Header Title


උදනිඳුගේ සිතුවිලි

2013/10/31

පාසල් ළමුන් සමාජ මාධ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැදගත්කම

“සමාජ මාධ්‍ය” යනු මේ දිනවල නිතර අසන්නට ලැබෙන නිතර කතාබහට ලක්‍වන දෙවදනකි. ඒ කෙතරම් ද යත්, රටේ මුල් පුරවැසියාට ද පසුගිය දිනවල දී මේ සම්බන්ධව කතාකරන්නට සිදුවිය. ඔහු එහිදී සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව සඳහන් කළේය. වැඩිහිටියන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් දිය නොහැකි වුව ද, එම කාණ්ඩයට අයිති නොවන ළමා පරපුර ගැන වැඩි වගකීමකින් කටයුතු කිරීමත්, ඔවුන්ට අවැසි උපදෙස් ලබාදීමත් අත්‍යවශ්‍ය වේ.

වඩාත් ම කතාබහට ලක්වන ෆේස්බුක් (Facebook) සමාජ ජාලයට එක්වීමට වයස අවුරුදු 13 ට වැඩි ඕනෑම අයෙකුට හැකියාව තිබේ (දකුණු කොරියාවේ හෝ ස්පාඤ්ඤයේ නම් වයස අවුරුදු 14 ක් විය යුතුය). නමුත් ප්‍රශ්න ඇතිවන්නේ පිහියක් අවභාවිතා කරන්නා සේ මෙය භාවිතා කරන පිරිස් සහ ‘නිසි’ පරිදි තම සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කිරීමට නොදන්නා පිරිස් නිසා ය. අවභාවිතා කරන අයවලුන් සම්බන්ධයෙන් රටේ පවත්නා නීතිය අනුව ක්‍රියා කළ යුතුය. නැතහොත් දියුණු රටවල පවත්නා නීති අපටත් පනවා ගත යුතුය. එහෙත් නිසි පරිදි සමාජ මාධ්‍ය භාවිතා කිරීම යනු අත්දැකීම් හෝ දැනුවත්කමින් හෝ සාමාන්‍ය බුද්ධිය මෙහෙයවා ලැබිය යුතු දැනුමකි.

බොහෝ විට පාසල් යන වයසේ දරුවන්ට මෙම දැනුම නොලැබේ. එමනිසා මේ තුළින් ඔවුන්ට පැමිණිය හැකි ගැටලු හා අභියෝග පිළිබඳව ද නොදනී. මේ නිසා පාසල් දරුවන්ට සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳවත්, එහි තිබිය හැකි අවදානම් සහගත තත්ත්වයන් වළක්වාගැනීමට අනුගමනය කළ හැකි පියවර පිළිබඳවත් දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයකි.

මෙම කරුණු පාසලේ දී ඉගැන්වීමට පියවර ගත යුතුය. ශරීර සෞඛ්‍යය රැකගැනීම, ප්‍රථමාධාර ලබාදීම, ඩෙංගු වලින් ආරක්ෂාවීම ආදී දෑ පිළිබඳව උගන්වන්නා සේ ම මේ සම්බන්ධයෙන් ද අධ්‍යාපනයක් ලබාදිය යුතුය. විශේෂයෙන්ම ප්‍රසිද්ධ සමාජ ජාලවල පවත්නා පෞද්ගලිකත්ව යෙදුම් (privacy settings) ආදිය පිළිබඳව කියා දීමත්, තමන්ට අන්තර්ජාලය භාවිතයේ දී යම් කරදරකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවුණි නම් ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් දැනුවත් කළ යුතුය. මීට සමගාමීව දෙමව්පියන් ද දැනුවත් කරන වැඩසටහන් පැවැත්විය හැකි නම් ඉතා වටිනේ ය. මන්ද, මෙය කාලීන මෙන්ම සමාජීය වශයෙන් ද වැදගත්කමක් ඇති කරුණක් බැවිනි.