Header Title


උදනිඳුගේ සිතුවිලි

2013/11/14

ෆුල්-ෆේස් හෙල්මට් තහනම

මීට සතියකට පෙර පොලිස් මූලස්ථානය මඟින් නිකුත් කළ නිවේදනයකින් කියැවුණේ මුහුණ සම්පූර්ණයෙන්  ආවරණය කරන ලද (full face) සහ ඉදිරිපස ආවරණය (visor) කළු පැහැ ගැන්වූ හෙල්මට් පැළඳීම තහනම් බවයි. මෙය අලුත් නීතියක් නොවන අතර 1981 අංක 21 දරන මෝටර් වාහන (සංශෝධන) පනතේ 158 (2) හා 237 වගන්ති යටතේ 1991.01.11 දිනැති අංක 644/26 දරන අති විශේෂ ගැසට් පත‍්‍රයේ මෙම රෙගුලාසි සඳහන් වේ. එනම් මීට වසර 22 කට පෙර පනවන ලද්දකි. රටේ නීතිය අනුව ක්‍රියාකිරීම සෑම පුරවැසියෙකුගේ ම වගකීමක් වන අතර කාලෝචිත මෙන්ම ප්‍රායෝගික නීති පැනවීම (හෝ සංශෝධනය කිරීම) අදාළ බලධාරීන්ගේ යුතුකමකි.

විශේෂයෙන්ම සමාජය තුළ මේ සම්බන්ධව දැඩි කතාබහක් මෙන්ම විරෝධයක් මතු වී තිබෙන්නේ “full face” හෙල්මට් භාවිතා කිරීමට නොහැකි වන නිසාය. කළු පැහැ ගැන්වූ ආවරණ නිසා ඇතිවිය හැකි ආරක්ෂක ප්‍රශ්න (වෙනත් වාහනවලට ද අදාළ වේ) පිළිබඳව බොහෝ දෙනා එකඟ වන නමුදු සම්පුර්ණ මුහුණු ආවරණය තහනම් වීම සම්බන්ධ තත්ත්වය එසේ නොවේ. එයට හේතුව එමඟින් ධාවකයාට උදාකර දෙන අනාරක්ෂිත තත්වයයි. මීට දශක දෙකකට පෙර මෙම රෙගුලාසි පැනවූයේ එවකට පැවැති වාතාවරණය අනුව ය. නමුත් අද ලංකාවේ මහාමාර්ග ඉතා අනාරක්ෂිත ය. දිනකට සිදුවන රථවාහන හදිසි අනතුරු සංඛ්‍යාව ඊට කදිම නිදසුනකි. මෙහිදී ‍ෆුල් ෆේස් හෙල්මට් නිසා ජිවිතය මෙන්ම තමන්ගේ මුහුණ ද බේරා ගත් පිරිස බොහෝ ය. මම ද එවැන්නෙක්මි.

මා සතුව දෙවර්ගයේ ම හෙල්මට් තිබුණ ද බොහෝ විට ‍ෆුල් ෆේස් ආකාරය පළඳිමි. ඊට හේතුව එයින් ලැබෙන ආරාක්ෂාකාරී හැඟීමයි. එම හැඟීම යථාර්ථයක් බවට පත්වූයේ පිළියන්දලට නුදුරු ප්‍රදේශයක දී හදිසි අනතුරකට මුහුණ දුන් දිනයේ ය. තවත් යතුරු පැදියක් හා ගැටීමෙන් පසු මම මහපාරේ ඇද වැටුණේ මුහුණ බිම ඇනෙන පරිදි ය. එපමණක් නොවේ, එලෙසින් ම හෙල්මටය පාරේ ඇතිල්ලී ද ගියේය. යතුරුපැදිය තිබුණේ මගේ ඇඟ උඩ ය. අනතුරින් මාගේ අතකට සුළු තුවාල ද කකුලකට බරපතල තුවාල ද සිදුවිය. එහෙත් ‍ෆුල් ෆේස් හෙල්මටයට පින් සිදුවන්නට මගේ මුහුණ ‍බේරුණි. මා එදා සාමාන්‍ය හිස් ආවරණයක් පැලඳ සිටියේ නම් හඳුනාගත නොහැකි සේ මුහුණ විකෘති වනු නිසැක ය. වයිසරය පමණක් සහිත හෙල්මටයක් පැලඳ සිටියේ නම් වයිසරයට කැපී බරපතල තුවාල සිදුවන්නේ ය. මෙවන් අත්දැකීමකට මුහුණ පෑ එකම පුද්ගලයා මා නොවේ.

