Header Title


උදනිඳුගේ සිතුවිලි

2011/12/20

දශක තුනයි

පසුගියදා මගේ ජීවිතයේ දශක තුනක් සම්පූර්ණ කළෙමි. දශක තුනක්? ඔවි, දශක තුනක්! ළමා කාලය, පාසල් කාලය, නව යොවුන් විය, හරියට අද ඊයේ වගේ. ඒත්, දැන් මට අවුරුදු තිහක් සම්පූර්ණයි. කාලය ගෙවුණු ඉක්මන! මම බර කල්පනාවකට වැටුණෙමි. තවත් මෙවැනිම දශක තුනකින් මා විශ්‍රාම යනු ඇත. ඉනික්බිති තවත් වසර කිහිපයක් ජීවත් වී මිය යනු ඇත. සැබෑය, මරණය කවදා කෙලෙස සිදුවේදැයි කිව නොහැකිය. ඒත් සාමාන්‍ය තක්සේරුවකට අනුව එසේ කීවෙමි.

ජීවත් වන කාලය ඉතා දිග එකක් ලෙස පෙණුනද සැබෑව එය නොවේ. ඒත්, අපි මොනාද කරන්නේ? සෙල්ලම් කරනවා, ඉගෙන ගන්නවා, තව දුරටත් ඉගෙන ගන්නවා, සල්ලි පුළුවන් තරම් හම්බ කරනවා, පුළුවන් ඉස්තරම් විදියට ඉඩමක් අරං ගෙයක් හදනවා (සමහරවිට නාකි වෙලා මැරිලා යනකම්ම ගෙදර 'මොඩිෆයි' කරනවා), ලස්සන ගෑණියක් හොයලා කසාද බඳිනවා, ඊට පස්සේ ළමයි හදනවා, ළමයින්ට උගන්නලා ලොකු මහත් කරනවා, උන්ව දීග දෙනවා, ඊට පස්සේ විශ්‍රාම ගිහින් විශ්‍රාම සුවය යැයි සිතාගෙන ළමයින්ගේ ළමයින් බලනවා, දන්නෙම නැහැ මැරෙන වයසත් ළං වෙනවා, මරණ බයට සිල් ගන්න යනවා භාවනා කරනවා, ඒත් හිත හදාගන්න බැහැ, හදා ගත්ත දේවල් දාලා යන්නත් බැහැ, අනේ ඉතින් අභාවප්‍රාප්ත වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ගැන හුඟ දෙනෙක් හිතන්නේ නැහැ.

මටත් විසි හත, විසි අට, විසි නව වැනි උපන් දිනවලදී මෙහෙම හිතුණේ නැහැ. එත් 3 යි 0 යි එකතු වෙලා හැදෙන ඉලක්කම (30) හිතට බලපෑමක් කළා. මම ඉතින් ගෙවුණු අවුරුදු 30 ආවර්ජනා කරලා බැලුවා. එක අතකින් විචිත්‍රයි, අසාමාන්‍යයි, පුදුමත් හිතෙනවා. අෂ්ට ලෝක ධර්මයටම මුහුණ පෑවා. එහෙම වෙන්නත් එපැයි. නැතිනම් ඒ කෙනා ජීවත් වෙලා නැහැ. එවැනි ජීවිතයකින් වැඩකුත් නැහැ. ජීවත් වෙන්නේ මොකටද? සමහරු නම් කියන්නේ තව කෙනෙක් ජීවත් කරවීම සඳහා කියලා. තවත් කෙනෙක් කියාවි ඉපදුණ නිසා ජීවත් වෙනවායි කියලා. මම නම් බෞද්ධයෙක් විදියට පුනර්භවය විශ්වාස කරනවා. මේ ජීවිතය තාවකාලික පරිච්ඡේදයක්. දීර්ඝ වූ සසර ගමනේ තවත් එක් භවයක්. මේක නෙමෙයි එකම ජීවිතේ. අපි ඊට කලිනුත් ජීවත් වුණා. ඉදිරියට නැවත නැවතත් මේකට ඒවි. හැබැයි ඒ මනුස්සයෙක් විදියටමද කියන 'ගැරන්ටිය' නැහැ.

ඉතින් මම සිව්වැනි දශකය ආරම්භ කරනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සපුරාලිය යුතු, ආරම්භ කළ යුතු, පුද්ගලික හා සමාජීය කාර්යයන් තවත් තිබෙනවා. මේ දශකය බොහෝ විට ඒ සඳහා වෙන් වේවි. නමුත් එතනින් ඉවර වෙන්නේ නැහැ. දිගින් දිගටම යනවා. ජීවිතයද? ඔව්. එතකොට සසර? ඔව්. පොඩ්ඩක් ඉන්න. නැහැ, ඒක එහෙම විය යුතු නැහැ.

2011/12/13

අප භාවිතා කරන දිනදසුනේ අධි පෝය අවුලක්ද?

ලෝකයේ දිනදර්ශන බොහෝමයකි. ඉන් එක් දිනදර්ශනයක් වන 'මායා' කැලැන්ඩරයේ යෙදීමකට අනුව ලබන වසරේ දෙසැම්බර් මාසයේ දී ලෝක විනාශයක් සිදුවන බවට සමහරු විශ්වාස කරති. මේ වන විට එය තේමා කරගනිමින් චිත්‍රපට ද නිපදවා ඇත. තවත් සමහරුන් ලෝක විනාශයෙන් බේරීමට හෝ ලෝක විනාශය සිදුවද්දී තමන් බේරීමට මඟක් ගැන හෝ කල්පනා කරති. දිනදසුනක් ඇති කළ කලබගෑනියක තරම!

අපේ රටේ ද දිනදර්ශන ක්‍රම කිහිපයක් භාවිතා වේ. ලංකාවේ සම්මත දිනදසුන වනුයේ ලෝකයේ බොහෝ රටවල භාවිතා වන ග්‍රෙගරියන් කැලැන්ඩරයයි. මෙම දිනදසුන 13 වැනි ග්‍රෙගරි පාප්තුමා විසින් මීට වසර 400 කට පෙර හඳුන්වා දෙන ලද්දකි. එහෙත් එහි කිසිදු විද්‍යාත්මක බවක් නැත. කෙටියෙන් කිවහොත් අංක ගණිතමය ගනුදෙනුවකි. මේ අතර, නොයෙක් ආගම් මත හා ජාතීන් මත පදනම් වූ, ඒ අනුව බිහි වූ දිනදසුන් බොහෝමයකි.

උදාහරණයක් වශයෙන් ගතහොත් මුස්ලිම්වරු 'හිජ්රි' කැලැන්ඩරය භාවිතා කරති. ඔවුන්ගේ සියලු ආගමික හා සංස්කෘතික අංග ඒ අනුව සිද්ධ වේ. මේ අතර බෞද්ධ දිනදර්ශනයක් ද පවතී. බුද්ධ වර්ෂ ක්‍රමය නොහොත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ සිට ගත වූ කාලය දක්වන්නේ එයිනි. එමෙන්ම, සිංහල මාස ක්‍රමයක් ද පවතී. බක්, වෙසක්, පොසොන්, ආදී වශයෙන් භාවිතා වනුයේ එයයි. නමුත් භාවිතාවේ පවතින්නේ පෙර කී බෞද්ධ දිනදර්ශනයේත්, සිංහල ක්‍රමයේත් සම්මිශ්‍රණයකි. මෙහිදී බුද්ධ වර්ෂ අනුසාරයෙන් වසරත්, සිංහල ක්‍රමයෙන් මාසයත්, සඳ අනුව තිථියත්, දවසත් එකට එකතු කර සම්පූර්ණ දිනයක් පවසනු ලැබේ. මෙය ඉතා යහපත් නාමකරණයක් වුවද, සාංවත්සරික වශයෙන් සමරන දින සඳහා යොදා ගැනීමේ දී යම් අවුලක් තිබේ.  එයට හේතු වී ඇත්තේ පෝය මත පදනම් වූ චන්ද්‍ර මාස ක්‍රමයත්, සූර්ය මාස ක්‍රමයත් එකට මිශ්‍ර වීම නිසා යැයි මට හැඟේ. මේ ක්‍රම ද්විත්වයේම ඒවාට ආවේණික ප්‍රයෝජන තිබේ. දින සහ මාස නිවැරදිව හැඳින්වීම සඳහා චන්ද්‍ර මාස ක්‍රමය වඩාත් සුදුසුය. සෘතු ආදී පෘථිවිය සූර්යයා වටා යන ගමන නිසා ඇතිවන වෙනස්කම් හා අනුරූපණය වීම සඳහා සූර්යය මාස ක්‍රමය වැදගත් වේ. එසේ නම් අවුලක් පෙනෙන්නට තිබෙන්නේ ඇයි? එය අපගේ භාවිතාව නිසා පැන නැඟුණකි. කෙටියෙන් කිවහොත් සාංවත්සරික සැමරුම් හා අධි පෝය සංකල්පය නොවන්නට මෙය ප්‍රශ්නයක් නොවනු ද නැත.

