Header Title


උදනිඳුගේ සිතුවිලි

2011/12/20

දශක තුනයි

පසුගියදා මගේ ජීවිතයේ දශක තුනක් සම්පූර්ණ කළෙමි. දශක තුනක්? ඔවි, දශක තුනක්! ළමා කාලය, පාසල් කාලය, නව යොවුන් විය, හරියට අද ඊයේ වගේ. ඒත්, දැන් මට අවුරුදු තිහක් සම්පූර්ණයි. කාලය ගෙවුණු ඉක්මන! මම බර කල්පනාවකට වැටුණෙමි. තවත් මෙවැනිම දශක තුනකින් මා විශ්‍රාම යනු ඇත. ඉනික්බිති තවත් වසර කිහිපයක් ජීවත් වී මිය යනු ඇත. සැබෑය, මරණය කවදා කෙලෙස සිදුවේදැයි කිව නොහැකිය. ඒත් සාමාන්‍ය තක්සේරුවකට අනුව එසේ කීවෙමි.

ජීවත් වන කාලය ඉතා දිග එකක් ලෙස පෙණුනද සැබෑව එය නොවේ. ඒත්, අපි මොනාද කරන්නේ? සෙල්ලම් කරනවා, ඉගෙන ගන්නවා, තව දුරටත් ඉගෙන ගන්නවා, සල්ලි පුළුවන් තරම් හම්බ කරනවා, පුළුවන් ඉස්තරම් විදියට ඉඩමක් අරං ගෙයක් හදනවා (සමහරවිට නාකි වෙලා මැරිලා යනකම්ම ගෙදර 'මොඩිෆයි' කරනවා), ලස්සන ගෑණියක් හොයලා කසාද බඳිනවා, ඊට පස්සේ ළමයි හදනවා, ළමයින්ට උගන්නලා ලොකු මහත් කරනවා, උන්ව දීග දෙනවා, ඊට පස්සේ විශ්‍රාම ගිහින් විශ්‍රාම සුවය යැයි සිතාගෙන ළමයින්ගේ ළමයින් බලනවා, දන්නෙම නැහැ මැරෙන වයසත් ළං වෙනවා, මරණ බයට සිල් ගන්න යනවා භාවනා කරනවා, ඒත් හිත හදාගන්න බැහැ, හදා ගත්ත දේවල් දාලා යන්නත් බැහැ, අනේ ඉතින් අභාවප්‍රාප්ත වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ගැන හුඟ දෙනෙක් හිතන්නේ නැහැ.

මටත් විසි හත, විසි අට, විසි නව වැනි උපන් දිනවලදී මෙහෙම හිතුණේ නැහැ. එත් 3 යි 0 යි එකතු වෙලා හැදෙන ඉලක්කම (30) හිතට බලපෑමක් කළා. මම ඉතින් ගෙවුණු අවුරුදු 30 ආවර්ජනා කරලා බැලුවා. එක අතකින් විචිත්‍රයි, අසාමාන්‍යයි, පුදුමත් හිතෙනවා. අෂ්ට ලෝක ධර්මයටම මුහුණ පෑවා. එහෙම වෙන්නත් එපැයි. නැතිනම් ඒ කෙනා ජීවත් වෙලා නැහැ. එවැනි ජීවිතයකින් වැඩකුත් නැහැ. ජීවත් වෙන්නේ මොකටද? සමහරු නම් කියන්නේ තව කෙනෙක් ජීවත් කරවීම සඳහා කියලා. තවත් කෙනෙක් කියාවි ඉපදුණ නිසා ජීවත් වෙනවායි කියලා. මම නම් බෞද්ධයෙක් විදියට පුනර්භවය විශ්වාස කරනවා. මේ ජීවිතය තාවකාලික පරිච්ඡේදයක්. දීර්ඝ වූ සසර ගමනේ තවත් එක් භවයක්. මේක නෙමෙයි එකම ජීවිතේ. අපි ඊට කලිනුත් ජීවත් වුණා. ඉදිරියට නැවත නැවතත් මේකට ඒවි. හැබැයි ඒ මනුස්සයෙක් විදියටමද කියන 'ගැරන්ටිය' නැහැ.

ඉතින් මම සිව්වැනි දශකය ආරම්භ කරනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සපුරාලිය යුතු, ආරම්භ කළ යුතු, පුද්ගලික හා සමාජීය කාර්යයන් තවත් තිබෙනවා. මේ දශකය බොහෝ විට ඒ සඳහා වෙන් වේවි. නමුත් එතනින් ඉවර වෙන්නේ නැහැ. දිගින් දිගටම යනවා. ජීවිතයද? ඔව්. එතකොට සසර? ඔව්. පොඩ්ඩක් ඉන්න. නැහැ, ඒක එහෙම විය යුතු නැහැ.

