Header Title


උදනිඳුගේ සිතුවිලි

2011/08/25

උපවාසය

මේ ගතවන්නේ මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ මාසය හෙවත් 'රාමසාන්' මාසයයි. මෙම මාසය තුළ මුස්ලිම් බැතිමත්හු දිනපතා උපවාසයේ යෙදෙති. එනම් අලුයම් කාලයේ සිට සවස් වරුව දක්වා ආහාර පාන ගැනීමෙන් වැළකී සිටිති. ඉස්ලාම් ආගමේ මෙන්ම සමහර කිතුණුවන් ද, කතෝලික බැතිමත්හු ද, (උදා:- පාස්කු සමයේ දී) උපවාසයේ යෙදෙති. මේ ආගම් ද්විත්වයේම සම්භවය මැද පෙරදිග කලාපයේ සිදු වුවද, සංකල්පයක් ලෙස 'උපවාසය' වූ කලී පෙරදිගට වඩාත් නැඹුරු වූ එකකි.

හින්දු ආගමේ දී උපවාසය සඳහා වැදගත් තැනක් ලැබේ. ඊට අමතරව ජෛන වැනි ආගම්වලද මේ සඳහා සුවිශේෂී තැනක් හිමි වේ. මූලිකව භාරතය හා එහි ශිෂ්ටාචාර ආශ්‍රයෙන් පැන නැගි ආගම් හා දර්ශන බොහෝමයකම මෙය දක්නට ලැබේ. බුදු දහම උපවාසය ප්‍රතික්ෂේප කරනුයේ එය මධ්‍යම ප්‍රතිපදාවට පටහැනි වන බැවිනි. ශරීරයට අධික සැප දීමත්, අධික දුක් දීමත්, මැදුම් පිළිවෙතින් බැහැර කෙරේ. එනමුදු, ආධ්‍යාත්මික හා කායික සුඛ විහරණය පිණිස භික්ෂුන් වහන්සේලා විකාල භෝජනයේ (ඉර හැරුණු පසුව ආහාර ගැනීම) නොයෙදිය යුතු බවට විනය නීතියක් තිබේ. පෝය දිනවල පෙහෙවස් සමාදන් වන ගිහියන් ද මේ ශික්ෂා පදය සමාදන්ව ආරක්ෂා කරති. එය උපවාසයක්ම නොවුණත්, සන්ධ්‍යා වරුවේ සිදුකරන ආහාර වර්ජනයක් සේ අවශ්‍ය නම් සැලකිය හැකිය.

ඉහත සාකච්ඡාවට බඳුන් වූයේ උපවාසයේ ආගමික පැතිකඩකි. එනමුත් පෙරදිග ශිෂ්ටාචාරයන් හා සංස්කෘතීන්හි ප්‍රමුඛස්ථානයක් ගත් ඉන්දියාවෙන්ම උපවාසය සඳහා වෙනත් අර්ථකථනයක් ද නිර්මාණය වුණි. එහි පුරෝගාමියා මහත්මා ගාන්ධිතුමාය. එතුමා සිය අවිහිංසාවාදී ප්‍රතිපත්තිය තුළට උපවාසය ඈඳා ගත්තේ අධිරාජ්‍යවාදීන්ගේ මර්ධනයට එරෙහිව නැගී සිටීමටත්, සමාජ දේශපාලනික බලපෑමක් ඇති කිරීම පිණිසත් ය. ඔහුගේ ජීවිත කතාව අධ්‍යයනය කළ කෙනෙකුට දැන ගත හැකි තවත් කරුණක් වනුයේ, ගාන්ධි සිය ශරීර සෞඛ්‍යය වෙනුවෙන් ද, ආධ්‍යාත්මයේ නිර්මාණය වුණු අපවිත්‍ර සිතුවිලි මර්ධනය පිණිස ද, උපවාසය යොදාගත් බවයි. ගාන්ධි මෙන් පූර්ණ අවිහිංසාවාදී ප්‍රතිපත්තියක නොපිහිටිය ද, ඔහු අනුගමනය කරමින් ඒ මගේ ගමන් කරන චරිතයක් ලෙස සමාජ ක්‍රියාකාරිකයකු වන අන්නා හසාරේ හැඳින්විය හැකිය. මේ ලිපිය ලියන මොහොත වන විටත් හෙතෙම නොකඩවා උපවාසයක යෙදී දින දහයකි. ඒ, ඉන්දියාව තුළ දූෂණ වංචා පිටුදැකීමේ නීති ගෙන එන ලෙසට ඉන්දීය රජයට බල කිරීම සඳහාය.

අපේ රටේ ද නොයෙක් විට නොයෙක් දෙනා උපවාස කරති. ඒ අතර, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, දේශපාලඥයන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ආදිය වේ. මේ උපවාස සඳහා විටෙක භික්ෂුන් වහන්සේලා ද එක්වෙති. බොහෝ විට උපවාසයේ මුලට 'මාරාන්තික' යන විශේෂණය ද එක්කර ගනී. එනමුත්, මා සිතන ආකාරයට නම් මෙවැනි උපවාස සියල්ලක්ම නිසර්ගයෙන්ම මාරාන්තික වේ. හේතුව, ඔවුන් උපවාසය අරඹනුයේ යම් ඉල්ලීමක් මුල් කරගෙන ද, එය ඉටුනොවන්නේ නම්, උපවාසය ද නොනැවතීමේ ඉඩක් පවතින බැවිනි. මහත්මා ගාන්ධි එක දිගට සති තුනක් උපවාස කළේ ද මේ නිසාය. ඒ තුළින් මේ සංකල්පයට අමුතුම අරුතක් ද ආරෝපණය විය.