කාරණය තේරුම් ගැනීමට ලබන වසර උදාහරණයක් ලෙස ගනිමු. 2012 වසරේ අගෝස්තු මාසයේ (සම්මත බටහිර කැලැන්ඩරය අනුව) පොහොය දින දෙකකි. ඒ නිකිණි සහ අධි බිනර යනුවෙනි. මුළු වසරටම පෝය දින 13 කි. සෑම අධික අවුරුද්දකම අධි පෝයක් යෙදෙන බැවිනි. බුදුරදුන්ගේ තෙමඟුල ප්‍රධාන කොටගත් සියලු ආගමික සංවත්සර ආදිය බටහිර කැලැන්ඩරයේ ඒ ඒ සම්මත මාසවල නොවරදවාම යෙදේ. නිදසුනක් වශයෙන් වෙසක් සැමරුම සෑම වසරකම මැයි මාසයේ ම යෙදේ. පෝය 13ක් තිබුණා කියා වෙසක් සැමරුම ඊළඟ වසරේ අප්‍රේල් මාසයේ සැමරෙන්නේ නැත. බුද්ධ ශාසනය තුළ වාර්ෂිකව නියමිත කාලයකටම යෙදෙන සිදුවීමක් වශයෙන් වස් සමාදන් වීම පෙන්වා දිය හැකි අතර එය බුදුරජාණන්වහන්සේගේ නියමයක් අනුව ම සිදු වන්නකි. වස් සමාදන් වනුයේ වර්ෂා කාලයේ ය. ශාසන ඉතිහාසයේ වාර්තා වන සියලු වැදගත් සිදුවීම් යෙදී ඇත්තේ ද ප්‍රධාන පෝය දිනවලය. බුදුන් දවස අධි පෝය දිනයක් පිළිබඳව කිසිදු තැනක වාර්තා නොවේ. මෙයට හේතුව කුමක්ද යන්න ඉතිහාසඥයන් විසින් සොයා බැලිය යුතු කරුණකි. නැතහොත් අප සමරන සම්බුද්ධ ජයන්තිය ආදී සංවත්සර නිවැරදි නොවේ යැයි කෙනෙකුට තර්කයක් ඉදිරිපත් කළ හැකිය. එපමණද, මෙය බටහිර ක්‍රමය අනුගත කරගැනීමට ගොස් ඇති කරගත් අවුලක් වශයෙන් ද අර්ථ දැක්වීමට ඉඩ ඇත. එනිසා නිරවුල් අවබෝධයක් ඇති දැනුමැති කෙනෙක් මේ පිළිබඳව පැහැදිලි කීරීම ඉතා වටනේය.

2011/12/03

පඩි වැඩි වීම

මෙවර අයවැයෙන් රජයේ සේවකයින්ගේ පඩි වැඩි වුණි. පඩි වැඩිවීමක් යැයි පැවසුව ද, වැඩි වූයේ මූලික වැටුප නොවේ. දීමනාවකි. කෙසේ වුවද පඩිය වැඩි වුණි. මම නම් මෙලෙසින් පඩි වැඩිවෙනවාට අකැමැත්තෙමි. බොහෝ දෙනෙකුට මේ බව පැවසූ විට ඔවුහු මාත් සමඟ විවාදයකට පැටලෙති. ඊට එකඟ නොවෙති. එය සාධාරණය. එය ස්වාභාවිකය. එය එසේ නම් මා සිතන ආකාරය අස්වාභාවික විය යුතුය. නැත. මෙලෙස සිතන්නට මට සාධාරණ හේතු තිබේ.

පළමුවැන්න නම් මෙලෙස වැටුප වැඩිවන්නේ රජයේ සේවකයන්ගේ පමණකි. රටේ බහුතරයක් වූ පුද්ගලික අංශයේ සේවකයන්ට මේ පඩි වැඩිවීම බලනොපායි. දෙවැන්න නම් දීර්ඝ කාලීනව මුදල බාල්දු විය හැකි බැවිනි. පැහැදිලි කිරීම මෙසේයි. මගේ වැටුප වැඩිවන බැවින් අන් අයගේ වැටුප වැඩි වුණත් නැතත් මට කම් නැත. ඒ සිතිය හැකි එක් ආකාරයකි. නමුත් සාමාන්‍යයෙන් පවුලක සියලු දෙනාම රජයේ සේවකයෝ නොවෙති. ඒ අතර තවත් සමහරෙක් ගොවිතැන හෝ තමන්ගේම ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක හෝ නිරත වෙති. ඒ සියලු දෙනාගේම මාසික ආදායම මෙලෙසින් වැඩි නොවේ. නමුත්, රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ මුළු මහත් රටේම බදු ගෙවන ජනතාවගේ මුදලිනි. එයට, පෙර කී සියලු දෙනාම අයිති වෙති. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළ විට (දීමනා වශයෙන් හෝ) ඒ සඳහා අමතර වියදමක් දැරීමට රජයට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසා ඒ මුදල කොහෙන් හෝ සපයා ගත යුතුය. සාමාන්‍යයෙන් රජය විසින් එකී මුදල සොයාගනු ලබන්නේ ජනතාවගෙන් අය කරන බදු ආදී ගාස්තු වැඩි කිරීමෙනි. එවිට සිදුවන්නේ කුමක්ද? පෙර කී වැටුප වැඩිවුණ රජයේ සේවකයාටත්, වැටුප් වැඩිවීමක් නොලද පුරවැසියාටත්, වැඩියෙන් බදු ගෙවීමට සිදු වේ. එනම් වක්‍රාකාරව ඔවුන් සියලු දෙනාගේ ම වියදම වැඩි වේ. මෙයින් වඩාත් පීඩාවට පත්වන්නේ තම මාසික ආදායමේ කිසිදු වැඩිවීමක් නොලද පුද්ගලික අංශයේ සේවකයින් හා රජයේ සේවය නොකරන අතිමහත් බහුතරය ය. එනිසා මෙලෙසින් එක කොටසකගේ පමණක් මාසික ආදායම වැඩිවීම සාධාරණ නොවේ. එබැවින් සියලු දෙනාට සහනයක් දැනෙන ක්‍රමයක් යෝජනා කරමි.

මේ සඳහා සියලු පුද්ගලයන්ගේ මාසික ආදායම වැඩි වීම අනිවාර්ය නොවේ. ඒ වෙනුවට සියලු දෙනාගේ මාසික වියදම අඩු කිරීමෙන් ද ඒ හා සමාන ප්‍රතිඵලයක් ලබාගත හැකිය. මාසික වියදම අඩු වීම යනු මුදල් ඉතිරි වීමය. මෙය සිදුවන්නේ ජීවන වියදම අඩු වීමෙනි. ජීවන වියදම අඩු වීමට නම් රටේ සෑම ප්‍රදේශයකම භාණ්ඩ හා සේවා මිල අඩු විය යුතුය. අඩු කළ යුතුය. අවම වශයෙන් අත්‍යාවශ්‍ය යැයි ගැනෙන භාණ්ඩවල මිල හෝ අඩු වුවහොත් එය සියලු රටවැසියනට දැනෙනු ඇත. එවිට පඩි වැඩිවීමක් අනවශ්‍යය. රටේ උද්ධමනයට ද මෙය හිතකර ලෙස බලපායි.

මා පෙර සඳහන් කළ දෙවන හේතුව බදු නිසා භාණ්ඩ හා සේවා මිල වැඩිවීම මත පදනම් වේ. එක් අතකින් ආදායම වැඩි කළ ද අනෙක් අතින් බදු නිසා බඩු මිල වැඩි විය හැකිය. ප්‍රතිලය කුමක්ද? මුදල බාල්දු වීමයි. මෑතකදී ලෝකයේ සමහර රටවලින් මෙවැනි තත්ත්වයන් වාර්තා වී තිබේ. එම රටවල ජනතාව පාන් රාත්තලක් මිලදී ගැනීමට පවා මුදල් නෝට්ටු මිටියක් රැගෙන යන තත්ත්වයට පත්වුණි. එවැනි තත්ත්වයකට අපේ රට පත්විය යුතු නැත. සමහරවිට රු 5000 මුදල් නෝට්ටුවක් මුද්‍රණය කරන්නට මහ බැංකුවට සිදුවූයේ ද මේ නිසා වන්නට පුළුවනි.

එමනිසා අප සාම්ප්‍රදායික "වැටුප් වැඩි කරනු" චින්තනයෙන් මිදිය යුතුය. ඒ වෙනුවට ජීවන වියදම අඩු කරන ක්‍රම ගැන සිතිය යුතුය. වගකිවයුත්තන් ජීවන වියදම අඩු කිරීමට ගතහැකි ක්‍රියා මාර්ග ගත යුතුය. එය අපේ රටේ ආර්ථිකයේ යහපැවැත්ම පිණිස ද සියලු පුරවැසියන්ගේ යහපත් ජීවන තත්ත්වයක් පිණිස ද හේතු වනු ඇත.

2011/11/15

'සෙනසුරු මාරුව' ඔබට කොහොමද?

