Header Title


උදනිඳුගේ සිතුවිලි

2012/07/31

පොත් සෙවුම

සිංහල අක්ෂර පරිණාමය පිළිබඳව සොයන්නෙකුට මහෝපකාරී වන කෘතියක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවාර්ජිත මහැදුරු පී. ඊ. ඊ. ප්‍රනාන්දු මහතා විසින් රචනා කොට ඇත. ඉංග්‍රීසියෙන් 'Origin and Development of The Sinhalese Script' නම් වන එකී කෘතිය මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා විසින් සිංහලට පරිවර්තනය කොට තිබේ.

මෑතකදී එම කෘතිය මිල දී ගැනීමට මට අවශ්‍ය විය. එය අවසන් වරට පළ කළේ ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයෙන් නිසා, ඉසුරුපාය ඇමතීමි. ඉතා වෙහෙස වී එහි නිලධාරිණියක් සම්බන්ධ කර ගැනීමෙන් පසු අදාල ග්‍රන්ථය පිළිබඳව විමසීමි.

"මේ පොත අපි ළඟ නැහැ. ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය දැන් විසුරුවා හැරලනේ. ඉතිරි වුණ පොත් ඔක්කොම දුෂ්කර පළාත්වල ඉස්කෝල වලට බෙදලා දුන්නා."

"ඕනෙ නම් අපේ බුක් ෂොප් එකේ බලන්න. හැබැයි එතැනත් තියෙන එකක් නැහැ."

ඇය පැවසුවාය.

කෙසේ වෙතත් පසුවදා කෙටි නිවාඩුවක් ද දමා මම ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු පොත්හල වෙත ගියෙමි. එහි යන විට වේලාව පස්වරු 3.15 පමණ විය. පොත්හල පස්වරු 3.00 ට වසන බව එහි සිටි අය විසින් මට පවසන ලදුව (පැය 6ක් පමණක් විවෘතව තිබෙන එකම පොත්හල මෙය වන්නට ඇති!) මා සොයන කෘතිය ඔවුන් ළඟ තිබෙනවාද කියාවත් සොයා බලන මෙන් විමසූ නිසා එහි සිටි මහත්මයෙක් මා අත රැඳි කොල කැබැල්ල ගෙන බැලීය.

"මේ පොත නම් නැහැ."

"එහෙමද? එහෙනම් මට ඔය පොත හොයාගන්න පුළුවන් විදියක් කියනවාද?"

"සමහරවිට මරදානේ පොත් කඩවල ඇති. පොඩ්ඩක් බලන්න."

ඉතින් මම මරදාන බලා නික්මුණෙමි.

කොළඹ පොත් පුරවරය මරදාන ය. නවතම ග්‍රන්ථයන්ගේ පටන් ඇතැම් පැරණි පොත් දක්වා මෙහිදී මිල දී ගත හැකිය. මම ද මරදානේ නම් දරා ඇති නැති සියලු පොත්සල් වලට ගියෙමි. ඒ එකකවත් මේ පොත නැත. විමතියට කරුණකි. පසුව මම නුදුරින් ඇති 'ගාමිණී හෝල්' හි පරණ පොත් කඩ වෙත ගියෙමි. ඒවායේ ද නැත.

"ඔය සමහර පොත්වල අගය ඕකුන්ට තේරෙන්නැහැ"

එහි එක් වෙළෙඳසලක හිමියෙක් පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයට ද දොස් පවරමිනි. එදින මම ආපසු ගියේ හිස් අතින් වුවද, කෙසේ හෝ පොත සොයා ගන්නා බවට අදිටන් කරගතිමි.

පසුවදා අපේ 'ලන්ච් ටේබල්' එකේ මිතුරෙකු මහාචාර්ය කාරියවසම් මහතාගේ දුරකථන අංකය මට සොයා දීමට එකඟ විය. ඒ, ඔහු එතුමාගෙන් ඉගෙනගත් අයෙක් බවද පවසමිනි. සතියක් ගත විය. අංකය ලැබුණේ නැත. එය සොයාගැනීමට ටික දිනක් ගත වනු ඇති බව ඔහු මට කියා සිටියේය. අංකය ලැබෙන පාටක් නැත. මම ම වැඩට බැස්සෙමි.