මෙහි තවත් පැතිකඩක් වනුයේ අලුතින් හෙල්මටයක් මිලදී ගැනීම සහ ගෙන් වූ හෙල්මට් විකුණා ගැනීමේ ප්‍රශ්නයයි. සාමාන්‍යයෙන් හොඳ ප්‍රමිතියේ ‍ෆුල් ෆේස් නොවන හිස් ආවරණයක් ද රු 2000 ක් වත් මිල වේ. එක්වරම මෙවැනි මුදලක් වියදම් කිරීම බොහෝ දෙනාට අසීරු කරුණකි. මන්ද, යතුරුපැදිය යනු සාමාන්‍ය (මධ්‍යම පාන්තික) ජනතාවගේ ප්‍රවාහන මාධ්‍යයක් බැවිනි. සුළු පරිමාණ ව්‍යාපාරයක් වශයෙන් හෙල්මට් සහ යතුරුපැදි ආශ්‍රිත උපාංග අලෙවි හා නිෂ්පාදනය කරන්නන් ද අර්බුදයක ට මුහුණ පා ඇත. මා සමඟ අදහස් දැක්වූ එක් ව්‍යාපාරිකයෙකු පවසා සිටියේ ඔහු විසින් ගෙන්වූ රුපියල් ලක්ෂයකට අධික ‍ෆුල් ෆේස් හෙල්මට් විකුණාගැනීම දැන් ප්‍රශ්නයක් වන බව ය.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට එක් හේතුවක් වශයෙන් පොලීසිය සඳහන් කර තිබුණේ යම් යම් අපරාධ සිදුකරන පුද්ගලයින් මෙවැනි හිස් ආවරණවල පිහිටෙන් පලායන බවයි. නමුත් සාමාන්‍ය ජනතාවගේ හැඟීම වන්නේ, ‍ෆුල් ෆේස් වේවා නොවේවා අපරාධකරුවන් අල්ලා ගැනීමට පොලීසිය දක්ෂ විය යුතු බවය. එමෙන්ම ‍ෆුල් ෆේස් නොවන හෙල්මටයක් පැලඳ සිටිය ද, ධාවනය වන යතුරුපැදියක පුද්ගලයෙකු එකවරම හඳුනා ගැනීම අපහසු මෙන්ම ප්‍රායෝගික නොවන කාර්යයක් බව අපගේ හැඟීම වේ. ‍ෆුල් ෆේස් නොවන හෙල්මටයක් පැලඳ සිටියත් අව්කණ්ණාඩි හෝ ලේන්සුවක් වැනි දෙයක් පැලඳීමෙන් අඳුනා ගැනීමට නොහැකි වන සේ පලායාමට අපරාධකාරයෙකුට හැකි බවද ඕනෑම අයෙකුට වැටහෙන කරුණකි. මෙම පදනම අනුව එවැනි දෑ පැලඳීම ද තහනම් කළ යුතුය.

එනිසා මහජන මතය ද වීමසීමෙන් අනතුරුව, ජනතාවට තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීමටත්, පොලීසියට තමන්ගේ රාජකාරිය කරගැනීමටත් හැකි වන පරිදි නීති සංශෝධනය කළ හැකි නම් වඩා සුදුසු ය.


