Header Title


උදනිඳුගේ සිතුවිලි

2013/02/22

'පුරාවිද්‍යාවේ' අවධානය පිණිසයි

රටක ජාතියක උරුමය, අතීත ප්‍රෞඩත්වය, ලොවට කියාපාන්නේ පුරාවස්තූන්ගෙනි. පෙන්වන්නට එවන් දෑ නොමැති කෙටි ඉතිහාසයක් සහිත ඇමෙරිකාව වැනි රටකත්, ලංකාව වැනි රටකත්, වෙනස එයයි. එනමුදු ඒ අතීතයෙන් ලද දායාදයන් හි වටිනාකම අප කොතරම් දුරට අවබෝධ කරගෙන සිටීන්නේ ද යන්න ගැටලුවකි. ඇමෙරිකාවේ හෝ යුරෝපාකරයේ රටකට එවන් සම්පත් තිබුණා නම් ඔවුන් ඒවා දිවි දෙවෙනිකොට සුරකිනු නිසැක ය. එහෙත් අපට ඒවා ‘නිතර දකින කුකුලාගේ කරමලය’ සේ වී ඇත්දැයි වරෙක සිතේ.

අපේ රටේ පුරාවස්තූන් හා බුදු සමය අතර ඇත්තේ ඉතා සමීප සබඳතාවකි. ඒ බව මේ රටේ ඉතිහාසය නිවැරදිව උගත් ඕනෑම කෙනෙක් දනී. නමුත්, මෙකල පුරාවස්තූන් ආරක්ෂා කිරීම සහ ‍බෞද්ධ  සිද්ධස්ථාන රැකගැනීම ගැටලු සහගත තත්වයක් බවට පත්වන අවස්ථා නිතර දකින්නට ලැබේ. මා ලද එක් පුද්ගලික අත්දැකීමක් පහත සඳහන් කරමි.

ගල්ගමුව ප්‍රදේශයේ එක්තරා දුෂ්කර ගම්මානයක වනයට ගිලගත් කුඩා ආරණ්‍යයක් විය. මෙහි බ්‍රාහ්මී අක්ෂර කෙටූ විශාල ගල් කුටියක් ද වේ. අලි ඇතුන් නිතර ගැවසුණ ප්‍රදේශයකි. වල් බිහි වී තිබුණු නිසා මේ භූමිය වන සතුන්ගේ හා නිධන් හොරුන්ගේ ග්‍රහණයට නිතර ලක්වුණි. සමහර නිධන් හොරු එහි පැමිණ ඇත්තේ සිවුරු ද දරාගෙන ය. කෙසේ වෙතත්, මා දන්නා සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් මීට අවුරුදු කිහිපයකට පෙර එතැනට වැඩම කර, මහත් පරිශ්‍රමයක් දරා ඒ ස්ථානය එළි පෙහෙළි කර අවම පහසුකම් සහිතව ආරණ්‍ය සේනාසනය යළි පිහිටුවන ලදී. එතෙක් ආගමික සිද්ධස්ථානයක් නොතිබූ ගම්වැසියන්ගේ නොමද උපකාරයද උන්වහන්සේට ලැබුණි. මේ අතර ටික කලකට පසු උන්වහන්සේට ආරණ්‍යයෙහි කුඩා කුටියක් සැදවීමට අවශ්‍ය විය. එහෙත් එතැනදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරස් විය. ඒ, එම භූමියේ කුමන හෝ ඉදිකිරීමක් සිදුකිරීමට නම් ‘පුරාවිද්‍යාවේ’ අවසරය අවශ්‍ය වූ බැවිනි. මෙපමණ කාලයකට එම ස්ථානය තිබේදැයි ද කියාවත් නොසෙවූ නිලධාරීන්ට ඒ ගැන සොයා බැලීමට සිතුණේ ද එවිටයි. කෙසේ හෝ සෑහෙන කාලයක් ඉක්ම යෑමෙන් පසු එම එදිකිරීම කරගෙන යෑමට උන්වහන්සේට අවසර ලැබුණි. අද ඒ ස්ථානය සිත් පහන් කරවන කුඩා අරණකි. එහි පුරාවිද්‍යා වටිනාකමක් ඇති වස්තූන්ට අබමල් රේණුවකවත් හානියක් සිදු වී නැත. ඒවායේ සුරක්ෂිතතාව ආරණ්‍යය නිසා තහවුරු වී ඇත. උරුමය ද, සමය ද, දෙකම රැකුණා සේය.

නමුත් සමහර ස්ථානවල තත්ත්වය මෙසේ නොවේ. ලංකාවේ බොහෝ ඓතිහාසික වැදගත්කමක් ඇති ගල්ලෙන් වැනි ස්ථාන පවා ආරක්ෂා වූයේ කුඩාවට හෝ විහාරස්ථානයක් පැවති නිසාය (උදා: බෙලිලෙන, බටදොඹලෙන). නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පැමිණ කැණීමක් කර යම් කිසි සාධකයක් සොයාගත් විට කරනුයේ පන්සල වසා දමා භික්ෂූන් වහන්සේ ද එයින් පිටමං කිරීමට කටයුතු සැලැස්වීමයි. එයින් එම පුරාවස්තු දැඩි අනාරක්ෂිතභාවයට පත් වේ. ‘පුරාවිද්‍යාවට’ ඒ සෑම ස්ථානයක්ම ආරක්ෂා කිරීමට සෑහෙන සේවක පිරිසක් ද නොවේ. ඒ බව මෑතකදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාම තහවුරු කළේ මුළු නැගෙනහිර පළාතේ ම පුරාවිද්‍යා කාර්යයන් සඳහා යෙදවීමට ඇත්තේ නිලධාරීන් අතළොස්සක් බව පවසමිනි. එය බරපතලම තත්ත්වයක් වන්නේ නැගෙනහිර පළාත යනු ශ්‍රී ලංකාවේ පුරාවස්තු හා පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථාන බහුලවම ඇති පළාතක් බැවිනි. නිවැරදි සංගණනයක් හා අලුතින් කැණීම් සිදුකළහොත්, එවන් ස්ථාන වැඩි වශයෙන්ම ඇති පළාත වන්නට ද බැරි නැත.

කළ යුත්තේ පුරාවිද්‍යා නිලධාරීන් තව තවත් බඳවා ගැනීමය. නැතහොත් ආගමික ස්ථාන හා සබැඳි පුරාවිද්‍යා ස්ථාන, ඒවායේ භාරකාරත්වයට යටත් කිරීමය. එයින් රටේ උරුමය ද, බුදු සසුන ද, යන දෙකම රැකේ. එසේ නොවුණහොත් සිදුවන්නේ ජාතියේ උරුමය පිළිබඳ කිසිම හැඟීමක් නැතියවුන් මේවා විනාශ කිරීම හෝ විකෘති කිරීම ය (උදා: දීඝවාපි, කූරගල). එසේත් නැතිනම් කිසිදාක අනාවරණය කරගත නොහැකි සේ උරුමය යටපත් වී වල් බිහි වීමය.