Header Title


උදනිඳුගේ සිතුවිලි

2012/10/09

ක්‍රිකට් ලංකාවේ ජාතික ක්‍රීඩාව විය යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලොව විස්සයි-20 අනුශූරයන් බවට පත්විය. තවත් විදියකින් කිවහොත් (තවත් වරක්) අවසාන තරඟය පැරදුණහ. එහෙත් පසුගිය පස් වසර තුළ ක්‍රිකට් ලෝක ශූරතා තරඟාවලි හතරක අවසන් තරඟ සඳහා සුදුසුකම් ලැබීමට දක්ෂ වූහ.

ක්‍රිකට් ලංකාවේ නිල නොවන ජාතික ක්‍රීඩාවයි. නිල ජාතික ක්‍රීඩාව වොලිබෝල් ය. ජාතික ක්‍රීඩාව හුදෙක් නමට පමණක් නොවිය යුතුය. ජාතික පුෂ්පය, ජාතික පක්ෂියා, ආදී ලෙසින් ජාතික ක්‍රීඩාව සැබැවින්ම 'ජාතික' ක්‍රීඩාවක් විය යුතුය. එකම මොහොතකදී ජාති, කුල, ආගම්, දේශපාලන භේදවලින් තොරව මේ රටේ බහුතර ජනයා ඒකාත්මික කළ හැකි ක්‍රීඩාවක් වේ නම් එය ක්‍රිකට් පමණි.

වොලිබෝල් ඉතා හොඳ ක්‍රීඩාවක් වුවද, ක්‍රිකට් ක්‍රීඩාව මෙරට තුළ ඇතිකරන බලපෑම එයට කිසිසේත් කළ නොහැකිය. 1996 න් පසුව ලංකාව ලෝකයට ගෙන ගියේ ද ක්‍රිකට් ය. බොහෝ පිටරැටියන් ලක් කොදෙව්ව ලෝක සිතියමේ සොයන්නට පටන් ගත්තේ ද ඉන්පසුවය. දැනට ජාතික ක්‍රීඩාව ලෙස වොලිබෝල් නම් කිරීමේ පදනම මට නම් නොතේරේ. ක්‍රිකට් සේම වොලිබෝල් ද වෙන රටක උපන් ක්‍රීඩාවකි. වොලිබෝල් ක්‍රීඩාව ලොවට දායාද කළේ ඇමෙරිකානු ජාතික විලියම් මෝර්ගන් මහතායි. ජාතික ක්‍රීඩාව දේශීය ක්‍රීඩාවක් විය යුතු නම් මම එයට ද එකඟ වෙමි. එවිට එල්ලේ වැනි ක්‍රීඩාවක් තෝරාගත හැකිය. නමුත් ජාතික ක්‍රීඩාව වීම සඳහා වොලිබෝල් වලට වඩා ක්‍රිකට් ක්‍රීඩාව සියලු සුදුසුකම් සපුරා ඇත. මීට දශක කිහිපයකට පෙර ඉහළ පැලැන්තියට සීමා වුවද, අද එය සියලු ලාංකිකයන්ගේ ක්‍රීඩාවකි. යාචකයාගේ පටන් රටේ ධනවත්ම පුද්ගලයා දක්වා එකසේ විඳින ක්‍රීඩාවකි. පෙර සඳහන් කළ පරිදි ක්‍රිකට් ජාතියේ ක්‍රීඩාව වී හමාරය. එය ජාතික ක්‍රීඩාව කරවීම නිසි දේට නිසි තැන දීමක් වනු ඇත.

2012/09/05

තවත් ආකාරයක වීරයෙක්

පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම වරට පදක්කමක් දිනාගැනීමට ප්‍රදීප් සංජය ඊයේ සමත් විය. මීටර් 400 T46 වර්ගීකරණය යටතේ ධාවනයේ යෙදෙමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට හෙතෙම සමත් වූයේ නව කලාපීය වාර්තාවක් ද පිහිටුවමිනි. ඔලිම්පික් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් ද කිසිවක් ලීමට නොහැකි වූ නිසා මේ ගැන යමක් කිව යුතු යැයි සිතීමි.