අනතුරකින් හානියට පත් හෙල්මටයක්:-














පින්තූර:
http://commons.wikimedia.org/wiki/File:White_full-face-helmet.jpg
http://commons.wikimedia.org/wiki/File:Swisherhelmet1.jpg


2013/10/31

පාසල් ළමුන් සමාජ මාධ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැදගත්කම

“සමාජ මාධ්‍ය” යනු මේ දිනවල නිතර අසන්නට ලැබෙන නිතර කතාබහට ලක්‍වන දෙවදනකි. ඒ කෙතරම් ද යත්, රටේ මුල් පුරවැසියාට ද පසුගිය දිනවල දී මේ සම්බන්ධව කතාකරන්නට සිදුවිය. ඔහු එහිදී සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව සඳහන් කළේය. වැඩිහිටියන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් දිය නොහැකි වුව ද, එම කාණ්ඩයට අයිති නොවන ළමා පරපුර ගැන වැඩි වගකීමකින් කටයුතු කිරීමත්, ඔවුන්ට අවැසි උපදෙස් ලබාදීමත් අත්‍යවශ්‍ය වේ.

වඩාත් ම කතාබහට ලක්වන ෆේස්බුක් (Facebook) සමාජ ජාලයට එක්වීමට වයස අවුරුදු 13 ට වැඩි ඕනෑම අයෙකුට හැකියාව තිබේ (දකුණු කොරියාවේ හෝ ස්පාඤ්ඤයේ නම් වයස අවුරුදු 14 ක් විය යුතුය). නමුත් ප්‍රශ්න ඇතිවන්නේ පිහියක් අවභාවිතා කරන්නා සේ මෙය භාවිතා කරන පිරිස් සහ ‘නිසි’ පරිදි තම සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කිරීමට නොදන්නා පිරිස් නිසා ය. අවභාවිතා කරන අයවලුන් සම්බන්ධයෙන් රටේ පවත්නා නීතිය අනුව ක්‍රියා කළ යුතුය. නැතහොත් දියුණු රටවල පවත්නා නීති අපටත් පනවා ගත යුතුය. එහෙත් නිසි පරිදි සමාජ මාධ්‍ය භාවිතා කිරීම යනු අත්දැකීම් හෝ දැනුවත්කමින් හෝ සාමාන්‍ය බුද්ධිය මෙහෙයවා ලැබිය යුතු දැනුමකි.

බොහෝ විට පාසල් යන වයසේ දරුවන්ට මෙම දැනුම නොලැබේ. එමනිසා මේ තුළින් ඔවුන්ට පැමිණිය හැකි ගැටලු හා අභියෝග පිළිබඳව ද නොදනී. මේ නිසා පාසල් දරුවන්ට සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳවත්, එහි තිබිය හැකි අවදානම් සහගත තත්ත්වයන් වළක්වාගැනීමට අනුගමනය කළ හැකි පියවර පිළිබඳවත් දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයකි.

මෙම කරුණු පාසලේ දී ඉගැන්වීමට පියවර ගත යුතුය. ශරීර සෞඛ්‍යය රැකගැනීම, ප්‍රථමාධාර ලබාදීම, ඩෙංගු වලින් ආරක්ෂාවීම ආදී දෑ පිළිබඳව උගන්වන්නා සේ ම මේ සම්බන්ධයෙන් ද අධ්‍යාපනයක් ලබාදිය යුතුය. විශේෂයෙන්ම ප්‍රසිද්ධ සමාජ ජාලවල පවත්නා පෞද්ගලිකත්ව යෙදුම් (privacy settings) ආදිය පිළිබඳව කියා දීමත්, තමන්ට අන්තර්ජාලය භාවිතයේ දී යම් කරදරකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවුණි නම් ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් දැනුවත් කළ යුතුය. මීට සමගාමීව දෙමව්පියන් ද දැනුවත් කරන වැඩසටහන් පැවැත්විය හැකි නම් ඉතා වටිනේ ය. මන්ද, මෙය කාලීන මෙන්ම සමාජීය වශයෙන් ද වැදගත්කමක් ඇති කරුණක් බැවිනි.

