Header Title


උදනිඳුගේ සිතුවිලි

2012/06/15

'තේරීම් කාරක සභාව' නොවේ 'විශේෂ කාරක සභාව'

'පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව', 'පාර්ලිමේන්තු තේරීම් කාරක කමිටුව', 'පාර්ලිමේන්තු තේරීම් කමිටුව'... මේ මාධ්‍ය තුළින් නිතර ඇසෙන වචන කිහිපයකි. එකී සියල්ලෙන්ම අදහස් කරනුයේ ද එකම දෙයකි. එහෙත් ඒ සියල්ලම වැරදිය. ඇයි?

මේ පද සියල්ලේ සම්භවය ඉංග්‍රීසියෙන් Parliamentary Select Committee යන්නය. එය සිංහලෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වේ (පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 94 - 103). මේවා පාර්ලිමේන්තුවේ කාරක සභා වර්ගයකි. “මෙම කාරක සභා වල කාර්යය වන්නේ ඒවාට යොමු කරනු ලබන විවිධාකාර කර්තව්‍යයන් පිළිබඳව විමසා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමයි. මෙකී කාරක සභාවන් හි පරීක්ෂණයක විෂය පථය, ඒවා පත්කිරීමේදී සඳහන් කරනු ලබන විභාග කළ යුතු කරුණු යටතේ නිර්වචනය කර තිබේ.” [මූලාශ්‍රය: පාර්ලිමේන්තු වෙබ් අඩවිය] ඉංග්‍රීසි 'select' යන වදනේ සිංහල පරිවර්තනය 'තේරීම' යන්න වුවද, ස්ථාවර නියෝග ප්‍රකාරව මේවා 'විශේෂ' කාරක සභා ලෙස හැඳින්වේ. නමුත්, ස්ථාවර නියෝග නොසලකා හරිමින් බොහෝ මාධ්‍ය හා සමහර පුද්ගලයින් 'තේරීම් කාරක සභාව' යන වැරදි වචනය භාවිතා කරයි. එයට හේතුව ඉංග්‍රීසි වචනය ඍජුවම පරිවර්තනය කිරීමයි.

මීට අමතරව, ඉහත දක්වන ලද පදවල තවත් සුළු වැරද්දක් ද පෙන්වාදෙනු කැමැත්තෙමි. එය නම්, 'කමිටුව' (ඉංග්‍රීසියෙන් Committee) යන වචනය පාර්ලිමේන්තු සන්දර්භයක් තුළදී උචිත/නිවැරදි නොවන බවය. එහි පාර්ලිමේන්තු භාවිතාව 'කාරක සභාව' යන්නයි.

පැවසිය යුතු තවත් දෙයක් ද තිබේ. එනම්, තේරීම් කාරක සභාව යනුවෙන් හැඳින්වෙන කාරක සභාවක් ද පාර්ලිමේන්තුවේ ඇති බවයි (ස්. නි. 121). එය ඉංග්‍රීසියෙන් Committee of Selection නමි. මෙය වි‌‌ශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවක් වන අතර, “උපදේශක කාරක සභාවල හා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවල සංඛ්‍යාව, ඒවායේ කාර්යභාරය හා සංයුතිය කවරක්ද යන්න සලකා බැලීමත් විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවල සේවය කරනු පිණිස සාමාජිකයින් නම් කිරීමත්” එහි කාර්යය වේ. [මූලාශ්‍රය: පාර්ලිමේන්තු වෙබ් අඩවිය]

එනිසා මේ පද නිවැරදිව භාවිතා කිරීම, සම්මතය පිළිපැදීම පමණක් ම නොවන අතර, මතුවිය හැකි පැටලිලි සහගත තත්ත්වයන් මඟහරවා ගැනීමට ද ඉවහල් වනු ඇත.