ජ්‍යොතිෂයට අනුව අද දින ශනි ග්‍රහයා නොහොත් සෙනසුරු තුලා රාශියට පැමිණේ. බොහෝ දෙනා මෙය 'සෙනසුරු මාරුව' නමින් හඳුන්වයි. මේ පිළිබඳව නොයෙකුත් පුද්ගලයින් නොයෙකුත් අදහස් දක්වද්දී ඒ පිළිබඳව මට සිතෙන යමක් කියන්නට සිතීමි.

සෙනසුරු මාරුවෙන් පසුව අප වයසට යනු ඇත. අප ජරාවට එනම් දිරීමට පත්වනු ඇත. ලෙඩ වනු ඇත. ලෙඩ හැදුනවුන් සනීප වනු ඇත. මරණයට පත් වනු ඇත. රහත් වී නැත්නම් නැවත ඉපදෙනු ද ඇත. කළ හොඳ සහ නරක අනුව සුගතියේ හෝ දුගතියේ උපදිනු ඇත. එපමණද? සෙනසුරු මාරුවෙන් පසුව ද අපට සැප විඳීමට ලැබෙනු ඇත. දුක් විඳීමට ද සිදුවනු ඇත. ප්‍රශංසා හිමිවනු ඇත. නින්දා විඳින්නට ද සිදුවනු ඇත. ලාභ මෙන්ම අලාභ ද හිමිවනු ඇත. සත්‍ය නම්, සෙනසුරු මාරු වුවත් නැතත් ඉහත කී සියල්ලටම ඔබත් මමත් ඇතුළු ලෝකවාසී සියලු සත්වයෝම මුහුණ දෙනු ඇත. අතීතයේ ද ඊට මුහුණ පෑහ. මේ ලියන මොහොතෙත් මුහුණ පාමින් සිටින්නාහ. ඒ මේ ලෝක ස්වභාවයයි. ඊට හසු නොවූ එකදු සත්ත්වයෙකුදු මේ මිහිපිට නැත්තේමය. යථාර්ථය එයයි.

2011/10/02

රිෂාක්ගේ ත්‍රීවීල් ගනුදෙනුව

අපි ඔහුට රිෂාක් යැයි කියමු (ඇත්ත නම නොවේ). අපේ කාර්යාලයේ සගයෙකි. මේ සටහන මඩ පිණිස නොවේ. අපේ මිතුරාගේ වෙළෙඳ 'ඤාණයට' ගරු කිරීම පිණිසත්, හුදෙක් විනෝදය සඳහාත් ය.

ඔන්න ඉතින් මේ යාළුවා මීට මාස තුන හතරකට කලින් අලුත් ත්‍රීරෝද රථයක් ගන්න ඇණවුම් කළා. ඒ වෙනකොට බදු වැඩිවීමක් තිබුණේ නැහැ. කොහොමහරි ත්‍රීවීල් එක ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දී බදු වැඩි වුණා. ඒත් මෙයා කොම්පැනියට සල්ලි බැඳලා තිබුණ නිසාත්, ඉල්ලපු පාටම නොලැබුණ නිසාත්, කලින් ඇණවුම් කරපු ගාණටම 'වීල්' එක ලැබුණා. බදු වැඩි වීම නිසා ත්‍රීවීල්වල ගාණ රුපියල් 30,000 කින් විතර වැඩි වුණා. ඉතින් අපේ යාළුවා ඒ වෙලාවෙම හිතාගෙන තියෙනවා මේ වීල් එක ඉක්මනින්ම විකුණනවා කියලා. ඇයි, අර තිස්දාහේ ලාබේ ගන්න පුළුවන්නේ.

කොහොමින් කොහොමහරි මීට ටික දවසකට කලින් මෙයා වීල් එක විකුණලා, ගත්ත මිලටත් රු 30,000 කට වැඩියෙන්. ඒත් 'මාර්කට් ප්‍රයිස්' එක නම් ඊට අඩුයි. ඉතින් අපි මෑන්ස්ගෙන් ඇහුවා ඒ ගාණට වික්කේ කොහොමද කියලා. බැලින්නම් වීල් එක ගත්ත කෙනාට හදිස්සියක් තිබිලා, කොම්පනියට සල්ලි ගෙවුවා නම් තවත් මාසයක් දෙකක් ඉන්නත් වෙනවානේ. ඒ නිසා අපේ යාළුවා චාන්ස් එක අරගෙන හොඳ ගාණකට වීල් එක වික්කා. දුවලා තියෙන්නෙත් කි.මී. 600 යි.

හොඳම වැඩේ ඒක නෙමෙයි. මෙයා කියන විදිහට, වාහනේ විකුණන මොහොත වෙද්දී වියදම් වෙලා තියෙන්නේ ලයිසන් ඉන්ෂුවරන්ස් වලට විතරයි. ඉන්ෂුවරන්ස් එකත් 'තර්ඩ් පාටි'. අඩුම ගාණේ නම්බර් ප්ලේට්වත් හයිකරලා නැහැ. මොකද, රිවට් කරලා බුෂ් අල්ලලා ඒක ගහන්නත් රුපියල් පන් හය සීයක් යනවාලු. ඉතින් විකුණන කෙනාටම ඒක ගහගන්න තියලා. ඒ විතරද, වීල් එක විකුණද්දී මෑන්ස් ඉතුරු කරලා තියෙන්නේ රිසර්ව් එකේ පෙට්‍රල් ටික විතරයි. ඒකත් රිසර්ව් එකෙන් භාගයක් විතර. ඉතුරු පෙට්‍රල් ටික එලියට අරගෙන රුපියල් 150 කට විකුණලා.

මම නම් මේ විදියට වීල් එකක් වික්ක පොරක් ගැන ඇහුවාමයි. ඊටත් වඩා, අපේ සගයා සකසුරුවමට සහ ඔය වගේ වැඩවලට දක්ෂ වුණත් ත්‍රීවීල් ගනුදෙනුවක් මේ විදියට කරයි කියලා හිතුවේ නැහැ. මේ සටහන ලිව්වෙත් ඒ නිසයි. :D

2011/09/08

ළමා අපයෝජන කොයිබටද?

ලියන්නට ඉතා අප්‍රසන්න වුවද, නොලියා බැරි බැවින් ද, ලියන්නට ඇති වුවමනාව නිසා ද මෙය ලියමි. මාතර තෙලිජ්ජවිල විභාග මධ්‍යස්ථානයක් තුළදී දස හැවිරිදි දැරියකට අතවර කිරීමේ ප්‍රවෘත්තියක් වාර්තා වූයේ ගිය සතියේ ය. මේ වන විට මේ සිද්ධිය පිළිබඳව නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. එනිසා එකී සිදුවීම පිළිබඳව කතා නොකරමි. එනමුදු අනාගතයේ දී සමාජ ප්‍රශ්නයක් බවට පත්විය හැකි තත්ත්වයක් පිළිබඳව මගේ අදහස් මෙසේ ගෙනහැර පාමි.

මා දරන පෞද්ගලික මතය නම්, සියලුම ස්ත්‍රී දූෂකයන් හට මරණ දඬුවම් නොමැති නම් අරාබිකරයේ බඳු දඬුවම් ලබාදිය යුතු බවයි. එහෙත් මේ සටහන ළමා අපචාර පිළිබඳවයි. මෙයට ලක්වන්නේ ගැහැණු ළමුන් පමණක් නොවේ, පිරිමි ළමුන් ද ඒ හා සමානව අවදානමකට ලක්වෙති. නමුත් මේ මඟින් ළමයාට ඇතිවන මානසික හා කායික බිඳ වැටීම ද, සමාජයට සිදුවන විනාශය ද, අතිමහත්ය. ළමයෙකුට වැඩිහිටියන්ගේ නිරන්තර ආරක්ෂාව හා රැකවරණය අවශ්‍ය වේ. මන්ද, ඔවුනට තනිවම ජීවත්විය නොහැකි නිසාත්, උවදුරුවලට භාජනය විය හැකි පිරිසක් නිසාත්ය. ළමා කාලයේ බලපාන මානසික, කායික සහ සමාජීය සාධක ඒ ළමයාගේ අනාගත අභිවෘද්ධිය හා දැඩිව බැඳේ. මනෝ වෛද්‍යවරුන් පවසන පරිදි එය ළමයාගේ පෞරුෂත්වයට ද එක එල්ලේ බලපායි. බොහෝ විෂමාකාරී ක්‍රියාවන්හි නිරත පුද්ගලයන්, අපරාධකරුවන්, සමාජ විරෝධී පුද්ගලයන් ආදීන්ගේ කුඩා කාලය විමසා බැලුවහොත් මේ බව සනාථ වේ. සමහරවිට ළමයින්ට එරෙහි අපරාධ සිදු කරන අයගේ ද ළමා කාලය එබඳුය. ඔවුහු ද ඇතැම් විට අතවරයන්ට ලක් වූවෝය.