ඔලිම්පික් තත්ත්වයට පැමිණිමට ක්‍රීඩකයෙක් දරන පරිශ්‍රමය අතිමහත්ය. බොහෝ විට ඔවුන් ඒ සඳහා අවතීර්ණ වන්නේ කුඩා කල සිටම ය. පසු කලක ක්‍රීඩාවක් කිරීම ආරම්භ කළ ද, ඒ සඳහා දින, මාස, අවුරුදු ගණනක් ඉමහත් කැපවීමකින් පුහුණු වෙති, කැපවීම් කරති. ඒ නයින් ඔලිම්පික් වැනි ක්‍රීඩා උළෙලක දී අවසන් තරඟයකට වුව සහභාගී වීමට වරම් ලබාගන්නා ක්‍රීඩකයන් සැබැවින්ම ඔවුන් නියෝජනය කරන රටවල වීරයෝ වෙති. පැරාලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වනුයේ ආබාධිත පුද්ගලයන් සඳහාය. T45, T46 ආදී මේ වර්ගීකරණ සිදුකරනු ලබන්නේ ඒ ඒ ක්‍රීඩකයන්ගේ ආබාධිත මට්ටම අනුවයි. උදාහරණයක් වශයෙන්, ජවන ඉසව්වන්හි T46 කාණ්ඩය යටතට ගැනෙන්නේ තනි අතක වැලමිටෙන් ඉහළ/පහළ පමණක් ආබාධිත තත්ත්වයට පත් ක්‍රීඩකයින් ය. මේ පිළිබඳ වැඩිමනත් විස්තර අන්තර්ජාලයෙන් සොයා බලන්න. (ප්‍රදීප් සංජයගේ වමත පණ නැති වී තිබෙන්නේ යුධ බිමේදී මෝටාර් ප්‍රහාරයකට ලක්වීමෙනි)

මේ අනුව බලන කළ ප්‍රදීප් ගේ ජයග්‍රහණය සුවිශේෂී එකක් ය. ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන ඔහු දැන් තවත් ආකාරයකින් ද වීරයෙක් බවට පත් වී ඇත. ඒ, ලොව පුරා එම අංශයෙන් වඩාත්ම දක්ෂ ක්‍රීඩකයන් අතලොස්ස අතරින් තෙවැනි ස්ථානය හිමි කරගනිමිනි. එය කිසිසේත් සුළු කොට තැකිය නොහැකිය. ඔහුට ජයග්‍රාහී අනාගතයක් පතන අතර ඉදිරියේදී තවත් මෙවන් ජයග්‍රහණ ලබාගැනීමට අපේ ක්‍රීඩකයින්ට හැකි වේවායි පතමි.

2012/07/31

පොත් සෙවුම

සිංහල අක්ෂර පරිණාමය පිළිබඳව සොයන්නෙකුට මහෝපකාරී වන කෘතියක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවාර්ජිත මහැදුරු පී. ඊ. ඊ. ප්‍රනාන්දු මහතා විසින් රචනා කොට ඇත. ඉංග්‍රීසියෙන් 'Origin and Development of The Sinhalese Script' නම් වන එකී කෘතිය මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා විසින් සිංහලට පරිවර්තනය කොට තිබේ.

මෑතකදී එම කෘතිය මිල දී ගැනීමට මට අවශ්‍ය විය. එය අවසන් වරට පළ කළේ ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයෙන් නිසා, ඉසුරුපාය ඇමතීමි. ඉතා වෙහෙස වී එහි නිලධාරිණියක් සම්බන්ධ කර ගැනීමෙන් පසු අදාල ග්‍රන්ථය පිළිබඳව විමසීමි.

"මේ පොත අපි ළඟ නැහැ. ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය දැන් විසුරුවා හැරලනේ. ඉතිරි වුණ පොත් ඔක්කොම දුෂ්කර පළාත්වල ඉස්කෝල වලට බෙදලා දුන්නා."

"ඕනෙ නම් අපේ බුක් ෂොප් එකේ බලන්න. හැබැයි එතැනත් තියෙන එකක් නැහැ."

ඇය පැවසුවාය.

