Header Title


උදනිඳුගේ සිතුවිලි

2011/05/19

විජයග්‍රහණයට වසර දෙකයි: සිහි කළ යුතු තවත් පිරිසක්

සිතුල්පව්ව, තන්තිරිමලේ - මේ ස්ථාන දෙකම ඓතිහාසික හා ආගමික වශයෙන් ඉතා වැදගත් වූ සිද්ධස්ථාන දෙකක්. ගිය වසරේ වෙසක් පෝය මම ගෙව්වේ සිතුල්පව්ව විහාරස්ථානයේ. මේ වසරේ වෙසක් පෝය ගත කළේ තන්තිරිමලයේ. මේ හදන්නේ ඒ ස්ථාන පිළිබඳව කතා කරන්න නෙමෙයි. ඒත් ඒවායේ තිබෙන සමාන බවක් පෙන්වා ඒ තුළින් මාතෘකාවට පිවිසීමක් ලබා ගන්නයි.

සිතුල්පව්ව පිහිටා තිබෙන්නේ යාල වනෝද්‍යානය ඇතුළේ. අතීතයේ දොළොස් දහසක් රහතන් වහන්සේලා වැඩ සිටි තැනක්. පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් තැනක්. තන්තිරිමලය තියෙන්නේ විල්පත්තු වනෝද්‍යානය මායිමේ. ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඩ සිටි ස්ථානයක්. පුරා වස්තු ගහන අඩවියක්. මෙවැනි ගැලපීම් ඇති මේ ස්ථාන දෙකම මීට අවුරුදු තුන හතරකට විතර කළින් ඉතා අනාරක්ෂිත තත්ත්වයක තිබුණේ. ඒ කුරිරු ත්‍රස්තවාදී ක්‍රියා නිසා.

නමුත් අද ඒ පෙදෙස්වල මිනිස්සුන්ට නිදහසේ හුස්මක් කටක් ගන්න පුළුවන් වාතාවරණයක් සැකසිලා. ඉස්සර හවස් වෙනකොට වහපු පාරවල් අද ඇරිලා. ලංකාව වටේම ඉන්න ජනතාවට බියක් සැකක් නැතුව ගිහින් මේ ස්ථාන වැඳ පුදා ගන්න පුළුවන්. යුද්ධය නිම වෙලා, ත්‍රස්තවාදය අවසන් වෙලා අදට අවුරුදු දෙකයි. ඒ දවස්වල තර්ජිත ගම්මාන කියලා නම් කරපු මේ ගම්මානවලට අද ඒ ලේබල් එක නැහැ. මම මේ සටහන ලියන්නේත් ඒ ගම්වල නිර්භීත ජනතාවට උපහාරයක් විදියට.

අවුරුදු 30 ක් තිස්සේ පැවැති යුද්ධය නිසා විශේෂයෙන්ම නැගෙනහිර හා උතුරු මැද පළාත්වල ගම්මාන රාශියක් 'තර්ජිත' තත්වයට පත්වුණා. ඒ නිසා හුඟක් ගම්වල මිනිස්සු තමන්ගේ ගේ දොර ඉඩකඩම් අතහැරලා ගියා. ඒ මරණ බය නිසා. ඒ අතරේ ජීවිත නැති වුණත් ගම්බිම් අතහැරලා යන්නේ නැහැයි කියන දැඩි අධිෂ්ඨානයෙන් තමන්ගේ ගම්වල රැඳිලා ඒවා ආරක්ෂා කරගත් ජනතාව හිටියා. මේ වගේ වටිනා ස්ථාන රටට, ජාතියට, මතු පරපුරට ආරක්ෂා වුණේ ඒ නිසයි. ඔවුන් නොවන්නට ත්‍රස්තවාදීන් තව තවත් ප්‍රදේශ අල්ලගන්න ඉඩ තිබුණා. තමන්ගේ ආදරණීයන් එක එක්කෙනා ත්‍රස්ත උණ්ඩයට, බිම් බෝම්බයට බිලි වෙද්දීත් මොවුන් එඩිතරව ආරක්ෂක අංශ සමඟ එකතු වෙලා සතුරාට එරෙහිව සටන් කළා. ඒ අප්‍රමාණ දුක් විඳගෙන. සමහරවිට හරියට නොකා, නිදි මරමින්. තමන්ගේ ජීවිකාවත්, ළමයින්ගේ පාසල් අධ්‍යාපනයත් හරියට කරගන්න බැරිවයි ඔවුන් මේ කැපවීම් කළේ. ඒ අතරේ කටුක දේශගුණය එක්කත් ඔට්ටු වුණා.

ඉතින්, යුද ජයග්‍රහණයෙන් දෙවසර සමරන මේ මොහොතේ අපි ඔවුන්ට කෘතඥ වෙන්නට ඕනේ. ඉතිහාස පොත්වල ඔවුන්ගේ නම් සටහන් නොවෙන්න පුළුවන්. ඒත් සයිබර් අවකාශයේ නම් එහෙම වෙන එකක් නැහැ.

2011/05/18

අපි කොතරම් පිළිවෙත් ගරුකද?