මෙසේ වන්නේ ඇයි? අපචාරයකට ගොදුරු වූ දරුවෙකු හැදී වැඩෙන්නේ ඔහුට හෝ ඇයට ඇති කළ කායික/මානසික කැළලත් සමඟය. ඒ නිසා සමාජය කෙරෙහි සිත යටින් දැඩි වෛරයක් ඇති කර ගනී, එසේත් නැතහොත් එම ක්‍රියාව සාධාරණීකරණය පිණිස වැඩිහිටියෙකු වීමෙන් පසු තෙමේ ද ඒ ක්‍රියාවේම නිරත වෙයි. අනිත් අන්තය නම් දුර්වල පෞරුෂයකින් හෙබි පුද්ගලයන් බිහිවීමයි. මෙය ඔහුගේ/ඇයගේ පවුලටත්, ගමටත්, රටටත්, අවසන මුළු මහත් සමාජයටත් බලපායි. මෙය ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම පොදුය. එහි ප්‍රතිඵල කලඑළි බසින්නේ ද, සමාජගත වන්නේ ද, විවිධාකාර ස්වරූපයන්ගෙනි. ඒ සියල්ලම බොහෝ විට සමාජයට අනර්ථකාරීය.

දූෂකයකු කරනුයේ තව කෙනෙකුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. එවැනි ඉරණමකට භාජනය වූ අයෙකුගේ ජීවිතය දැඩි බිඳවැටීමකට ලක් වේ. එයට ළමා වැඩිහිටි භේදයක් නැත. එයිනුත් ළමයෙකුට මෙවැනි ඉරණමක් අත්වීම අතිශය අවාසනාවන්තය, අනර්ථකාරීය. එපමණක් නොවේ, සමාජයක් ලෙස ලජ්ජා විය යුතු කරුණකි. මේ, නීති සම්පාදකයන්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, සමාජ ප්‍රගමනය බලාපොරොත්තු වන පිරිස් සහ පොදුවේ වැඩිහිටියන් තදබල ලෙස සලකා බැලිය යුතු කරුණකි.

2011/08/25

උපවාසය

මේ ගතවන්නේ මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ මාසය හෙවත් 'රාමසාන්' මාසයයි. මෙම මාසය තුළ මුස්ලිම් බැතිමත්හු දිනපතා උපවාසයේ යෙදෙති. එනම් අලුයම් කාලයේ සිට සවස් වරුව දක්වා ආහාර පාන ගැනීමෙන් වැළකී සිටිති. ඉස්ලාම් ආගමේ මෙන්ම සමහර කිතුණුවන් ද, කතෝලික බැතිමත්හු ද, (උදා:- පාස්කු සමයේ දී) උපවාසයේ යෙදෙති. මේ ආගම් ද්විත්වයේම සම්භවය මැද පෙරදිග කලාපයේ සිදු වුවද, සංකල්පයක් ලෙස 'උපවාසය' වූ කලී පෙරදිගට වඩාත් නැඹුරු වූ එකකි.

හින්දු ආගමේ දී උපවාසය සඳහා වැදගත් තැනක් ලැබේ. ඊට අමතරව ජෛන වැනි ආගම්වලද මේ සඳහා සුවිශේෂී තැනක් හිමි වේ. මූලිකව භාරතය හා එහි ශිෂ්ටාචාර ආශ්‍රයෙන් පැන නැගි ආගම් හා දර්ශන බොහෝමයකම මෙය දක්නට ලැබේ. බුදු දහම උපවාසය ප්‍රතික්ෂේප කරනුයේ එය මධ්‍යම ප්‍රතිපදාවට පටහැනි වන බැවිනි. ශරීරයට අධික සැප දීමත්, අධික දුක් දීමත්, මැදුම් පිළිවෙතින් බැහැර කෙරේ. එනමුදු, ආධ්‍යාත්මික හා කායික සුඛ විහරණය පිණිස භික්ෂුන් වහන්සේලා විකාල භෝජනයේ (ඉර හැරුණු පසුව ආහාර ගැනීම) නොයෙදිය යුතු බවට විනය නීතියක් තිබේ. පෝය දිනවල පෙහෙවස් සමාදන් වන ගිහියන් ද මේ ශික්ෂා පදය සමාදන්ව ආරක්ෂා කරති. එය උපවාසයක්ම නොවුණත්, සන්ධ්‍යා වරුවේ සිදුකරන ආහාර වර්ජනයක් සේ අවශ්‍ය නම් සැලකිය හැකිය.

ඉහත සාකච්ඡාවට බඳුන් වූයේ උපවාසයේ ආගමික පැතිකඩකි. එනමුත් පෙරදිග ශිෂ්ටාචාරයන් හා සංස්කෘතීන්හි ප්‍රමුඛස්ථානයක් ගත් ඉන්දියාවෙන්ම උපවාසය සඳහා වෙනත් අර්ථකථනයක් ද නිර්මාණය වුණි. එහි පුරෝගාමියා මහත්මා ගාන්ධිතුමාය. එතුමා සිය අවිහිංසාවාදී ප්‍රතිපත්තිය තුළට උපවාසය ඈඳා ගත්තේ අධිරාජ්‍යවාදීන්ගේ මර්ධනයට එරෙහිව නැගී සිටීමටත්, සමාජ දේශපාලනික බලපෑමක් ඇති කිරීම පිණිසත් ය. ඔහුගේ ජීවිත කතාව අධ්‍යයනය කළ කෙනෙකුට දැන ගත හැකි තවත් කරුණක් වනුයේ, ගාන්ධි සිය ශරීර සෞඛ්‍යය වෙනුවෙන් ද, ආධ්‍යාත්මයේ නිර්මාණය වුණු අපවිත්‍ර සිතුවිලි මර්ධනය පිණිස ද, උපවාසය යොදාගත් බවයි. ගාන්ධි මෙන් පූර්ණ අවිහිංසාවාදී ප්‍රතිපත්තියක නොපිහිටිය ද, ඔහු අනුගමනය කරමින් ඒ මගේ ගමන් කරන චරිතයක් ලෙස සමාජ ක්‍රියාකාරිකයකු වන අන්නා හසාරේ හැඳින්විය හැකිය. මේ ලිපිය ලියන මොහොත වන විටත් හෙතෙම නොකඩවා උපවාසයක යෙදී දින දහයකි. ඒ, ඉන්දියාව තුළ දූෂණ වංචා පිටුදැකීමේ නීති ගෙන එන ලෙසට ඉන්දීය රජයට බල කිරීම සඳහාය.

අපේ රටේ ද නොයෙක් විට නොයෙක් දෙනා උපවාස කරති. ඒ අතර, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, දේශපාලඥයන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ආදිය වේ. මේ උපවාස සඳහා විටෙක භික්ෂුන් වහන්සේලා ද එක්වෙති. බොහෝ විට උපවාසයේ මුලට 'මාරාන්තික' යන විශේෂණය ද එක්කර ගනී. එනමුත්, මා සිතන ආකාරයට නම් මෙවැනි උපවාස සියල්ලක්ම නිසර්ගයෙන්ම මාරාන්තික වේ. හේතුව, ඔවුන් උපවාසය අරඹනුයේ යම් ඉල්ලීමක් මුල් කරගෙන ද, එය ඉටුනොවන්නේ නම්, උපවාසය ද නොනැවතීමේ ඉඩක් පවතින බැවිනි. මහත්මා ගාන්ධි එක දිගට සති තුනක් උපවාස කළේ ද මේ නිසාය. ඒ තුළින් මේ සංකල්පයට අමුතුම අරුතක් ද ආරෝපණය විය.

2011/07/16

පොඩි හාමුදුරුවන්ගේ බණ ගිය දුරක්

ඊයේ පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ මංගල ධර්ම දේශනාව. උන් වහන්සේගේ වයස අවුරුදු 21යි. මහණ වෙලා තියෙන්නේ වයස අවුරුදු 10 දී විතර. දැන් කැම්පස් එකේ දෙවෙනි වසරේ. තමන්ගේ පළමුවෙනි බණ හොඳින් කියන්නට හාමුදුරුවෝ සමත් වුණා. බණ අතරතුර හාමුදුරුවෝ විශේෂ යමක් සඳහන් කළා;

"රාගය හා සමාන ගින්නක් නැහැ. මේකට ගිහි පැවිදි භේදයක් නැහැ. දැන් බලන්න, සමහර ගෑණු ළමයි, තරුණ කාන්තාවන් පන්සලට එනකොට ඇඳගෙන එන්න ඕන විදිය දන්නේ නැහැ. අඟ පසඟ පේන විදියට කොටට, හිරට ඇඳන් එනවා. අපි වුණත් තාම පෘථග්ජනයි. මේ තරුණ හාමුදුරුවරු හුඟ දෙනෙක් මහණ වුණේ පොඩි කාලේ. රාගික හැඟිම් ගැන අත්දැකීම් නැහැ. එවැනි සිතුවිලි යටපත් කරගෙන ඉන්නේ. එතකොට මේවා දැක්කාම මොකද වෙන්නේ? අද ලංකාවේ භික්ෂුන් වහන්සේලා 25000 ක් විතර ඉන්නේ. එයිනුත් තරුණ අය අඩුයි. හුඟ දෙනෙක් මෙවැනි හේතු නිසා සිවුරු ඇරලා යනවා. මේකෙන් වෙන්නේ ශාසනය පරිහානියට යන එකයි. ඒ නිසා වැඩිහිටියෝ තරුණ ළමයින්ට පන්සලට එන්න ඕන විදිය කියා දෙන්න ඕනෙ. එහෙම නැතුව එවන්න එපා…"

මේ කාරණය තරුණ භික්ෂුන් වහන්සේ නමකගේ කටින්ම කියවුණ එක වටිනවා. මොකද, උන්වහන්සේලා මුහුණ පාන තත්වය ගැන කියවුණ අවංක අදහසක් නිසා. මේ ඔස්සේ හිතද්දී ම මගේ හිතට අදහස් ගොඩක් ගලන්න ගත්තා.