කෙසේ වෙතත් පසුවදා කෙටි නිවාඩුවක් ද දමා මම ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු පොත්හල වෙත ගියෙමි. එහි යන විට වේලාව පස්වරු 3.15 පමණ විය. පොත්හල පස්වරු 3.00 ට වසන බව එහි සිටි අය විසින් මට පවසන ලදුව (පැය 6ක් පමණක් විවෘතව තිබෙන එකම පොත්හල මෙය වන්නට ඇති!) මා සොයන කෘතිය ඔවුන් ළඟ තිබෙනවාද කියාවත් සොයා බලන මෙන් විමසූ නිසා එහි සිටි මහත්මයෙක් මා අත රැඳි කොල කැබැල්ල ගෙන බැලීය.

"මේ පොත නම් නැහැ."

"එහෙමද? එහෙනම් මට ඔය පොත හොයාගන්න පුළුවන් විදියක් කියනවාද?"

"සමහරවිට මරදානේ පොත් කඩවල ඇති. පොඩ්ඩක් බලන්න."

ඉතින් මම මරදාන බලා නික්මුණෙමි.

කොළඹ පොත් පුරවරය මරදාන ය. නවතම ග්‍රන්ථයන්ගේ පටන් ඇතැම් පැරණි පොත් දක්වා මෙහිදී මිල දී ගත හැකිය. මම ද මරදානේ නම් දරා ඇති නැති සියලු පොත්සල් වලට ගියෙමි. ඒ එකකවත් මේ පොත නැත. විමතියට කරුණකි. පසුව මම නුදුරින් ඇති 'ගාමිණී හෝල්' හි පරණ පොත් කඩ වෙත ගියෙමි. ඒවායේ ද නැත.

"ඔය සමහර පොත්වල අගය ඕකුන්ට තේරෙන්නැහැ"

එහි එක් වෙළෙඳසලක හිමියෙක් පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයට ද දොස් පවරමිනි. එදින මම ආපසු ගියේ හිස් අතින් වුවද, කෙසේ හෝ පොත සොයා ගන්නා බවට අදිටන් කරගතිමි.

පසුවදා අපේ 'ලන්ච් ටේබල්' එකේ මිතුරෙකු මහාචාර්ය කාරියවසම් මහතාගේ දුරකථන අංකය මට සොයා දීමට එකඟ විය. ඒ, ඔහු එතුමාගෙන් ඉගෙනගත් අයෙක් බවද පවසමිනි. සතියක් ගත විය. අංකය ලැබුණේ නැත. එය සොයාගැනීමට ටික දිනක් ගත වනු ඇති බව ඔහු මට කියා සිටියේය. අංකය ලැබෙන පාටක් නැත. මම ම වැඩට බැස්සෙමි.

පසුදින සවස ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ගියෙමි. එහිදී ඔවුන් මට දැනුම් දුන්නේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් මේ පිළිබඳව විමසන ලෙසටයි. එය පිහිටා ඇත්තේ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට අල්ලපු ඉඩමේ ය. මම එහි යන විට කාර්යාල වේලාව පසු වී තිබූ බැවින් සෙනසුරාදා දිනයේ ද පැමිණ අවශ්‍ය කාර්යය කරගත හැකි බව එහි ආරක්ෂක නිලධාරියෙකු විසින් පවසන ලදී. එමනිසා මම සෙනසුරාදා දින උදය වරුවේ එහි ගියෙමි.

මේ ස්ථානය බොහෝ දෙනෙක් නොදන්නා නමුත් වැදගත් සේවයක් සපයන තැනකි. ලංකාවේ පළ කරන සෑම ප්‍රකාශනයකම පිටපතක් මෙයට ලැබෙයි. මුලින් පිළිගැනීමේ කවුන්ටරයෙන් පොත තිබෙන බව සනාථ කරගැනීමෙන් පසුව රුපියල් 20ක් වැනි කුඩා මුදලක් ගෙවා එක් දින සාමාජිකත්වයක් ලබා ගතිමි. ඉනික්බිති ඉහළ මහලට ගොස් මට අවශ්‍ය ග්‍රන්ථයේ විස්තර කොලයක පුරවා නිලධාරිණියකට දුනිමි. විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම තවත් කිහිප දෙනෙක් ද එහි සිටිනු දැකගත හැකි විය. පරිගණකයෙන් පොතේ අංකය සොයා විනාඩි කිහිපයක් ඇතුළත එය මා අතට පත්කරන්නට ඈ සමත් විය. නමුත් එය පිටතට ගෙන යෑම හෝ සම්පූර්ණයෙන් පිටපත් කරගැනීම තහනම්ය. එනමුදු පොතෙන් 10% ක ප්‍රමාණයක උපරිමයක් පමණක් ඡායාපිටපත් කරගැනීමට අවසර දේ. එනිසා එහි අග ඇමුණුම් කිහිපයක් පමණක් මුදල් ගෙවා එම ස්ථානය තුළදී ම පිටපත් කර ගතිමි. මා බලාපොරොත්තු වූයේ පොතම ලබාගැනීමට වුවද, අවසානයේ පිටු කිහිපයකින් පමණක් සෑහීමට පත්වීමට සිදුවිය.