2013/08/05

ඩෙංගු මැඩීමට කාවයියා ත්

මේ දිනවල නිතරම අසන්නට ලැබෙන මාතෘකාවකි ‘ඩෙංගු’. වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය බෝවීම වැඩිවන බවයි ඒ සම්බන්ධව කටයුතු කරන අංශ පවසන්නේ. එමනිසා ඩෙංගු මර්දන වැඩසටහන් ද නිතරම බොහෝ ප්‍රදේශවල දක්නට ලැබේ. මෙවැනි වැඩසටහන් තුළ දී වඩාත් අවධානයට ලක්වන්නේ ජලය එකතුවන කුඩා ස්ථාන (උදා: පොල් කටු, යෝගට් කෝප්ප ආදිය) පිළිබඳවයි. නමුත් ඒ හා සමානව අවධානය යොමු විය යුතු පිරිසිදු ජලය එක්රැස් වුණු තරමක් විශාල ජලජ පරිසර කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු නොවේ. ඒවා නම් ළිං පොකුණු ආදිය යි. මේවා වසා දමන්නටවත් මදුරු කීට නාශක රසායන යෙදීමටවත් නොහැකි ය. එසේ නම් හොඳම විසඳුම ජෛව පාලන ක්‍රමයක් වන අතර, සුදුසුම ජෛව පාලන ක්‍රමය මිරිදිය මසුන් ය.

කුඩා පොකුණක හෝ ළිඳක එක් මත්ස්‍යයෙක් හෝ දෙදෙනෙක් සිටීම වුවද ප්‍රමාණවත් ය. පොකුණේ මසුන් කුරුල්ලන්ගෙන් හෝ වෙනත් සතුන්ගෙන් ආරක්ෂා කිරීමට (ආවරණයක් වැනි) උපක්‍රමයක් යෙදීම ඔබ සතු කාර්යයකි. බොහෝ විට මෙවන් පරිසර සඳහා ගප්පි, ප්ලේටි වැනි මාළු වර්ග එක් කරන්නේ මේ හේතුවෙනි. නමුත් එම මත්ස්‍ය වර්ගවලටත් වඩා සුදුසු විශේෂයක් ලෙස කාවයියා (Anabas testudineus) යෝජනා කරමි. ඒ හේතු කිහිපයක් නිසාය.

සාමාන්‍යයෙන් කාවයියා හඳුන්වනු ලබන්නේ ‘පණ හයිය’ මත්ස්‍යයෙකු වශයෙනි. ඊට හේතු වී ඇත්තේ ඌ සතුව ඇති වායුගෝලයෙන් වාතය ලබාගත හැකි labyrinth organ නම් අවයවය යි. මේ නිසා තරමක් අපිරිසිදු ජලයේ පවා ජීවත් විමේ හැකියාව කාවයියාට ඇත. එමෙන්ම ලංකාව පුරා ඕනෑම පරිසරයක (ඉහළම කඳුකරය හැරෙන්නට) මේ මත්ස්‍යයාට ජීවත් විය හැකි අතර, ස්වාභාවික පරිසරයෙන් සොයාගැනීම ද පහසු වේ. සමහර මින්මැදුරු වලින් මේ මාළුවා ලබාගත හැකි මුත්, මිරිදිය ධීවරයෙක්ගෙන් හෝ ස්වභාවික පරිසරයෙන් ද සොයාගැනීම අපහසු නොවේ. කාවයියා සර්ව භක්ෂකයෙක් වන අතර මදුරු කීටයින් ආහාරයට ගැනීමට රුචිකත්වයක් දක්වයි. නමුත් ඉතා විශාලව වැඩුණු මසෙකුට වඩා කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ මත්ස්‍යයෙකු වඩා යෝග්‍ය වේ. ඔබගේ ළිඳට හෝ පොකුණට මේ වර්ගයේ එක් මත්ස්‍යයෙක් සිටීම ද ප්‍රමාණවත් ය.