ශාසනයේ පැවැත්ම හෝ පරිහානිය රඳා පවතින්නේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමාණය මතද? ශීලාදී ගුණධර්ම රකින අල්ප වූ හෝ භික්ෂු පිරිස මතද? පිළිතුර දෙවැන්න නම්, ඇයි අපි අඩු වයසෙන් මහණ කරන්නේ? බුදුහාමුදුරුවන්ගේ කාලේ වගේ අවබෝධයෙන් මහණ වෙන්නටම ඉඩ තියන්න පුළුවන්නේ. එහෙම වුණොතින් අර කලින් හාමුදුරුවෝ කියපු තත්ත්වයත්  මගහැරෙනවා. පුද්ගලිකව මාත් හිතන්නේ එය එසේ විය යුතු බවයි. ආරණ්‍යවාසී සම්ප්‍රදාය තුළ ක්‍රියාත්මක වන්නේ මේ ක්‍රමයයි. ඒත් ලංකාවේ අතීතයේ සිටම බුදු සසුන පැවත ආ විදියක් තියෙනවා. ඒ නිසා භික්ෂුවකට සමාජයීය වගකීමකුත් පැවරිලා. මේ හේතුව නිසා ග්‍රාමවාසී සම්ප්‍රදායේ දී පොඩි දරුවෙක් මහණ කරන්න යෙදෙන විදි කිහිපයක්ම තියෙනවා.

  • පිනැති දරුවෙක් පැවිදි වීමට ඇති කැමැත්ත ප්‍රකාශ කිරීම, දෙමාපියන් කැමැත්ත දීම (මෙය අවබෝධය නිසා හෝ සසර පුරුද්දක් නිසා සිදුවිය හැකිය)
  • දරුවාගේ කැමැත්තක් නැති වුවද, දෙමාපියන්ගේ/ඤාතීන්ගේ වුවමනාවට පැවිදි කරවීම (පවුල හා සම්බන්ධ සඟ පරපුරක් පවත්වා ගැනීමට හෝ 'හතර කේන්දරය පාළු වීම' වැනි ‍ජ්‍යෝතිශ්‍යමය හේතූන් නිසා)
  • දුප්පත්කම හේතුවෙන් මාපියන්ට දරුවා හදාවඩා ගැනීම, අධ්‍යාපනය ලබාදීම, ආදිය කළ නොහැකි නිසා පැවිදි කරවීම

ඔය ඉහත සඳහන් කරපු හේතු වලින් මම කතා කරන කාරණයට බොහෝ වේලාවට හේතු වෙන්නේ දෙවැනි හෝ තුන්වැනි කරුණු නිසා මහණ කරවන අය. සමහරු ළමා අයිතිවාසිකම් වගේ වචන අල්ලාගෙන කෑ ගැහුවාට ඒ දිහා අපි බලන්න ඕනෙ මධ්‍යස්ථ විදියට. අවබෝධයක් නැතුව මහණ කළාම ඔවුන්ට ළමා කාලයත්, තරුණ කාලයේ අත්දැකීමුත් නැතිව යනවා. එයින් ජීවිතය පිළිබඳව ලබන්න පුළුවන් ලොකු පාඩමක් නැති වෙනවා. ඒ කාලය වන විට මාර්ග ඵල අවබෝධ කරගන්නවානම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් (බොහෝ විට) සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි, මම මුලින් සඳහන් කරපු හාමුදුරුවෝ කියපු දේ. ඒත් එහෙම කෙනෙක් සිවුරු ඇරලා යනවා නම්, ඔහු ශාසනය තුළ සිටිනවාට වඩා යහපතක් ඒකෙන් සිද්ධ වෙන බවයි මගේ අදහස. මොකද, ප්‍රමාණයට වඩා ගුණාත්මක බව වටින නිසා. ශාසනය මනින්නේ ඔළු ගෙඩි ගණනින් නම් මේක අදාල වෙන්නේ නැහැ. අනික, සිවුරු ඇරියත් එවැනි පුද්ගලයෙක් බොහෝ විට සමාජගත වෙන්නේ දැන උගත්, යහපත් පුද්ගලයෙක් විදියට. ඒත් ගිහි සමාජය ගැන අත්දැකීම් හා අවබෝධය අඩු නිසා සමහරු අපහසුතාවයකට පත්වෙනවා.

දැන් මේ ඔස්සේ කල්පනා කළොත්, තුන්වැනි කාරණය නිසා මහණ කරවන එකේ ලොකු සමාජීය වැදගත්කමක් මම දකිනවා. ඒකෙන් අසරණ ළමයෙක්ට කන්න බොන්න, අධ්‍යාපනය ලබන්න, යහපත් ගුණධර්ම ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. කවදාහරි ඔහු සිවුරු හැර ගියත් යන්නේ නිකම්ම නිකම් හිස් පුද්ගලයෙක් විදියට නෙමෙයිනේ. හරි අපි හිතමු ඒ ළමයාව පැවිදි කළේ නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ. දුප්පත්කම නිසා මේ ළමයා හැදී වැඩෙන්නේ පීඩිත තත්ත්වයක් යටතේ. හරියට ඉගෙනගන්නේ නැහැ. යන්තම් තරුණ වියට එනකොට හොරකම් කරන්න ගනී, කුඩු ගහන්න ගනී, සමාජයට පිළිලයක් වෙයි. ඒ අතින් බැලුවාම පොඩි කාලයේ මහණ කරන එකෙන් ලොකු වටිනාකමක් එවැනි ළමයෙක්ට ලැබෙනවා. ඒත්, ශාසනයේ යහපැවැත්මට නම් ඒක සුභයි කියන්න බැහැ.

අන්තිමේදී, අපට අවශ්‍ය ශාසනයද? සමාජයද? මේ දෙකමද? මේ එකක්වත් නෙමෙයිද? කියන තැනට තල්ලු වෙලා. මේකට පිළිතුරු කවදා ලැබෙයි ද කියන්නත් දන්නේ නැහැ.

2011/07/05

මැතිව්ස් කළ දේ හරිද?

ඊයේ ලෝඩ්ස් පිටියේ පැවැති ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින තරඟයේ දී යොවුන් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ට ශතකය ලබා ගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කළ ආකාරය සමහරුන්ගේ විවේචනයට භාජනය වී තිබේ. මින් බොහෝ දෙනා ලාංකිකයන් නොවන අතර ඔවුන් සිය විවේචනය සාධාරණීකරණය කරනුයේ නායක තිලකරත්න ඩිල්ෂාන් හැසිරුණ ආකාරය ද ඒ සඳහා යොදා ගැනීමෙනි.

මැතිව්ස් පිටියට පිවිසියේ චන්දිමාල් සිය ශතකයට ලකුණු 13ක් පිටුපසින් සිටියදීය. ඒ වන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 17ක් අවශ්‍යව තිබුණි. චන්දිමාල්ට සිය ශතකය ලබාගැනීම සඳහා මැතිව්ස් ලකුණු ලබා ගැනීමෙන් වැළකී සිටි අතර ඔහුගේ ප්‍රථම ලකුණ ලබාගත්තේ මුහුණ දුන් 12 වැනි පන්දුවේ දීය. ඒ ඔහු ලබාගත් එකම ලකුණ ද වූ අතර තරඟය අවසානයේ පන්දු 21 කට මුහුණ දී සිටියේය. වරක් චන්දිමාල්ට එක ලකුණක් ලබා ගැනීමට අවශ්‍ය වුවද මැතිව්ස් විසින් ඔහු හරවා යවනු ලැබූවේ ඊළඟ පන්දු වාරයේ දී චන්දිමාල්ට ශතකය ලබා ගැනීමට මඟ පාදනු වස්ය. මේ වන විට නරඹන්නන්ගෙන් ද, එංගලන්ත ක්‍රීඩකයන්ගෙන් ද, පිතිකරුවන්ට දෝෂාරෝපණ එල්ල වනු දැකිය හැකි විය. ශ්‍රී ලංකා නායකයාගේ ඉවසීමේ සීමාව ද ඉක්මවා ගොස් ඇති බවක් පෙනෙන්නට තිබුණි. කෙසේ හෝ ඉනික්බිති චන්දිමාල් සිය දෙවෙනි එක්දින ශතකය වාර්තා කළේ 'ලෝන්ග්-ඔන්' කලාපයෙන් හයේ පහරක් එල්ල කරමිනි. මැතිව්ස් සිය ලාබාල සගයා කෙරෙහි තැබූ විශ්වාසය ඉන් තහවුරු විය.