එහෙත් මම උත්සාහය අතනොහැරියෙමි. ඊට දින දෙක තුනකට පසු දුරකථන නාමාවලියෙන් කාරියවසම් මහතාගේ නිවසේ අංකය සොයාගෙන එය ඇමතීමි.

"හලෝ…"

කාන්තා හඬකි. බිරිඳ වෙන්නට ඇති.

"මහාචාර්යතුමා ඉන්නවාද?"

"එයා ගෙදර නැහැ. හවස හතෙන් පස්සේ ගන්නවාද?"

"හොඳයි. බොහොම ස්තුතියි."

කෙසේ වෙතත්, කාර්යබහුල වූ නිසා මට එදින සවස දුරකථන ඇමතුම ගන්නට නොහැකි විය. එනිසා පසුදින ගත්තෙමි. මෙවර මහාචාර්යතුමා ඇමතුමට පිළිතුරු දුනි. මා හඳුන්වා දීමෙන් පසු එතුමාට මගේ අවශ්‍යතාවය පැවසුවෙමි.

"ඔය පොතේ රී-ප්‍රින්ට් එකකුත් කරන්න හිතාගෙන ඉන්නේ. හැබැයි කොයි කාලෙද කියන්න දන්නැහැ. මම හෙට අමාත්‍යාංශයට යනවා. පොතක් තියෙනවාද කියලා බලන්නම්. මට සති අන්තයේ කෝල් එකක් දෙනවාද?"

එතුමාට ස්තුති කිරීමෙන් අනතුරුව මම ඇමතුම විසන්ධි කළෙමි.

කලින් පැවසූ පරිදි එම සති අන්තයේ ඉරිදා දින එතුමාට කතා කළෙමි.

"මම පොතක් දෙන්නම්. ලබන සතියේ බ්‍රහස්පතින්දා මට අමාත්‍යාංශයේ වැඩ වගයක් තියෙනවා. හවස හතරෙන් පස්සේ ඉසුරුපාය ළඟදී ඇවිත් මාව හම්බුවෙන්න."

ඔහුගේ ජංගම දුරකථන අංකය ද මට ලබා දුණි. මට එක්වරම සිහිවුණේ කලින් පොත නැතැ යි කියූ නිලධාරීන් ය. නමුත් මේ රටේ සමහර කටයුතු සිදුවන ආකාරය පිළිබඳව තර්ක බුද්ධියෙන් හා අත්දැකීම් ඇසුරෙන් සිතා බැලූ කළ ඔවුන් ද ක්‍රියා කර ඇත්තේ බහුතරය අනුව යමින් බව වටහා ගන්නට මට වැඩි වේලා ගත නොවුණි.

එළඹුණු බ්‍රහස්පතින්දා දින උදයේ කාරියවසම් මහතාට ඇමතුමක් දුන්නෙමි.

"ගුඩ් මෝනිං සර්. මම අද හවස ඉසුරුපායට එන්නද?"

"හරි. හතරෙන් පස්සේ ගේට්ටුව ළඟට එන්න."

"සර්, පොතේ මිල කීයක් වෙනවාද?"

"හරි හරි ඒවා ගැන පස්සේ කතාකරගන්න පුළුවන්."

හෙතෙම පැවසීය.

කතා වූ පරිදි සවස වැඩ ඇරී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත්හල අසලට පැමිණ මහචාර්යවරයාට ඇමතුමක් ගත්තෙමි.