2011/12/13

අප භාවිතා කරන දිනදසුනේ අධි පෝය අවුලක්ද?

ලෝකයේ දිනදර්ශන බොහෝමයකි. ඉන් එක් දිනදර්ශනයක් වන 'මායා' කැලැන්ඩරයේ යෙදීමකට අනුව ලබන වසරේ දෙසැම්බර් මාසයේ දී ලෝක විනාශයක් සිදුවන බවට සමහරු විශ්වාස කරති. මේ වන විට එය තේමා කරගනිමින් චිත්‍රපට ද නිපදවා ඇත. තවත් සමහරුන් ලෝක විනාශයෙන් බේරීමට හෝ ලෝක විනාශය සිදුවද්දී තමන් බේරීමට මඟක් ගැන හෝ කල්පනා කරති. දිනදසුනක් ඇති කළ කලබගෑනියක තරම!

අපේ රටේ ද දිනදර්ශන ක්‍රම කිහිපයක් භාවිතා වේ. ලංකාවේ සම්මත දිනදසුන වනුයේ ලෝකයේ බොහෝ රටවල භාවිතා වන ග්‍රෙගරියන් කැලැන්ඩරයයි. මෙම දිනදසුන 13 වැනි ග්‍රෙගරි පාප්තුමා විසින් මීට වසර 400 කට පෙර හඳුන්වා දෙන ලද්දකි. එහෙත් එහි කිසිදු විද්‍යාත්මක බවක් නැත. කෙටියෙන් කිවහොත් අංක ගණිතමය ගනුදෙනුවකි. මේ අතර, නොයෙක් ආගම් මත හා ජාතීන් මත පදනම් වූ, ඒ අනුව බිහි වූ දිනදසුන් බොහෝමයකි.

උදාහරණයක් වශයෙන් ගතහොත් මුස්ලිම්වරු 'හිජ්රි' කැලැන්ඩරය භාවිතා කරති. ඔවුන්ගේ සියලු ආගමික හා සංස්කෘතික අංග ඒ අනුව සිද්ධ වේ. මේ අතර බෞද්ධ දිනදර්ශනයක් ද පවතී. බුද්ධ වර්ෂ ක්‍රමය නොහොත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ සිට ගත වූ කාලය දක්වන්නේ එයිනි. එමෙන්ම, සිංහල මාස ක්‍රමයක් ද පවතී. බක්, වෙසක්, පොසොන්, ආදී වශයෙන් භාවිතා වනුයේ එයයි. නමුත් භාවිතාවේ පවතින්නේ පෙර කී බෞද්ධ දිනදර්ශනයේත්, සිංහල ක්‍රමයේත් සම්මිශ්‍රණයකි. මෙහිදී බුද්ධ වර්ෂ අනුසාරයෙන් වසරත්, සිංහල ක්‍රමයෙන් මාසයත්, සඳ අනුව තිථියත්, දවසත් එකට එකතු කර සම්පූර්ණ දිනයක් පවසනු ලැබේ. මෙය ඉතා යහපත් නාමකරණයක් වුවද, සාංවත්සරික වශයෙන් සමරන දින සඳහා යොදා ගැනීමේ දී යම් අවුලක් තිබේ.  එයට හේතු වී ඇත්තේ පෝය මත පදනම් වූ චන්ද්‍ර මාස ක්‍රමයත්, සූර්ය මාස ක්‍රමයත් එකට මිශ්‍ර වීම නිසා යැයි මට හැඟේ. මේ ක්‍රම ද්විත්වයේම ඒවාට ආවේණික ප්‍රයෝජන තිබේ. දින සහ මාස නිවැරදිව හැඳින්වීම සඳහා චන්ද්‍ර මාස ක්‍රමය වඩාත් සුදුසුය. සෘතු ආදී පෘථිවිය සූර්යයා වටා යන ගමන නිසා ඇතිවන වෙනස්කම් හා අනුරූපණය වීම සඳහා සූර්යය මාස ක්‍රමය වැදගත් වේ. එසේ නම් අවුලක් පෙනෙන්නට තිබෙන්නේ ඇයි? එය අපගේ භාවිතාව නිසා පැන නැඟුණකි. කෙටියෙන් කිවහොත් සාංවත්සරික සැමරුම් හා අධි පෝය සංකල්පය නොවන්නට මෙය ප්‍රශ්නයක් නොවනු ද නැත.