මා නම් මේ සියල්ල තුළින් දුටුවේ අනාගත ශ්‍රී ලංකා නායකයෙකි. ඒ නම් ඇන්ජලෝ මැතිව්ස්ය. ඔහු කළ දේ නිවැරදි බව දැන් වඩාත් පෙනේ. පළමුව මෙය තරඟාවලියක් නොවේය. ඒ නිසා පන්දු කොපමණ අපතේ ගියත් එයින් බලපෑමක් නොවේ. මන්ද, දල ලකුණු වේගයක් නැති බැවිනි. දෙවනුව, ලෝඩ්ස් පිටියේ ශතකයක් ලබා ගැනීම ඕනෑම පිතිකරුවෙක්ගේ සිහිනයක් ය. එය නිතරම සැමටම ලැබෙන අවස්ථාවක් නොවේ. තෙවනුව, අවුරුදු 21ක් වැනි ලාබාල වයසකදී එවැනි දස්කමක් දැක්වූවෝ ඉතා අල්පය. මැතිව්ස් මේ සියල්ල දැන සිටි බවක් පෙණුනි. වඩා වැදගත්ම දේ නම්, තම පිතිකරු සගයා ගැන සිතීමය. එපමණක් නොව ඔහුට (චන්දිමාල්ට) ඒ හැකියාව ඇති බව විශ්වාස කර ඒ අවදානම ගැනීමය. මේ සියල්ල අතරතුර, අවට සියල්ලන්ගෙන්ම එල්ල වූ දැඩි පීඩනය ද ඔහු ගණනකට ගත්තේ නැත. තරඟය අවසාන විය යුතු සැටි ඔහු දැන සිටියා වැනිය. අවසන එය ඔහුට අවැසි ලෙසටම සිදුවිය.

මේ දෙදෙනාම වයසින් අඩු ක්‍රීඩකයන් වුවත්, ඔවුන් ක්‍රීඩා කළ ආකාරය පැසසිය යුතුය. මොවුන් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ය. කල් යත්ම වයසත්, තව තවත් තරඟවලට මුහුණදීමත් සමඟ ඔවුන් පන්නරය ලබනු ඇත. එබැවින්, ඉදිරියේ දී මොවුන්ගේ දක්ෂතා වඩ වඩාත් ඔප්නැංවෙනු ඇත.

2011/06/22

සිංහලෙන් PHP කෝඩිං

පරිගණක ආශ්‍රිතව හුඟක් දේවල් සිංහලෙන් කරන කාලෙක කේතනය එහෙම නැත්නම් කෝඩිං ටිකකුත් සිංහලෙන්ම කරන්න හිතුණා. මේ සඳහා භාවිතා කළේ PHP scripting language එක. Version එක 5 ට වැඩියි. ඒ නිසා ඊට වඩා පරණ version වල වැඩ කරයි කියන සහතිකය දෙන්න බැහැ. ඔබේ server එකේ unicode ස්ථාපනය කරලා තියෙන්නත් ඕනෙ. ඒ වගේම දැනගන්න අවශ්‍ය කරන තව දෙයක් තමයි PHP keywords සිංහලෙන් - දැනට - නැති බව. පහත දැක්වෙන සරල උදාහරණයේ භාවිතා වෙන්නේ සිංහල variable (විචල්‍ය) සහ function (ශ්‍රිත) නාම විතරයි. අවසාන වශයෙන් ඔබේ script file එක unicode විදියට save කරන්නත් අමතක කරන්න එපා. මෙන්න කෝඩ් ඇබිත්ත:-

<?php
//විචල්‍යයන්
$ගැහැණු_ළමයි = 15;
$පිරිමි_ළමයි = 17;

//සාර්ව විචල්‍ය
$ගුරුවරු = 2;

//ශ්‍රිතය
function පන්තියේ_මුළු_ගණන($ගැ,$පි)
{
  GLOBAL $ගුරුවරු;
  return ($ගැ + $පි + $ගුරුවරු);
}

echo පන්තියේ_මුළු_ගණන($ගැහැණු_ළමයි, $පිරිමි_ළමයි);
?>

මේ දීලා තියෙන අගයන් එක්ක run කළොත් පිළිතුර ලෙසට 34 ක් ලැබෙනු ඇති. ඔබට පෙනෙනවා ඇති 'function', 'return', 'echo', 'GLOBAL' වැනි පද (keywords) සඳහා පරිවර්තන භාවිතා නොවෙන බව. මේකේ පොඩි fun එකක් තියෙන නිසා performance අතින් වෙනසක් තියෙනවාද කියලා බලන්න මීට සර්වසම non-unicode script එකකුත් ලිව්වා. බලාපොරොත්තු නොවුණ ලෙසින් යුනිකේත භාවිතා කරපු script එකේ performance අනිකට වඩා හොඳ බව පෙණුනා. මම ඒක මනින්න භාවිතා කළේ microtime() function එක. හැබැයි මීට වඩා සංකීර්ණ වැඩසටහන්කරණයේ දී හෝ වෙනස් client/server තත්ත්වයන් යටතේ ඒක වෙනස් වෙන්න පුළුවන්.

සමහරුන්ට මේක අලුත් අත්දැකීමක් වුණත් මම මේක දැනගෙන දැන් අවුරුදු 2ක් විතර වෙනවා. ඉතින් තව තවත් දේවල් අත්හදා බලන්න ඔබට බාරයි.

2011/06/07

දෙවියන් දැකීම

මීට වසර 3කට පමණ පෙර මාත් මිතුරෙකුත් මහියංගණයේ සංචාරයක යෙදුණෙමු. එදින රාත්‍රියේ මහියංගණ සෑ රදුන් වැඳ පුදා ගැනීමට ගිය අපි සුපුරුදු පරිදි ඡායාරූප කිහිපයකුත් ගත්තෙමු. ඉන් සමහර ඡායාරූප මිතුරාගේ ඩිජිටල් කැමරාවෙන් ද කිහිපයක් මගේ ජංගම දුරකථනයෙන් ද ලබා ගත්තෙමි. සංචාරයෙන් දින කිහිපයකට පසුව, ලබාගත් ඡායාරූප එකතුව නිරීක්ෂණය කිරීමේදී මහියංගණ චෛත්‍යය අසල දී ගන්නා ලද ඡායාරූප කිහිපයක ලා පැහැති වෘත්තාකාර සටහන් දක්නට විය. ඒවායෙහි තීව්‍රතාවය ද එකිනෙකට වෙනස් විය. නමුත් මේවා සටහන් වී තිබුණේ flash එක භාවිතා වූ මගේ මිතුරාගේ කැමරාවෙන් ලබාගත් ඡායාරූපයන්හි පමණි (පහත ඡායාරූප දෙක බලන්න). මෙවැනි සටහන් මා මීට පෙර දැක තිබුණි. ඒ පුවත්පතක පළ වූ ලිපි කිහිපයකය. ඒ නිසා මා සිත කුහුලෙන් පිරුණි.



එක්තරා ඉරිදා පුවත්පතක පළවන ලිපි පෙළක මුලින්ම මේ ගැන සාකච්ඡා වී තිබුණි. එම ලිපි එක්තරා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමකගේ උපදෙස් පරිදි සම්පාදනය වූ ඒවාය. එම ලිපි පෙළෙහි මුල් ලිපියේ එකී ලියුම්කරු පවසා තිබුණේ මෙම වෘත්ත හැඩැති සටහන් දෙවියන් බවය. මෙවැනි සිදුවීමක් ඔහු මුලින්ම වාර්තා කර තිබුණේ පල්ලේකැලේ ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක දී ගත් ඡායාරූපයක් ද පුවත්පතේ පළ කරමිනි. එහි දැක්වුණු පරිදි, එම භාවනා මධ්‍යස්ථානයෙහි එදින රාත්‍රි පිරිත් දේශනයක් පවත්වා ඇති අතර එම රූප සටහන් පිරිත් ඇසීමට පැමිණි දෙවියන්ගේ බවට ලිපියේ කර්තෘ අදහස් දක්වා තිබුණි. ඉනික්බිති තවත් සතියක එකී ලියුම්කරු විසින්ම බෙල්ලන්විල ප්‍රදේශයේ බෞද්ධ ආරාමයක අලුයම් කාලයේ පිංකමක් අතරතුර ගන්නා ලද 'දෙවියන්ගේ රූප' සටහන් වූ ඡායාරූපයක් පත්‍රයේ පළ කරන ලදී. එමෙන්ම වෘත්තවල තීව්‍රතාවය එම දෙවිවරුන්ගේ ආනුභාවය සහ දිව්‍ය බ්‍රහ්ම යනාදී වශයෙන් අඩු වැඩි වන බවද සඳහන් කර තිබුණි.