"මම ඉස්සරහා 174 බස් හෝල්ට් එකේ ඉන්නවා." ඔහු පැවසීය.

එතුමාගේ හැඩරුව ආදිය මගේ බිරිඳගෙන් අසා දැනගෙන තිබුණ නිසා (විශ්වවිද්‍යාලයේ ඇගේ ආචාර්යවරයෙකි) හඳුනාගැනීම අපහසු වූයේ නැත. බස් නැවතුම අසල යතුරුපැදිය නතර කර එතුමා වෙත ගොස් පොත ලබාගත්තෙමි. අලුත්ම පොතකි. දැනුණ සතුට ඉමහත්ය. එතුමාට ස්තුති කළෙමි. එනමුත් හෙතෙම වැඩි වේලා නොසිට ඉක්මනින් යන්නට ගියේය. එතැන අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන නිලධාරි මහත්මයෙක් ද සිටියේය. මා එනතෙක් මහාචාර්යවරයා ඔහුත් සමඟ කතාබස් කරමින් සිට ඇත.

"මම මේ පොත හොයපු නැති තැනක් නැහැ." මම පැවසීමි.

"ඔව් සර් මට විස්තර කිව්වා. සර් බලාපොරොත්තුවෙන් හිටියේ තරුණ කෙනෙක් එයි කියලා. ඔයා එනවා දැක්කම මම කිව්වා, සර්, තරුණයෙක් තමයි කියලා. ඔය පොත දීපු ගමන් යන්න ගියේ ඔයා සල්ලි දෙයි කියලා හිතලා."

එතුමා තරුණයෙක්ට මේ පොත දීම අගය කරන්නට ඇත්තේ තරුණ පරපුර මෙවැනි විෂයන් පිළිබඳව කියවීම අඩු නිසා විය හැකිය. එසේත් නැත්නම් අනාගත පරපුරට කරන ආයෝජනයක් යැයි සිතා විය යුතුය. ඒ කුමක් වෙතත් මෙය සැබැවින්ම කෘතඥ විය යුතු ක්‍රියාවකි. මේ සටහන ලිවීමේ එක් අභිප්‍රායක් වනුයේ ද එයම ය. මෙහි අගය මට වඩාත් දැනුණේ පොත සොයන්නට විඳි වෙහෙස නිසාය.

2012/06/15

'තේරීම් කාරක සභාව' නොවේ 'විශේෂ කාරක සභාව'

'පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව', 'පාර්ලිමේන්තු තේරීම් කාරක කමිටුව', 'පාර්ලිමේන්තු තේරීම් කමිටුව'... මේ මාධ්‍ය තුළින් නිතර ඇසෙන වචන කිහිපයකි. එකී සියල්ලෙන්ම අදහස් කරනුයේ ද එකම දෙයකි. එහෙත් ඒ සියල්ලම වැරදිය. ඇයි?

මේ පද සියල්ලේ සම්භවය ඉංග්‍රීසියෙන් Parliamentary Select Committee යන්නය. එය සිංහලෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වේ (පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 94 - 103). මේවා පාර්ලිමේන්තුවේ කාරක සභා වර්ගයකි. “මෙම කාරක සභා වල කාර්යය වන්නේ ඒවාට යොමු කරනු ලබන විවිධාකාර කර්තව්‍යයන් පිළිබඳව විමසා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමයි. මෙකී කාරක සභාවන් හි පරීක්ෂණයක විෂය පථය, ඒවා පත්කිරීමේදී සඳහන් කරනු ලබන විභාග කළ යුතු කරුණු යටතේ නිර්වචනය කර තිබේ.” [මූලාශ්‍රය: පාර්ලිමේන්තු වෙබ් අඩවිය] ඉංග්‍රීසි 'select' යන වදනේ සිංහල පරිවර්තනය 'තේරීම' යන්න වුවද, ස්ථාවර නියෝග ප්‍රකාරව මේවා 'විශේෂ' කාරක සභා ලෙස හැඳින්වේ. නමුත්, ස්ථාවර නියෝග නොසලකා හරිමින් බොහෝ මාධ්‍ය හා සමහර පුද්ගලයින් 'තේරීම් කාරක සභාව' යන වැරදි වචනය භාවිතා කරයි. එයට හේතුව ඉංග්‍රීසි වචනය ඍජුවම පරිවර්තනය කිරීමයි.

