් මීට වසර 22 කට පෙර පනවන ලද්දකි. රටේ නීතිය අනුව ක්‍රියාකිරීම සෑම පුරවැසියෙකුගේ ම වගකීමක් වන අතර කාලෝචිත මෙන්ම ප්‍රායෝගික නීති පැනවීම (හෝ සංශෝධනය කිරීම) අදාළ බලධාරීන්ගේ යුතුකමකි.

විශේෂයෙන්ම සමාජය තුළ මේ සම්බන්ධව දැඩි කතාබහක් මෙන්ම විරෝධයක් මතු වී තිබෙන්නේ “full face” හෙල්මට් භාවිතා කිරීමට නොහැකි වන නිසාය. කළු පැහැ ගැන්වූ ආවරණ නිසා ඇතිවිය හැකි ආරක්ෂක ප්‍රශ්න (වෙනත් වාහනවලට ද අදාළ වේ) පිළිබඳව බොහෝ දෙනා එකඟ වන නමුදු සම්පුර්ණ මුහුණු ආවරණය තහනම් වීම සම්බන්ධ තත්ත්වය එසේ නොවේ. එයට හේතුව එමඟින් ධාවකයාට උදාකර දෙන අනාරක්ෂිත තත්වයයි. මීට දශක දෙකකට පෙර මෙම රෙගුලාසි පැනවූයේ එවකට පැවැති වාතාවරණය අනුව ය. නමුත් අද ලංකාවේ මහාමාර්ග ඉතා අනාරක්ෂිත ය. දිනකට සිදුවන රථවාහන හදිසි අනතුරු සංඛ්‍යාව ඊට කදිම නිදසුනකි. මෙහිදී ‍ෆුල් ෆේස් හෙල්මට් නිසා ජිවිතය මෙන්ම තමන්ගේ මුහුණ ද බේරා ගත් පිරිස බොහෝ ය. මම ද එවැන්නෙක්මි.

මා සතුව දෙවර්ගයේ ම හෙල්මට් තිබුණ ද බොහෝ විට ‍ෆුල් ෆේස් ආකාරය පළඳිමි. ඊට හේතුව එයින් ලැබෙන ආරාක්ෂාකාරී හැඟීමයි. එම හැඟීම යථාර්ථයක් බවට පත්වූයේ පිළියන්දලට නුදුරු ප්‍රදේශයක දී හදිසි අනතුරකට මුහුණ දුන් දිනයේ ය. තවත් යතුරු පැදියක් හා ගැටීමෙන් පසු මම මහපාරේ ඇද වැටුණේ මුහුණ බිම ඇනෙන පරිදි ය. එපමණක් නොවේ, එලෙසින් ම හෙල්මටය පාරේ ඇතිල්ලී ද ගියේය. යතුරුපැදිය තිබුණේ මගේ ඇඟ උඩ ය. අනතුරින් මාගේ අතකට සුළු තුවාල ද කකුලකට බරපතල තුවාල ද සිදුවිය. එහෙත් ‍ෆුල් ෆේස් හෙල්මටයට පින් සිදුවන්නට මගේ මුහුණ ‍බේරුණි. මා එදා සාමාන්‍ය හිස් ආවරණයක් පැලඳ සිටියේ නම් හඳුනාගත නොහැකි සේ මුහුණ විකෘති වනු නිසැක ය. වයිසරය පමණක් සහිත හෙල්මටයක් පැලඳ සිටියේ නම් වයිසරයට කැපී බරපතල තුවාල සිදුවන්නේ ය. මෙවන් අත්දැකීමකට මුහුණ පෑ එකම පුද්ගලයා මා නොවේ.

මෙහි තවත් පැතිකඩක් වනුයේ අලුතින් හෙල්මටයක් මිලදී ගැනීම සහ ගෙන් වූ හෙල්මට් විකුණා ගැනීමේ ප්‍රශ්නයයි. සාමාන්‍යයෙන් හොඳ ප්‍රමිතියේ ‍ෆුල් ෆේස් නොවන හිස් ආවරණයක් ද රු 2000 ක් වත් මිල වේ. එක්වරම මෙවැනි මුදලක් වියදම් කිරීම බොහෝ දෙනාට අසීරු කරුණකි. මන්ද, යතුරුපැදිය යනු සාමාන්‍ය (මධ්‍යම පාන්තික) ජනතාවගේ ප්‍රවාහන මාධ්‍යයක් බැවිනි. සුළු පරිමාණ ව්‍යාපාරයක් වශයෙන් හෙල්මට් සහ යතුරුපැදි ආශ්‍රිත උපාංග අලෙවි හා නිෂ්පාදනය කරන්නන් ද අර්බුදයක ට මුහුණ පා ඇත. මා සමඟ අදහස් දැක්වූ එක් ව්‍යාපාරිකයෙකු පවසා සිටියේ ඔහු විසින් ගෙන්වූ රුපියල් ලක්ෂයකට අධික ‍ෆුල් ෆේස් හෙල්මට් විකුණාගැනීම දැන් ප්‍රශ්නයක් වන බව ය.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට එක් හේතුවක් වශයෙන් පොලීසිය සඳහන් කර තිබුණේ යම් යම් අපරාධ සිදුකරන පුද්ගලයින් මෙවැනි හිස් ආවරණවල පිහිටෙන් පලායන බවයි. නමුත් සාමාන්‍ය ජනතාවගේ හැඟීම වන්නේ, ‍ෆුල් ෆේස් වේවා නොවේවා අපරාධකරුවන් අල්ලා ගැනීමට පොලීසිය දක්ෂ විය යුතු බවය. එමෙන්ම ‍ෆුල් ෆේස් නොවන හෙල්මටයක් පැලඳ සිටිය ද, ධාවනය වන යතුරුපැදියක පුද්ගලයෙකු එකවරම හඳුනා ගැනීම අපහසු මෙන්ම ප්‍රායෝගික නොවන කාර්යයක් බව අපගේ හැඟීම වේ. ‍ෆුල් ෆේස් නොවන හෙල්මටයක් පැලඳ සිටියත් අව්කණ්ණාඩි හෝ ලේන්සුවක් වැනි දෙයක් පැලඳීමෙන් අඳුනා ගැනීමට නොහැකි වන සේ පලායාමට අපරාධකාරයෙකුට හැකි බවද ඕනෑම අයෙකුට වැටහෙන කරුණකි. මෙම පදනම අනුව එවැනි දෑ පැලඳීම ද තහනම් කළ යුතුය.

එනිසා මහජන මතය ද වීමසීමෙන් අනතුරුව, ජනතාවට තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීමටත්, පොලීසියට තමන්ගේ රාජකාරිය කරගැනීමටත් හැකි වන පරිදි නීති සංශෝධනය කළ හැකි නම් වඩා සුදුසු ය.


අනතුරකින් හානියට පත් හෙල්මටයක්:-














පින්තූර:
http://commons.wikimedia.org/wiki/File:White_full-face-helmet.jpg
http://commons.wikimedia.org/wiki/File:Swisherhelmet1.jpg