කරුණු එසේ නම් අපේ ඡායාරූපවල සටහන් වී ඇත්තේ දෙවියන්ගේ රූප විය යුතුය. නමුත් ෆ්ලෑෂ් එක පමණක් භාවිතා වූ කැමරාවේ පමණක් එකී රූප සටහන් වීමට හේතු කවරේද? තවදුරටත් කරුණු දැනගැනීම සඳහාත් මේ බව පැවසීම සඳහාත් එම ලිපි පෙළ ලියන පුද්ගලයා සම්බන්ධ කර ගතිමි. පුවත්පත් කාර්යාලයේ දුරකථන අංකය සොයාගෙන මම ඔහුට කතා කළෙමි. සිදු වූ දේ ඔහුට පැහැදිලි කළෙමි. එවිට ඔහු පැවසුවේ එවැනි තවත් සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බවත් අපේ ඡායාරූප මුද්‍රණය කර ඔහුට තැපැල් කරන ලෙසත් ය. ෆ්ලෑෂරය යනු ක්ෂණික ආලෝකයක් නිසා දෙවියන්ගේ 'සියුම්' ශරීර ඡායාරූප ගතවීම සඳහා එය අවශ්‍ය බව ඔහුගේ මතය විය. මේ පිළිබඳ විස්තර සාකච්ඡා කිරීම සඳහා එම ලිපි පෙළට දායකත්වය ලබා දෙන ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය ද ඔහු විසින් මා හට ලබා දෙන ලදී. කෙසේ නමුත් මට උන්වහන්සේ හා සම්බන්ධ වීමට නොහැකි විය.

මේ අතර මගේ මිතුරා එම කැමරාවම භාවිතා කර (ෆ්ලෑෂරය සමඟ) රාත්‍රි එළිමහන් සාදයකදී ගත් ඡායාරූප කිහිපයක ද එවැනිම වූ වෘත්ත සටහන් වඩාත් පැහැදිලි ලෙස සටහන් වී තිබුණි (පහත ඡායාරූප දෙක බලන්න). එම සාදයේ ස්වභාවය අනුව එවැනි තැනකට දෙවියන් වඩිති යි කිසිසේත් සිතිය නොහැක. ඒ සාදය මුහුදු වෙරළ ආසන්නයේ පැවැත්වුණු අතර මත්පැන් හා මස් මාළු ද යහමින් තිබුණු එකකි. එමෙන්ම මා සමඟ හිතවත් තවත් පුද්ගලයෙකු රාත්‍රී සාදයක දී ගත් ඡායාරූපවල ද මෙවැනිම සටහන් නිරීක්ෂණය කිරීමට හැකි විය. මේ නිසා මා දන්නා ධර්ම කරුණු අනුව මේ පිළිබඳව තවදුරටත් සිතන්නට පටන් ගතිමි. දෙවියන්ට ඇත්තේ ඉතා සියුම් ශරීර බව බණ පොතේ සඳහන් වෙයි. එහෙත් ඒවා වෘත්තාකාර ද නැතහොත් වෙන හැඩයක් ද යන්න සඳහන් නොවේ. එනමුදු මිනිස් ශරීරවලට සමානකමක් දක්වතියි සිතිය හැකි පරිදි සඳහන් වුණු තැන් තිබේ. පහළ තලයක ජීවින්ට ඉහළ තල වල ජීවීන් පෙනීම ද සිදු නොවේ (සිත දියුණු කිරීමකින් තොරව). එසේ නම් ඒ හැකියාව කැමරා කාචයකට ලැබේද? ඊට අමතරව බ්‍රහ්මයන්ගේ ශරීර දෙවියන්ගේ ශරීර හා සාම්‍යය බවක් දක්වන බවද මා නම් අසා නැත.





ඉහත කරුණු, යම් නිගමනයකට එළඹීමටත්, වැරදි මතයක් දුරලීමටත්, සෑහෙන බව පිළිගනිමි. මේවා දෙවියන්ගේ රූප නොවේ. අවකාශයේ පවතින ජල අංශු වැනි ද්‍රව්‍යයක් නිසා මේ සටහන් ඇති වන බව සිතමි. (මුහුද ආසන්නයේ පැවති සාදයේ ඡායාරූපවල ඇති වෘත්ත සටහන් ප්‍රමාණය වැඩි බව නිරීක්ෂණය කරන්න) ඒවායේ ඝනකම සහ ප්‍රමාණය වෙනස් වීම නිසා විවිධ ප්‍රමාණයෙන් හා තීව්‍රතාවයෙන් කැමරාවේ සටහන් වේ. ආලෝකය විනිවිද ගියද යම් තරමක හෝ ඝනභාවයක් ඇති නිසා රූපය සටහන් වීමට කැමරාවෙන් නික්මෙන ආලෝකය අවැසි වේ. මේ නිගමනයන්ද සියයට සීයක් නිවැරදි නොවීමට ඉඩ තිබේ. මේ ලිපිය සමඟ ඡායාරූප කිහිපයක් ඇතුළත් කර ඇත්තේ කියවන ඔබටත් ප්‍රයෝජනවත් විය හැකි බැවිනි. බොහෝ විට ඔබ සතුවත් එවැනි ඡායාරූප තිබිය හැකිය. මින් ගත යුතු දේ නම් සමහර අදෘශ්‍යමාන කාරණා සඳහා විවිධ පුද්ගලයින් සපයන භෞතිකවාදී පැහැදිලි කිරීම් නුවණින් විමසා බාර ගත යුතු බවයි.

2011/05/19

විජයග්‍රහණයට වසර දෙකයි: සිහි කළ යුතු තවත් පිරිසක්

සිතුල්පව්ව, තන්තිරිමලේ - මේ ස්ථාන දෙකම ඓතිහාසික හා ආගමික වශයෙන් ඉතා වැදගත් වූ සිද්ධස්ථාන දෙකක්. ගිය වසරේ වෙසක් පෝය මම ගෙව්වේ සිතුල්පව්ව විහාරස්ථානයේ. මේ වසරේ වෙසක් පෝය ගත කළේ තන්තිරිමලයේ. මේ හදන්නේ ඒ ස්ථාන පිළිබඳව කතා කරන්න නෙමෙයි. ඒත් ඒවායේ තිබෙන සමාන බවක් පෙන්වා ඒ තුළින් මාතෘකාවට පිවිසීමක් ලබා ගන්නයි.

සිතුල්පව්ව පිහිටා තිබෙන්නේ යාල වනෝද්‍යානය ඇතුළේ. අතීතයේ දොළොස් දහසක් රහතන් වහන්සේලා වැඩ සිටි තැනක්. පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් තැනක්. තන්තිරිමලය තියෙන්නේ විල්පත්තු වනෝද්‍යානය මායිමේ. ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඩ සිටි ස්ථානයක්. පුරා වස්තු ගහන අඩවියක්. මෙවැනි ගැලපීම් ඇති මේ ස්ථාන දෙකම මීට අවුරුදු තුන හතරකට විතර කළින් ඉතා අනාරක්ෂිත තත්ත්වයක තිබුණේ. ඒ කුරිරු ත්‍රස්තවාදී ක්‍රියා නිසා.

නමුත් අද ඒ පෙදෙස්වල මිනිස්සුන්ට නිදහසේ හුස්මක් කටක් ගන්න පුළුවන් වාතාවරණයක් සැකසිලා. ඉස්සර හවස් වෙනකොට වහපු පාරවල් අද ඇරිලා. ලංකාව වටේම ඉන්න ජනතාවට බියක් සැකක් නැතුව ගිහින් මේ ස්ථාන වැඳ පුදා ගන්න පුළුවන්. යුද්ධය නිම වෙලා, ත්‍රස්තවාදය අවසන් වෙලා අදට අවුරුදු දෙකයි. ඒ දවස්වල තර්ජිත ගම්මාන කියලා නම් කරපු මේ ගම්මානවලට අද ඒ ලේබල් එක නැහැ. මම මේ සටහන ලියන්නේත් ඒ ගම්වල නිර්භීත ජනතාවට උපහාරයක් විදියට.

අවුරුදු 30 ක් තිස්සේ පැවැති යුද්ධය නිසා විශේෂයෙන්ම නැගෙනහිර හා උතුරු මැද පළාත්වල ගම්මාන රාශියක් 'තර්ජිත' තත්වයට පත්වුණා. ඒ නිසා හුඟක් ගම්වල මිනිස්සු තමන්ගේ ගේ දොර ඉඩකඩම් අතහැරලා ගියා. ඒ මරණ බය නිසා. ඒ අතරේ ජීවිත නැති වුණත් ගම්බිම් අතහැරලා යන්නේ නැහැයි කියන දැඩි අධිෂ්ඨානයෙන් තමන්ගේ ගම්වල රැඳිලා ඒවා ආරක්ෂා කරගත් ජනතාව හිටියා. මේ වගේ වටිනා ස්ථාන රටට, ජාතියට, මතු පරපුරට ආරක්ෂා වුණේ ඒ නිසයි. ඔවුන් නොවන්නට ත්‍රස්තවාදීන් තව තවත් ප්‍රදේශ අල්ලගන්න ඉඩ තිබුණා. තමන්ගේ ආදරණීයන් එක එක්කෙනා ත්‍රස්ත උණ්ඩයට, බිම් බෝම්බයට බිලි වෙද්දීත් මොවුන් එඩිතරව ආරක්ෂක අංශ සමඟ එකතු වෙලා සතුරාට එරෙහිව සටන් කළා. ඒ අප්‍රමාණ දුක් විඳගෙන. සමහරවිට හරියට නොකා, නිදි මරමින්. තමන්ගේ ජීවිකාවත්, ළමයින්ගේ පාසල් අධ්‍යාපනයත් හරියට කරගන්න බැරිවයි ඔවුන් මේ කැපවීම් කළේ. ඒ අතරේ කටුක දේශගුණය එක්කත් ඔට්ටු වුණා.