මීට අමතරව, ඉහත දක්වන ලද පදවල තවත් සුළු වැරද්දක් ද පෙන්වාදෙනු කැමැත්තෙමි. එය නම්, 'කමිටුව' (ඉංග්‍රීසියෙන් Committee) යන වචනය පාර්ලිමේන්තු සන්දර්භයක් තුළදී උචිත/නිවැරදි නොවන බවය. එහි පාර්ලිමේන්තු භාවිතාව 'කාරක සභාව' යන්නයි.

පැවසිය යුතු තවත් දෙයක් ද තිබේ. එනම්, තේරීම් කාරක සභාව යනුවෙන් හැඳින්වෙන කාරක සභාවක් ද පාර්ලිමේන්තුවේ ඇති බවයි (ස්. නි. 121). එය ඉංග්‍රීසියෙන් Committee of Selection නමි. මෙය වි‌‌ශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවක් වන අතර, “උපදේශක කාරක සභාවල හා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවල සංඛ්‍යාව, ඒවායේ කාර්යභාරය හා සංයුතිය කවරක්ද යන්න සලකා බැලීමත් විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවල සේවය කරනු පිණිස සාමාජිකයින් නම් කිරීමත්” එහි කාර්යය වේ. [මූලාශ්‍රය: පාර්ලිමේන්තු වෙබ් අඩවිය]

එනිසා මේ පද නිවැරදිව භාවිතා කිරීම, සම්මතය පිළිපැදීම පමණක් ම නොවන අතර, මතුවිය හැකි පැටලිලි සහගත තත්ත්වයන් මඟහරවා ගැනීමට ද ඉවහල් වනු ඇත.

2012/05/18

ඔබ, මම, කවිය

ජීවිතය කවියක් ය. නැත. ජීවිතය ගඟක් වැනිය. එය වැනුම කවියෙන් ය. මගේ ජීවන ගංගාවේ හැරවුම් ලක්ෂයක් මීට දින කිහිපයකට පෙර පසු කළෙමි. නමින් විවාහය ය. එකී අවස්ථාවත්, සොඳුරියගේ ආගමනයත්, මම බලාපොරොත්තුවෙන් සිටියෙමි. නිකන්ම නොවේ. කවියෙනි.

හිස් සයනය පුරවන්නට
වමත වෙදැඟිල තනි මකන්නට
මා උරහිස හිස රුවන්නට
දිවියේ අනෙකඩ පුරවන්නට

ඈ එනවා… ඈ එනවා…

ගෙදර එනතෙක් මග බලන්නට
දෙනයන තුළින් හද දකින්නට
සුපුරුදු පුසුඹ නැහැ පිනන්නට
ලමැද උණුසුම ලබාදෙන්නට

ඈ එනවා… ඈ එනවා…

මිහිරි වදනින් ආල කියනට
දෙතොල රසයෙන් පිනවන්නට
සුමුදු පහස විඳගන්නට
ගින්දර යායේ පවස නිවනට

ඈ එනවා… ඈ එනවා…



මංගල දිනය යෙදුණේ වෙසක් පෝ දිනට දින දෙකකට පෙරාතුවය. එනිසා විවාහයට පෙර දින තවත් කවියක් ලියැවුණේ මෙලෙසිනි.

වෙසක් සඳත් මෝදු වේවි
ආදරයෙන් අපි වෙළේවි
ආදරයත් මෝදු වේවි
වෙසක් සඳෙන් අප වෙළාවි



මධුසමය අතරතුරේ ද කවියක් ලීවෙමි. මේ කවිය ද, අනිත් කවි ද, බිරිඳට පෙන්නුවෙමි. ප්‍රතිචාරය ඉතා යහපත් විය. ඒ, සෑම වදනෙහිම ගැබ් වූ කවි රසය හා සත්‍ය රසය නිසා යැයි මම දනිමි :-)

සකිසඳ ලෙසිනෙ ඔබ මා හමුවේ
එසඳ මෙසඳ අප එකසේ ආවේ
පැණි සඳ දිනයයි පුර සඳ දිනයේ
මා පුර සඳ නුඹෙ එළියයි දුටුවේ

2012/04/13

භූකම්පනයක් අත්වින්දෙමි

වේලාව පස්වරු 2.10 පමණ වන්නට ඇත. දිනය අප්‍රේල් 11 වැනිදාය. සිව්වැනි මහලේ මිතුරෙකුගෙන් මාගේ දුරකථන දිගුවට ඇමතුමක් ලැබුණි.