උස්, වට ආවරණයක් නොමැති පොකුණක් නම් සැලකිලිමත් විය යුතු කරුණක් ඇත. එනම්, වැසි කාලයේ දී හෝ තෙතමනය සහිත වටාපිටාවක් හෝ ඇත්නම් කාවයියා පොකුණෙන් එළියට පැන ගමන් කිරීමට ඉඩ තිබේ. මෙවැනි ස්ථානයන් හි කාවයියාට ළඟ නෑකමක් දක්වන ගුරාමීන්, පුළුට්ටන් වැනි මසුන් ඇති කිරීම ද සුදුසු වේ.


පින්තූරය: http://en.wikipedia.org/wiki/Anabas_testudineus

2013/02/22

'පුරාවිද්‍යාවේ' අවධානය පිණිසයි

රටක ජාතියක උරුමය, අතීත ප්‍රෞඩත්වය, ලොවට කියාපාන්නේ පුරාවස්තූන්ගෙනි. පෙන්වන්නට එවන් දෑ නොමැති කෙටි ඉතිහාසයක් සහිත ඇමෙරිකාව වැනි රටකත්, ලංකාව වැනි රටකත්, වෙනස එයයි. එනමුදු ඒ අතීතයෙන් ලද දායාදයන් හි වටිනාකම අප කොතරම් දුරට අවබෝධ කරගෙන සිටීන්නේ ද යන්න ගැටලුවකි. ඇමෙරිකාවේ හෝ යුරෝපාකරයේ රටකට එවන් සම්පත් තිබුණා නම් ඔවුන් ඒවා දිවි දෙවෙනිකොට සුරකිනු නිසැක ය. එහෙත් අපට ඒවා ‘නිතර දකින කුකුලාගේ කරමලය’ සේ වී ඇත්දැයි වරෙක සිතේ.

අපේ රටේ පුරාවස්තූන් හා බුදු සමය අතර ඇත්තේ ඉතා සමීප සබඳතාවකි. ඒ බව මේ රටේ ඉතිහාසය නිවැරදිව උගත් ඕනෑම කෙනෙක් දනී. නමුත්, මෙකල පුරාවස්තූන් ආරක්ෂා කිරීම සහ ‍බෞද්ධ  සිද්ධස්ථාන රැකගැනීම ගැටලු සහගත තත්වයක් බවට පත්වන අවස්ථා නිතර දකින්නට ලැබේ. මා ලද එක් පුද්ගලික අත්දැකීමක් පහත සඳහන් කරමි.

ගල්ගමුව ප්‍රදේශයේ එක්තරා දුෂ්කර ගම්මානයක වනයට ගිලගත් කුඩා ආරණ්‍යයක් විය. මෙහි බ්‍රාහ්මී අක්ෂර කෙටූ විශාල ගල් කුටියක් ද වේ. අලි ඇතුන් නිතර ගැවසුණ ප්‍රදේශයකි. වල් බිහි වී තිබුණු නිසා මේ භූමිය වන සතුන්ගේ හා නිධන් හොරුන්ගේ ග්‍රහණයට නිතර ලක්වුණි. සමහර නිධන් හොරු එහි පැමිණ ඇත්තේ සිවුරු ද දරාගෙන ය. කෙසේ වෙතත්, මා දන්නා සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් මීට අවුරුදු කිහිපයකට පෙර එතැනට වැඩම කර, මහත් පරිශ්‍රමයක් දරා ඒ ස්ථානය එළි පෙහෙළි කර අවම පහසුකම් සහිතව ආරණ්‍ය සේනාසනය යළි පිහිටුවන ලදී. එතෙක් ආගමික සිද්ධස්ථානයක් නොතිබූ ගම්වැසියන්ගේ නොමද උපකාරයද උන්වහන්සේට ලැබුණි. මේ අතර ටික කලකට පසු උන්වහන්සේට ආරණ්‍යයෙහි කුඩා කුටියක් සැදවීමට අවශ්‍ය විය. එහෙත් එතැනදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරස් විය. ඒ, එම භූමියේ කුමන හෝ ඉදිකිරීමක් සිදුකිරීමට නම් ‘පුරාවිද්‍යාවේ’ අවසරය අවශ්‍ය වූ බැවිනි. මෙපමණ කාලයකට එම ස්ථානය තිබේදැයි ද කියාවත් නොසෙවූ නිලධාරීන්ට ඒ ගැන සොයා බැලීමට සිතුණේ ද එවිටයි. කෙසේ හෝ සෑහෙන කාලයක් ඉක්ම යෑමෙන් පසු එම එදිකිරීම කරගෙන යෑමට උන්වහන්සේට අවසර ලැබුණි. අද ඒ ස්ථානය සිත් පහන් කරවන කුඩා අරණකි. එහි පුරාවිද්‍යා වටිනාකමක් ඇති වස්තූන්ට අබමල් රේණුවකවත් හානියක් සිදු වී නැත. ඒවායේ සුරක්ෂිතතාව ආරණ්‍යය නිසා තහවුරු වී ඇත. උරුමය ද, සමය ද, දෙකම රැකුණා සේය.