කාරණය තේරුම් ගැනීමට ලබන වසර උදාහරණයක් ලෙස ගනිමු. 2012 වසරේ අගෝස්තු මාසයේ (සම්මත බටහිර කැලැන්ඩරය අනුව) පොහොය දින දෙකකි. ඒ නිකිණි සහ අධි බිනර යනුවෙනි. මුළු වසරටම පෝය දින 13 කි. සෑම අධික අවුරුද්දකම අධි පෝයක් යෙදෙන බැවිනි. බුදුරදුන්ගේ තෙමඟුල ප්‍රධාන කොටගත් සියලු ආගමික සංවත්සර ආදිය බටහිර කැලැන්ඩරයේ ඒ ඒ සම්මත මාසවල නොවරදවාම යෙදේ. නිදසුනක් වශයෙන් වෙසක් සැමරුම සෑම වසරකම මැයි මාසයේ ම යෙදේ. පෝය 13ක් තිබුණා කියා වෙසක් සැමරුම ඊළඟ වසරේ අප්‍රේල් මාසයේ සැමරෙන්නේ නැත. බුද්ධ ශාසනය තුළ වාර්ෂිකව නියමිත කාලයකටම යෙදෙන සිදුවීමක් වශයෙන් වස් සමාදන් වීම පෙන්වා දිය හැකි අතර එය බුදුරජාණන්වහන්සේගේ නියමයක් අනුව ම සිදු වන්නකි. වස් සමාදන් වනුයේ වර්ෂා කාලයේ ය. ශාසන ඉතිහාසයේ වාර්තා වන සියලු වැදගත් සිදුවීම් යෙදී ඇත්තේ ද ප්‍රධාන පෝය දිනවලය. බුදුන් දවස අධි පෝය දිනයක් පිළිබඳව කිසිදු තැනක වාර්තා නොවේ. මෙයට හේතුව කුමක්ද යන්න ඉතිහාසඥයන් විසින් සොයා බැලිය යුතු කරුණකි. නැතහොත් අප සමරන සම්බුද්ධ ජයන්තිය ආදී සංවත්සර නිවැරදි නොවේ යැයි කෙනෙකුට තර්කයක් ඉදිරිපත් කළ හැකිය. එපමණද, මෙය බටහිර ක්‍රමය අනුගත කරගැනීමට ගොස් ඇති කරගත් අවුලක් වශයෙන් ද අර්ථ දැක්වීමට ඉඩ ඇත. එනිසා නිරවුල් අවබෝධයක් ඇති දැනුමැති කෙනෙක් මේ පිළිබඳව පැහැදිලි කීරීම ඉතා වටනේය.

2011/12/03

පඩි වැඩි වීම

මෙවර අයවැයෙන් රජයේ සේවකයින්ගේ පඩි වැඩි වුණි. පඩි වැඩිවීමක් යැයි පැවසුව ද, වැඩි වූයේ මූලික වැටුප නොවේ. දීමනාවකි. කෙසේ වුවද පඩිය වැඩි වුණි. මම නම් මෙලෙසින් පඩි වැඩිවෙනවාට අකැමැත්තෙමි. බොහෝ දෙනෙකුට මේ බව පැවසූ විට ඔවුහු මාත් සමඟ විවාදයකට පැටලෙති. ඊට එකඟ නොවෙති. එය සාධාරණය. එය ස්වාභාවිකය. එය එසේ නම් මා සිතන ආකාරය අස්වාභාවික විය යුතුය. නැත. මෙලෙස සිතන්නට මට සාධාරණ හේතු තිබේ.