"මල්ලී, පොළොව හෙල්ලෙනවා වගේ දැනෙනවාද?"

පරණ අවුරුද්දේ විහිළුවක්වත්ද?

"නැහැ, ඇයි?" මම ඇසුවෙමි.

"අපිට නම් ඒ වගේ දැනෙනවා." ඔහු කීවේය.

මම දෙපය කාපට් එක මත හොඳින් තබා බැලීමි. එහෙත් කිසිවක් නොදැනේ. කොහෙන්දෝ පැමිණි හැඟීමක් අනුව මාගේ දෙනෙත් මේසය මත ඇති වතුර වීදුරුව දෙසට යොමු කළෙමි. සැබෑය. එහි ජලය සෙලවේ.

"හැබැයි මගේ වීදුරුවේ වතුර හෙල්ලෙනවා. ළඟපාතක මොනාහරි ඩ්‍රිල් කරනවාද දන්නැහැ." මම ඔහුට පැවසුවෙමි.

"නැහැ නැහැ, දැන් මාතරෙනුත් කෙනෙක් කතා කරලා කිව්වා."

"එහෙනම් මොකක් හරි කේස් එකක්. බලමු." මම රිසීවරය තැබුවෙමි.

මේ අතර, කාර්යාලයේ අනිකුත් අය වතුර ෆිල්ටරය දෙස බලා සිටියෝය. එහි ජලය ද සෙලවෙනු ඔවුන් දැක ඇත. දැන් නම් වීදුරුවේ ජලය නිශ්චලය. සුළු කම්පනය පහව ගොසිණි. මම එවේලේම Twitter එකට ලොග් වුණෙමි. සැබෑය. එය අත්විඳ ඇත්තේ අප පමණක් නොවේය. ට්විටරයේ සිටිනා තවත් මිතුරන් ද ලංකාවේ නොයෙකුත් ප්‍රදේශ වලින් සුළු භූකම්පනයක් අත්විඳි බවට tweet කර ඇත. සමාජ මාධ්‍යයේ වේගය හා අරුම! සාම්ප්‍රදායික පුවත් සේවා හා ඒවායේ නූතන මුහුණුවරක් ලෙස ඉදිරිපත් කෙරෙන ඔවුන්ගේ වෙබ් අඩවි ද බර කරත්ත ගානට පත්කර ඇත.

කම්පනය ගොඩනැගිලිවල ඉහල මහල්වලට වඩාත් හොඳින් දැනී ඇත. මේ, මා මෙවන් අත්දැකීමක් ලද ප්‍රථම අවස්ථාව ය. තව දුරටත් ට්විටරය පරීක්ෂා කිරීමේදී දැනගන්නට ලැබුණේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා  දූපතට ආසන්න මුහුදු පතුලේ විශාලත්වයේ අගයෙන් 8.7 ක් වූ භූමිකම්පාවක් සිදුව ඇති බවයි. දැන් කාරණය පැහැදිලිය. ඉන්දියානු සාගර කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ මොකුත් ම නැත. අපට පස්වරු 3.15 ට නිවෙස් බලා යෑමේ අවස්ථාව ද හිමි වී ඇත. Dialog ජාලය හරියට ක්‍රියා කරන්නේ ද නැත.

මද වේලාවකට පසු ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවලට නිල සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී. ඉනික්බිති ඒ පළාත්වල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බවද මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලදී. මේ නිසා බොහෝ දෙනා අසීරුතාවට පත් වූහ. කෙසේ වෙතත්, වාසනාවකට මෙන් සුනාමියක් පැමිණියේ නැත. රාත්‍රී 7 ට අනතුරු ඇඟවීම නිල වශයෙන් අවසන් විය.