පසුදින සවස ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ගියෙමි. එහිදී ඔවුන් මට දැනුම් දුන්නේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් මේ පිළිබඳව විමසන ලෙසටයි. එය පිහිටා ඇත්තේ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට අල්ලපු ඉඩමේ ය. මම එහි යන විට කාර්යාල වේලාව පසු වී තිබූ බැවින් සෙනසුරාදා දිනයේ ද පැමිණ අවශ්‍ය කාර්යය කරගත හැකි බව එහි ආරක්ෂක නිලධාරියෙකු විසින් පවසන ලදී. එමනිසා මම සෙනසුරාදා දින උදය වරුවේ එහි ගියෙමි.

මේ ස්ථානය බොහෝ දෙනෙක් නොදන්නා නමුත් වැදගත් සේවයක් සපයන තැනකි. ලංකාවේ පළ කරන සෑම ප්‍රකාශනයකම පිටපතක් මෙයට ලැබෙයි. මුලින් පිළිගැනීමේ කවුන්ටරයෙන් පොත තිබෙන බව සනාථ කරගැනීමෙන් පසුව රුපියල් 20ක් වැනි කුඩා මුදලක් ගෙවා එක් දින සාමාජිකත්වයක් ලබා ගතිමි. ඉනික්බිති ඉහළ මහලට ගොස් මට අවශ්‍ය ග්‍රන්ථයේ විස්තර කොලයක පුරවා නිලධාරිණියකට දුනිමි. විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම තවත් කිහිප දෙනෙක් ද එහි සිටිනු දැකගත හැකි විය. පරිගණකයෙන් පොතේ අංකය සොයා විනාඩි කිහිපයක් ඇතුළත එය මා අතට පත්කරන්නට ඈ සමත් විය. නමුත් එය පිටතට ගෙන යෑම හෝ සම්පූර්ණයෙන් පිටපත් කරගැනීම තහනම්ය. එනමුදු පොතෙන් 10% ක ප්‍රමාණයක උපරිමයක් පමණක් ඡායාපිටපත් කරගැනීමට අවසර දේ. එනිසා එහි අග ඇමුණුම් කිහිපයක් පමණක් මුදල් ගෙවා එම ස්ථානය තුළදී ම පිටපත් කර ගතිමි. මා බලාපොරොත්තු වූයේ පොතම ලබාගැනීමට වුවද, අවසානයේ පිටු කිහිපයකින් පමණක් සෑහීමට පත්වීමට සිදුවිය.

එහෙත් මම උත්සාහය අතනොහැරියෙමි. ඊට දින දෙක තුනකට පසු දුරකථන නාමාවලියෙන් කාරියවසම් මහතාගේ නිවසේ අංකය සොයාගෙන එය ඇමතීමි.

"හලෝ…"

කාන්තා හඬකි. බිරිඳ වෙන්නට ඇති.

"මහාචාර්යතුමා ඉන්නවාද?"

"එයා ගෙදර නැහැ. හවස හතෙන් පස්සේ ගන්නවාද?"

"හොඳයි. බොහොම ස්තුතියි."

කෙසේ වෙතත්, කාර්යබහුල වූ නිසා මට එදින සවස දුරකථන ඇමතුම ගන්නට නොහැකි විය. එනිසා පසුදින ගත්තෙමි. මෙවර මහාචාර්යතුමා ඇමතුමට පිළිතුරු දුනි. මා හඳුන්වා දීමෙන් පසු එතුමාට මගේ අවශ්‍යතාවය පැවසුවෙමි.

"ඔය පොතේ රී-ප්‍රින්ට් එකකුත් කරන්න හිතාගෙන ඉන්නේ. හැබැයි කොයි කාලෙද කියන්න දන්නැහැ. මම හෙට අමාත්‍යාංශයට යනවා. පොතක් තියෙනවාද කියලා බලන්නම්. මට සති අන්තයේ කෝල් එකක් දෙනවාද?"

එතුමාට ස්තුති කිරීමෙන් අනතුරුව මම ඇමතුම විසන්ධි කළෙමි.

