Header Title


උදනිඳුගේ සිතුවිලි

2011/04/19

නම වෙනස් කිරීමයි

මෙතෙක් කලක් "උදේන්ද්‍රගේ සිතුවිලි" නම් වූ මේ බ්ලොගය අද සිට "උදනිඳුගේ සිතුවිලි" ලෙස නම් කරමි. 'සුරනිඳු', 'නරනිඳු', ආකාරය අනුව යමින් සකු ආරෙන් මිදීමට සිත් වුණු හෙයිනි. 'සුරිඳු', 'නරිඳු', අයුරින් 'උදිඳු' කරන්නට සිතුණ ද ගණ ගැනත් යම්තම් සිතා පෙර ආකාරයට වඩාත් කැමති වීමි. එනමුදු දෙවදනේ ම මුලකුරු තුන ලඝු බැගින් සමන්විතව දේව ගණයට අයිති බැවින් ඒ ගැනද එතරම් සිතන්නට දෙයක් නොතිබුණි. අක්ෂර සම්බන්ධයෙන් ද කරුණු එසේම යැ. වෙනසක් තිබේ නම්, වාග් ශාස්ත්‍රය පිළිබඳ දැනුමැතියෙකුගෙන් ඒ ගැන දැනගන්නට උදක්ම කැමැත්තෙමි.

2011/04/15

සුභ අලුත් අවුරුද්දක් වේවා!

ලැබුවා වූ නව වසර සැමටම සුභ නව වසරක් වේවා! මේක ලියන්න ගත්තේ අවුරුද්දට වැඩ අල්ලන්න. මම සාමාන්‍යයෙන් අවුරුද්දට වැඩ අල්ලන්නේ පොතක් කියවලා, ලිපියක් ලියලා, කෝඩිං ටිකක් කරලා වගේ කටයුතු වලින්. මේ අවුරුද්දේ ආහාර අනුභව කරන නැකත යෙදුණේ ටිකක් දවල් වෙලා නිසා එතකං බඩගින්න ඉවසගෙන හිටියා. ඊට පස්සේ බඩ පැලෙන්න කෑවා. ඒත් කිරිබත් නම් ටිකයි කෑවේ. මොකද හෙම්බිරිස්සා ගතියක් තිබුණ නිසා.

ශ්‍රී ලාංකීය අපේ අවුරුද්ද මේ සිංහල අවුරුද්දයි. ඒ විතරක්ද, ජනවාරි මාසයේ උදාවන ව්‍යවහාරික නාමික නව වසරට වඩා මේක හැම අතින්ම විද්‍යාත්මකයි. හේතුව මේක සූර්යයා හා බැඳුණු ගණනය කිරීම් ඇසුරෙන් සැමරෙන අවුරුද්දක්. ජනවාරියේ යෙදෙන 'බටහිර' අවුරුද්දට ඒ වගේ කිසිම පදනමක් නැහැ. දේශගුණය වුණත් මේ හා යා වෙලා. කාලගුණයේ විපරිතවීම් නිතරම දකින්න ලැබුණත් බලන්න බක් මාසය වෙනකොට 'බක් මහ අකුණු' කොටන්න ගන්න හැටි! අනික මේ අවුරුද්දේ කොහා හරි 'ට්‍රැක්' එකට වැටිලා වගෙයි. පහුගිය අවුරුදු තුන හතරකම කොහා වැරදි කාලේ කෑ ගහනවා ඇහුණත් මේ අවුරුද්දේ නම් එහෙම වුණේ නැහැ.

අවුරුදු සිරිත් විරිත් වුණත් හරි විශේෂ අත්දැකීම්. මුළු රටම එකම වෙලාවට බොහෝ දුරට එක හා සමාන කාර්යයන් කිහිපයක යෙදෙනවායි කියන එකම කොච්චර අපූරුද? හැබැයි දැන් නම් මාධ්‍යකාරයෝ මේවට අරක්ගෙන. මේ රටේ කොහේවත් නොකෙරෙන, මීට කලින් කෙරුණාද කියලවත් විශ්වාස නැති අමුතු අමුතු චාරිත්‍ර ටීවී එකෙන් පෙන්නනවා. මේවා මිනිස්සුන්ට දෙන්නෙත් බොරුවට ජාතිකත්වය වගේ දෙයක් ආරූඪ කරලා. හැබැයි බිම් මට්ටමේ, ගම් මට්ටමේ, තත්ත්වය පොළොවේ පය ගහලා ජීවත්වෙන මිනිස්සු දන්නවා. ඒ නිසා අපි මාධ්‍යවලින් පෙන්නන දේ බලලා, රස විඳලා, 'ඇත්ත' චාරිත්‍ර ටික හරියට කරනවා.

අවුරුද්ද සමරන විදිහේ පොඩි පොඩි වෙනස්කම් නගරබදවත් ගම්බදවත් දකින්න තියෙනවා. ගම්බද මිනිස්සුන්ට නගරයට වඩා ලොකු නිදහසක්, පරිසරය එක්ක සමීපවීමක් තියෙනවා. නගරයේ අපි තාප්ප වලින් වටවෙලා, ගහකොළ සීමිතයි, අවුරුදු චාරිත්‍රත් උපකරණ යොදාගෙන සැමරෙන තත්වයක් තියෙන්නේ. ඒ අතරත්, හැකිතරම් ඉස්සර තිබුණු සරල බව, දේශීය බව, රැකගන්න උත්සාහ දරන පිරිස් ඉන්නවා. මොකද මේවා ඊළඟ පරම්පරාවට ව්‍යාප්ත වෙන්න ඕනෙ. අපේ සංස්කෘතිකාංග නොනැසී, වඳ නොවී පවතින්නේ එතකොටයි.

අලුත් අවුරුද්දේ අලුත් වීම ගැන කතා නොකළොත් ලොකු අඩුවක්. අපි භෞතික වශයෙන් හැමදෙයක්ම අලුත් කළාට ආධ්‍යාත්මික වශයෙන් අලුත් වෙනවාද? අපේ ආකල්ප වෙනස් කර ගන්නවාද? නරක ගති පැවතුම් අතහැරලා හොඳ දේ හරි දේ ජීවිතයට එකතු කරගන්නවාද? මේ ගැන නම් ඉතා ඕනෑකමින් හිතලා බලන්න ඕනෙ. නැත්නම් අවුරුද්ද අලුත් වේවි. අපි එකම තැන ඉඳීවි. ඇඟට නොදැනීම පරණ වේවි. එසේ නොවේවායි පතමි!