"කියන්නේ එකක්, කරන්නේ තව එකක්" නම් එතැන ප්‍රතිපත්තියක් නොමැත. එමෙන්ම 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙන්නැ යි කියනු ද නිතරම ඇසේ. මේ කරුණු දෙකකි. එහෙත් සම්බන්ධයක් ද තිබේ. බෞද්ධයෙකුගේ නිත්‍ය ප්‍රතිපත්තිය පංච ශීලයයි. එය රකින්නට බැරිනම් සමාදන් නොවිය යුතුය. එහෙත් පන්සිල් 'ගැනීම' සිරිතට කරන බැවින්දෝ එය එතරම් ගණනකට නොගන්නා පිරිස බොහෝය. තවත් සමහරෙක් කරනා දෑ තේරුම් ගන්නට අපහසුය.

මේ මෑතක දී, බසයේ ගමන් කරන විට දුටු දෙයකි. මා අසල වාඩි වී සිටි වයසක පුද්ගලයෙකි. හේ බීමතින්ය. මටද ගඳ දැනේ. බෙල්ලන්විල පන්සල ආසන්න වනවාත් සමඟම ඔහු නැඟිටින්නට වෙර දැරීය. එහෙත් වෙරි බැවින් නොහැකි විය. ඒ නිසා දෑත එක්කර වැන්දේය. සුරාමේරය ශික්ෂා පදය බිඳ තිබුණත් පන්සල කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව පැවැත්තා සේය. අනිකුත් සිල් පදවල තත්වය ද මෙසේය. 'පාණාතිපාතා' ශික්ෂා පදය සමාදන්ව ඊට විරුද්ධ දේම කරති. පිටකොටුවේ වෙසක් සැරසිලි මෙන්ම මී පාසාණම් විකිණෙන්නේ ද එබැවිනි.

සොරකම ගැන කතා කරනවානම් කීමට අපූරු කතාවක් තිබේ. කලක් මාගේ හිතවතෙකුව සිටි පුද්ගලයෙකි. ඔහු වෙබ් අඩවි හා පිටු නිර්මාණය කරයි. යමක් අලුතින් නිර්මාණය කරන්නට අවශ්‍ය වූ විට තව කෙනෙක්ගේ වෙබ් පිටුවක් ගෙන තමන්ට අවැසි ලෙස වෙනස් කර මොහුගේ වෙබ් අඩවියක පළ කරයි. මෙසේ කිරීම නිසා කීප සැරයක්ම හසු වී හිත නොහොඳකම් ආදී නොයෙකුත් ප්‍රශ්න ද ඇති විය. ඔහුගේ දරුවාට නම් තිබ්බේ ද ඒ හා සමාන අයුරකිනි. මිතුරෙකුගෙන් නම් ලැයිස්තුවක් ඉල්ලා ඒ මිතුරා තම දියණියට තැබූ නමේ අකුරක් දෙකක් පමණක් වෙනස් කරගෙන මොහු ද නමක් සාදා ගති. ඊට මොකුත් කිව නොහැක්කේ ඒ ඔහුගේ අභිමතය වන බැවිනුත්, එසේ කිරීමට ඔහුට නොහැකියාවක් නොමැති බැවිනුත්, එහි ද යම් නිර්මාණශීලීත්වයක් ඇති බැවිනුත් ය. එපමණක්ද, ජනාධිපතිගේ නමින් රටේ සෑම ජංගම දුරකථන පරිශීලකයෙකු වෙතම එවා තිබූ එස්.එම්.එස්. වෙසක් සුභ පැතුම ද මොහුට අවශ්‍ය ආකාරයට සකසා මිතුරන් වෙත යවා තිබුණේ ඉන් ඔහුගේ කාලය ඉතිරිවන නිසා වන්නට හැකිය. කෙසේ වුවද, මීට වඩා අතිවිශාල, වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම හොරකම් ලෙස ගැනෙන ක්‍රියා රටේ සිදු වේ. ඔවුහු ද පන්සිල් ගනිති.

කාම මිථ්‍යාචාරය ද, මුසාව ද, මෙලෙසම ය. සමහරුන්ට වැරදි කාම සේවනය විලාසිතාවකි. මුසාව පුරුද්දකට ගොසින් ය. විද්‍යුත් මාධ්‍ය තුළ මුසාව හා රැවටීම සඳහා ම නිර්මාණය වූ වැඩසටහන් ද ඇත. එනමුත් ඒවායේ පෝය දිනය පුරාවට ආගමික වැඩසටහන් ය.

මේ වෙසඟේ කොළඹ නගරය අත්‍යාලංකාරව සරසා තිබේ. මේ සියලු ආලෝක පූජා බුදුරජාණන් වහන්සේ උදෙසාය, උන්වහන්සේ නිසාය. වෙසක් බලන්නට යන්නෝ ද ඒ බව සිත් හි දරාගත යුතුය. කට ගොන්නක් බී ගෙන, ඇඳි වතෙන් කොටසක් නැතිව, බජව් දමමින්, හූ කියමින් යන්නේ කොහේදැ යි මදකට සිතිය යුතුය. පිළිවෙතින් පෙළගැසීමට නොහැකි නම් අඩුම තරමින් ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගෙවීමටවත් ඉටා ගත යුතුය.