2012/02/21

මහා සංචාරකයා

සංචරණය කරන්නේ සංචාරයකයා ය. එසේ නම් මහා සංචාරකයා කෙබඳු කෙනෙක්ද? බොහෝ තැන්හි සංචාරය කළ අයෙක් විය යුතුය. සියලු ආකාරයේ ස්ථානවලට ගමන් කළ අයෙක් විය යුතුය. තමා මහා සංචාරකයෙක් ලෙස හඳුන්වා ගන්නා පනාපුත්‍ර කුහුඹුපැණියා හැරුණුකොට එවන් කෙනෙක් දැක නැත්තෙමි. එයින් කියවෙන්නේ එවන් අය නැති බව නොවේ. එමටය. මම ද පුංචි පහේ සංචාරකයෙක්මි. මාගේ හුදකලා චාරිකා ආරම්භ කර දැන් අවුරුදු අටකටත් වැඩිය. එහෙත් ලංකාවේ විසූ ශ්‍රේෂ්ඨතම සංචාරකයා එසේත් නැතිනම් මහා සංචාරකයා කවුරුන්දැයි කෙනෙක් මගෙන් ඇසුවොත් පිළිතුර වළගම්බා රජු වන්නේය.

එතුමා අහසින් ගමන් කළ බවක් හෝ මුහුදු පතුලෙහි ගවේෂණයේ යෙදුණු බවක් හෝ රට රටවල සංචාරය කළ බවක් හෝ දැනගන්නට නැතත්, ජනප්‍රවාද හා යම් යම් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව මේ දිවයිනේ අස්සක් මුල්ලක් නෑරම කරක් ගැසූ බව පෙනේ. පානම් පත්තුවේ සිට ගම්පහටත්, ගිරුවා පත්තුවේ සිට වන්නියටත් වළගම්බාවෝ සිටි බවට පැවසෙන, පවසන තැන් බොහෝ ය. ජනප්‍රවාදයේ එන බැවින් මේ සියල්ල සත්‍ය නොවේ යැයි සිතුව ද, ඉන් ස්ථාන කිහිපයක හෝ වාසය කළා යයි සිතුවත් එය ද අති විශාල ප්‍රමාණයකි. මගේ නිගමනය තහවුරු නොවන්නේද? ලක් ඉතිහාසයේ මහා සංචාරකයාණෝ එතුමා ය.

මෙකල ජනයා සංචාරය කරන හේතු බොහෝ ය. විනෝදාංශයක් වශයෙන්, රැකියාවේ අංගයක් වශයෙන්, අධයාපන සහ ගවේෂණ කටයුතු සඳහා, ආදී වශයෙනි. නමුත් වළගම්බා රජු සංචරණයේ යෙදුණේ ඒ නිසා නොවේ. මුලින් පණ බේරා ගැනීමටය. දෙවනුව රට බේරා ගැනීමටය. සැඟව සිටින්නට සිදුවූයේ ද එබැවිනි. ඔහුට එය කරන්නට සිදුවිය. හෙතෙම මහා සංචාරකයෙක් යන මගේ අදහස ප්‍රතික්ෂේප කරන කෙනෙකුට ප්‍රශ්නාර්ථයක් නැගිය හැකි තැනකි ඒ. පිළිගනිමි. ඒත් ඔහු සංචාරය කළේය. ජීප් එකේ, බයික් එකේ නොවේ, බොහෝ විට පයින්ම වන්නට ඇත. රජෙකුගේ ගාම්භීර වාහනය වූ දෝලාව ද භාවිතා නොකරන්නට ඇති බව සුළු බුද්ධියක් ඇතියෙකුට පවා වැටහේ. නමුත් යම් විටක කරත්තයක් හෝ අශ්වයෙක් භාවිතා කරන්නට ඇත. එයද, වනගත නොවී මාර්ග භාවිතා කළා නම් පමණි.

මින්පසු ඔබ සංචාරය කරන යම් තැනෙක වළගම්බා රජු සිටි බව පැවසේ නම්, එතුමා සිහි කරන්න. එතුමාගේ කායික මානසික අධිෂ්ඨාන ශක්තිය, වීර්යය අගය කරන්න. අවුරුදු ගණනකින් පසු හෝ ආක්‍රමණිකයින් පරදා ලක් මව එක්සේසත් කර, රට දැය නගා සිටුවීමට එතුමාට හැකි වූයේ එබැවිනි.