කලින් පැවසූ පරිදි එම සති අන්තයේ ඉරිදා දින එතුමාට කතා කළෙමි.

"මම පොතක් දෙන්නම්. ලබන සතියේ බ්‍රහස්පතින්දා මට අමාත්‍යාංශයේ වැඩ වගයක් තියෙනවා. හවස හතරෙන් පස්සේ ඉසුරුපාය ළඟදී ඇවිත් මාව හම්බුවෙන්න."

ඔහුගේ ජංගම දුරකථන අංකය ද මට ලබා දුණි. මට එක්වරම සිහිවුණේ කලින් පොත නැතැ යි කියූ නිලධාරීන් ය. නමුත් මේ රටේ සමහර කටයුතු සිදුවන ආකාරය පිළිබඳව තර්ක බුද්ධියෙන් හා අත්දැකීම් ඇසුරෙන් සිතා බැලූ කළ ඔවුන් ද ක්‍රියා කර ඇත්තේ බහුතරය අනුව යමින් බව වටහා ගන්නට මට වැඩි වේලා ගත නොවුණි.

එළඹුණු බ්‍රහස්පතින්දා දින උදයේ කාරියවසම් මහතාට ඇමතුමක් දුන්නෙමි.

"ගුඩ් මෝනිං සර්. මම අද හවස ඉසුරුපායට එන්නද?"

"හරි. හතරෙන් පස්සේ ගේට්ටුව ළඟට එන්න."

"සර්, පොතේ මිල කීයක් වෙනවාද?"

"හරි හරි ඒවා ගැන පස්සේ කතාකරගන්න පුළුවන්."

හෙතෙම පැවසීය.

කතා වූ පරිදි සවස වැඩ ඇරී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත්හල අසලට පැමිණ මහචාර්යවරයාට ඇමතුමක් ගත්තෙමි.

"මම ඉස්සරහා 174 බස් හෝල්ට් එකේ ඉන්නවා." ඔහු පැවසීය.

එතුමාගේ හැඩරුව ආදිය මගේ බිරිඳගෙන් අසා දැනගෙන තිබුණ නිසා (විශ්වවිද්‍යාලයේ ඇගේ ආචාර්යවරයෙකි) හඳුනාගැනීම අපහසු වූයේ නැත. බස් නැවතුම අසල යතුරුපැදිය නතර කර එතුමා වෙත ගොස් පොත ලබාගත්තෙමි. අලුත්ම පොතකි. දැනුණ සතුට ඉමහත්ය. එතුමාට ස්තුති කළෙමි. එනමුත් හෙතෙම වැඩි වේලා නොසිට ඉක්මනින් යන්නට ගියේය. එතැන අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන නිලධාරි මහත්මයෙක් ද සිටියේය. මා එනතෙක් මහාචාර්යවරයා ඔහුත් සමඟ කතාබස් කරමින් සිට ඇත.

"මම මේ පොත හොයපු නැති තැනක් නැහැ." මම පැවසීමි.

"ඔව් සර් මට විස්තර කිව්වා. සර් බලාපොරොත්තුවෙන් හිටියේ තරුණ කෙනෙක් එයි කියලා. ඔයා එනවා දැක්කම මම කිව්වා, සර්, තරුණයෙක් තමයි කියලා. ඔය පොත දීපු ගමන් යන්න ගියේ ඔයා සල්ලි දෙයි කියලා හිතලා."

එතුමා තරුණයෙක්ට මේ පොත දීම අගය කරන්නට ඇත්තේ තරුණ පරපුර මෙවැනි විෂයන් පිළිබඳව කියවීම අඩු නිසා විය හැකිය. එසේත් නැත්නම් අනාගත පරපුරට කරන ආයෝජනයක් යැයි සිතා විය යුතුය. ඒ කුමක් වෙතත් මෙය සැබැවින්ම කෘතඥ විය යුතු ක්‍රියාවකි. මේ සටහන ලිවීමේ එක් අභිප්‍රායක් වනුයේ ද එයම ය. මෙහි අගය මට වඩාත් දැනුණේ පොත සොයන්නට විඳි වෙහෙස නිසාය.