පළමුවැන්න නම් මෙලෙස වැටුප වැඩිවන්නේ රජයේ සේවකයන්ගේ පමණකි. රටේ බහුතරයක් වූ පුද්ගලික අංශයේ සේවකයන්ට මේ පඩි වැඩිවීම බලනොපායි. දෙවැන්න නම් දීර්ඝ කාලීනව මුදල බාල්දු විය හැකි බැවිනි. පැහැදිලි කිරීම මෙසේයි. මගේ වැටුප වැඩිවන බැවින් අන් අයගේ වැටුප වැඩි වුණත් නැතත් මට කම් නැත. ඒ සිතිය හැකි එක් ආකාරයකි. නමුත් සාමාන්‍යයෙන් පවුලක සියලු දෙනාම රජයේ සේවකයෝ නොවෙති. ඒ අතර තවත් සමහරෙක් ගොවිතැන හෝ තමන්ගේම ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක හෝ නිරත වෙති. ඒ සියලු දෙනාගේම මාසික ආදායම මෙලෙසින් වැඩි නොවේ. නමුත්, රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ මුළු මහත් රටේම බදු ගෙවන ජනතාවගේ මුදලිනි. එයට, පෙර කී සියලු දෙනාම අයිති වෙති. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළ විට (දීමනා වශයෙන් හෝ) ඒ සඳහා අමතර වියදමක් දැරීමට රජයට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසා ඒ මුදල කොහෙන් හෝ සපයා ගත යුතුය. සාමාන්‍යයෙන් රජය විසින් එකී මුදල සොයාගනු ලබන්නේ ජනතාවගෙන් අය කරන බදු ආදී ගාස්තු වැඩි කිරීමෙනි. එවිට සිදුවන්නේ කුමක්ද? පෙර කී වැටුප වැඩිවුණ රජයේ සේවකයාටත්, වැටුප් වැඩිවීමක් නොලද පුරවැසියාටත්, වැඩියෙන් බදු ගෙවීමට සිදු වේ. එනම් වක්‍රාකාරව ඔවුන් සියලු දෙනාගේ ම වියදම වැඩි වේ. මෙයින් වඩාත් පීඩාවට පත්වන්නේ තම මාසික ආදායමේ කිසිදු වැඩිවීමක් නොලද පුද්ගලික අංශයේ සේවකයින් හා රජයේ සේවය නොකරන අතිමහත් බහුතරය ය. එනිසා මෙලෙසින් එක කොටසකගේ පමණක් මාසික ආදායම වැඩිවීම සාධාරණ නොවේ. එබැවින් සියලු දෙනාට සහනයක් දැනෙන ක්‍රමයක් යෝජනා කරමි.

මේ සඳහා සියලු පුද්ගලයන්ගේ මාසික ආදායම වැඩි වීම අනිවාර්ය නොවේ. ඒ වෙනුවට සියලු දෙනාගේ මාසික වියදම අඩු කිරීමෙන් ද ඒ හා සමාන ප්‍රතිඵලයක් ලබාගත හැකිය. මාසික වියදම අඩු වීම යනු මුදල් ඉතිරි වීමය. මෙය සිදුවන්නේ ජීවන වියදම අඩු වීමෙනි. ජීවන වියදම අඩු වීමට නම් රටේ සෑම ප්‍රදේශයකම භාණ්ඩ හා සේවා මිල අඩු විය යුතුය. අඩු කළ යුතුය. අවම වශයෙන් අත්‍යාවශ්‍ය යැයි ගැනෙන භාණ්ඩවල මිල හෝ අඩු වුවහොත් එය සියලු රටවැසියනට දැනෙනු ඇත. එවිට පඩි වැඩිවීමක් අනවශ්‍යය. රටේ උද්ධමනයට ද මෙය හිතකර ලෙස බලපායි.

මා පෙර සඳහන් කළ දෙවන හේතුව බදු නිසා භාණ්ඩ හා සේවා මිල වැඩිවීම මත පදනම් වේ. එක් අතකින් ආදායම වැඩි කළ ද අනෙක් අතින් බදු නිසා බඩු මිල වැඩි විය හැකිය. ප්‍රතිලය කුමක්ද? මුදල බාල්දු වීමයි. මෑතකදී ලෝකයේ සමහර රටවලින් මෙවැනි තත්ත්වයන් වාර්තා වී තිබේ. එම රටවල ජනතාව පාන් රාත්තලක් මිලදී ගැනීමට පවා මුදල් නෝට්ටු මිටියක් රැගෙන යන තත්ත්වයට පත්වුණි. එවැනි තත්ත්වයකට අපේ රට පත්විය යුතු නැත. සමහරවිට රු 5000 මුදල් නෝට්ටුවක් මුද්‍රණය කරන්නට මහ බැංකුවට සිදුවූයේ ද මේ නිසා වන්නට පුළුවනි.

එමනිසා අප සාම්ප්‍රදායික "වැටුප් වැඩි කරනු" චින්තනයෙන් මිදිය යුතුය. ඒ වෙනුවට ජීවන වියදම අඩු කරන ක්‍රම ගැන සිතිය යුතුය. වගකිවයුත්තන් ජීවන වියදම අඩු කිරීමට ගතහැකි ක්‍රියා මාර්ග ගත යුතුය. එය අපේ රටේ ආර්ථිකයේ යහපැවැත්ම පිණිස ද සියලු පුරවැසියන්ගේ යහපත් ජීවන තත්ත්වයක් පිණිස ද හේතු වනු ඇත.