නමුත් සමහර ස්ථානවල තත්ත්වය මෙසේ නොවේ. ලංකාවේ බොහෝ ඓතිහාසික වැදගත්කමක් ඇති ගල්ලෙන් වැනි ස්ථාන පවා ආරක්ෂා වූයේ කුඩාවට හෝ විහාරස්ථානයක් පැවති නිසාය (උදා: බෙලිලෙන, බටදොඹලෙන). නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පැමිණ කැණීමක් කර යම් කිසි සාධකයක් සොයාගත් විට කරනුයේ පන්සල වසා දමා භික්ෂූන් වහන්සේ ද එයින් පිටමං කිරීමට කටයුතු සැලැස්වීමයි. එයින් එම පුරාවස්තු දැඩි අනාරක්ෂිතභාවයට පත් වේ. ‘පුරාවිද්‍යාවට’ ඒ සෑම ස්ථානයක්ම ආරක්ෂා කිරීමට සෑහෙන සේවක පිරිසක් ද නොවේ. ඒ බව මෑතකදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාම තහවුරු කළේ මුළු නැගෙනහිර පළාතේ ම පුරාවිද්‍යා කාර්යයන් සඳහා යෙදවීමට ඇත්තේ නිලධාරීන් අතළොස්සක් බව පවසමිනි. එය බරපතලම තත්ත්වයක් වන්නේ නැගෙනහිර පළාත යනු ශ්‍රී ලංකාවේ පුරාවස්තු හා පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථාන බහුලවම ඇති පළාතක් බැවිනි. නිවැරදි සංගණනයක් හා අලුතින් කැණීම් සිදුකළහොත්, එවන් ස්ථාන වැඩි වශයෙන්ම ඇති පළාත වන්නට ද බැරි නැත.

කළ යුත්තේ පුරාවිද්‍යා නිලධාරීන් තව තවත් බඳවා ගැනීමය. නැතහොත් ආගමික ස්ථාන හා සබැඳි පුරාවිද්‍යා ස්ථාන, ඒවායේ භාරකාරත්වයට යටත් කිරීමය. එයින් රටේ උරුමය ද, බුදු සසුන ද, යන දෙකම රැකේ. එසේ නොවුණහොත් සිදුවන්නේ ජාතියේ උරුමය පිළිබඳ කිසිම හැඟීමක් නැතියවුන් මේවා විනාශ කිරීම හෝ විකෘති කිරීම ය (උදා: දීඝවාපි, කූරගල). එසේත් නැතිනම් කිසිදාක අනාවරණය කරගත නොහැකි සේ උරුමය යටපත් වී වල් බිහි වීමය.