ඉතින්, යුද ජයග්‍රහණයෙන් දෙවසර සමරන මේ මොහොතේ අපි ඔවුන්ට කෘතඥ වෙන්නට ඕනේ. ඉතිහාස පොත්වල ඔවුන්ගේ නම් සටහන් නොවෙන්න පුළුවන්. ඒත් සයිබර් අවකාශයේ නම් එහෙම වෙන එකක් නැහැ.

2011/05/18

අපි කොතරම් පිළිවෙත් ගරුකද?

"කියන්නේ එකක්, කරන්නේ තව එකක්" නම් එතැන ප්‍රතිපත්තියක් නොමැත. එමෙන්ම 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙන්නැ යි කියනු ද නිතරම ඇසේ. මේ කරුණු දෙකකි. එහෙත් සම්බන්ධයක් ද තිබේ. බෞද්ධයෙකුගේ නිත්‍ය ප්‍රතිපත්තිය පංච ශීලයයි. එය රකින්නට බැරිනම් සමාදන් නොවිය යුතුය. එහෙත් පන්සිල් 'ගැනීම' සිරිතට කරන බැවින්දෝ එය එතරම් ගණනකට නොගන්නා පිරිස බොහෝය. තවත් සමහරෙක් කරනා දෑ තේරුම් ගන්නට අපහසුය.

මේ මෑතක දී, බසයේ ගමන් කරන විට දුටු දෙයකි. මා අසල වාඩි වී සිටි වයසක පුද්ගලයෙකි. හේ බීමතින්ය. මටද ගඳ දැනේ. බෙල්ලන්විල පන්සල ආසන්න වනවාත් සමඟම ඔහු නැඟිටින්නට වෙර දැරීය. එහෙත් වෙරි බැවින් නොහැකි විය. ඒ නිසා දෑත එක්කර වැන්දේය. සුරාමේරය ශික්ෂා පදය බිඳ තිබුණත් පන්සල කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව පැවැත්තා සේය. අනිකුත් සිල් පදවල තත්වය ද මෙසේය. 'පාණාතිපාතා' ශික්ෂා පදය සමාදන්ව ඊට විරුද්ධ දේම කරති. පිටකොටුවේ වෙසක් සැරසිලි මෙන්ම මී පාසාණම් විකිණෙන්නේ ද එබැවිනි.

සොරකම ගැන කතා කරනවානම් කීමට අපූරු කතාවක් තිබේ. කලක් මාගේ හිතවතෙකුව සිටි පුද්ගලයෙකි. ඔහු වෙබ් අඩවි හා පිටු නිර්මාණය කරයි. යමක් අලුතින් නිර්මාණය කරන්නට අවශ්‍ය වූ විට තව කෙනෙක්ගේ වෙබ් පිටුවක් ගෙන තමන්ට අවැසි ලෙස වෙනස් කර මොහුගේ වෙබ් අඩවියක පළ කරයි. මෙසේ කිරීම නිසා කීප සැරයක්ම හසු වී හිත නොහොඳකම් ආදී නොයෙකුත් ප්‍රශ්න ද ඇති විය. ඔහුගේ දරුවාට නම් තිබ්බේ ද ඒ හා සමාන අයුරකිනි. මිතුරෙකුගෙන් නම් ලැයිස්තුවක් ඉල්ලා ඒ මිතුරා තම දියණියට තැබූ නමේ අකුරක් දෙකක් පමණක් වෙනස් කරගෙන මොහු ද නමක් සාදා ගති. ඊට මොකුත් කිව නොහැක්කේ ඒ ඔහුගේ අභිමතය වන බැවිනුත්, එසේ කිරීමට ඔහුට නොහැකියාවක් නොමැති බැවිනුත්, එහි ද යම් නිර්මාණශීලීත්වයක් ඇති බැවිනුත් ය. එපමණක්ද, ජනාධිපතිගේ නමින් රටේ සෑම ජංගම දුරකථන පරිශීලකයෙකු වෙතම එවා තිබූ එස්.එම්.එස්. වෙසක් සුභ පැතුම ද මොහුට අවශ්‍ය ආකාරයට සකසා මිතුරන් වෙත යවා තිබුණේ ඉන් ඔහුගේ කාලය ඉතිරිවන නිසා වන්නට හැකිය. කෙසේ වුවද, මීට වඩා අතිවිශාල, වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම හොරකම් ලෙස ගැනෙන ක්‍රියා රටේ සිදු වේ. ඔවුහු ද පන්සිල් ගනිති.

කාම මිථ්‍යාචාරය ද, මුසාව ද, මෙලෙසම ය. සමහරුන්ට වැරදි කාම සේවනය විලාසිතාවකි. මුසාව පුරුද්දකට ගොසින් ය. විද්‍යුත් මාධ්‍ය තුළ මුසාව හා රැවටීම සඳහා ම නිර්මාණය වූ වැඩසටහන් ද ඇත. එනමුත් ඒවායේ පෝය දිනය පුරාවට ආගමික වැඩසටහන් ය.

මේ වෙසඟේ කොළඹ නගරය අත්‍යාලංකාරව සරසා තිබේ. මේ සියලු ආලෝක පූජා බුදුරජාණන් වහන්සේ උදෙසාය, උන්වහන්සේ නිසාය. වෙසක් බලන්නට යන්නෝ ද ඒ බව සිත් හි දරාගත යුතුය. කට ගොන්නක් බී ගෙන, ඇඳි වතෙන් කොටසක් නැතිව, බජව් දමමින්, හූ කියමින් යන්නේ කොහේදැ යි මදකට සිතිය යුතුය. පිළිවෙතින් පෙළගැසීමට නොහැකි නම් අඩුම තරමින් ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගෙවීමටවත් ඉටා ගත යුතුය.

2011/04/19

නම වෙනස් කිරීමයි

මෙතෙක් කලක් "උදේන්ද්‍රගේ සිතුවිලි" නම් වූ මේ බ්ලොගය අද සිට "උදනිඳුගේ සිතුවිලි" ලෙස නම් කරමි. 'සුරනිඳු', 'නරනිඳු', ආකාරය අනුව යමින් සකු ආරෙන් මිදීමට සිත් වුණු හෙයිනි. 'සුරිඳු', 'නරිඳු', අයුරින් 'උදිඳු' කරන්නට සිතුණ ද ගණ ගැනත් යම්තම් සිතා පෙර ආකාරයට වඩාත් කැමති වීමි. එනමුදු දෙවදනේ ම මුලකුරු තුන ලඝු බැගින් සමන්විතව දේව ගණයට අයිති බැවින් ඒ ගැනද එතරම් සිතන්නට දෙයක් නොතිබුණි. අක්ෂර සම්බන්ධයෙන් ද කරුණු එසේම යැ. වෙනසක් තිබේ නම්, වාග් ශාස්ත්‍රය පිළිබඳ දැනුමැතියෙකුගෙන් ඒ ගැන දැනගන්නට උදක්ම කැමැත්තෙමි.

2011/04/15

සුභ අලුත් අවුරුද්දක් වේවා!

ලැබුවා වූ නව වසර සැමටම සුභ නව වසරක් වේවා! මේක ලියන්න ගත්තේ අවුරුද්දට වැඩ අල්ලන්න. මම සාමාන්‍යයෙන් අවුරුද්දට වැඩ අල්ලන්නේ පොතක් කියවලා, ලිපියක් ලියලා, කෝඩිං ටිකක් කරලා වගේ කටයුතු වලින්. මේ අවුරුද්දේ ආහාර අනුභව කරන නැකත යෙදුණේ ටිකක් දවල් වෙලා නිසා එතකං බඩගින්න ඉවසගෙන හිටියා. ඊට පස්සේ බඩ පැලෙන්න කෑවා. ඒත් කිරිබත් නම් ටිකයි කෑවේ. මොකද හෙම්බිරිස්සා ගතියක් තිබුණ නිසා.

ශ්‍රී ලාංකීය අපේ අවුරුද්ද මේ සිංහල අවුරුද්දයි. ඒ විතරක්ද, ජනවාරි මාසයේ උදාවන ව්‍යවහාරික නාමික නව වසරට වඩා මේක හැම අතින්ම විද්‍යාත්මකයි. හේතුව මේක සූර්යයා හා බැඳුණු ගණනය කිරීම් ඇසුරෙන් සැමරෙන අවුරුද්දක්. ජනවාරියේ යෙදෙන 'බටහිර' අවුරුද්දට ඒ වගේ කිසිම පදනමක් නැහැ. දේශගුණය වුණත් මේ හා යා වෙලා. කාලගුණයේ විපරිතවීම් නිතරම දකින්න ලැබුණත් බලන්න බක් මාසය වෙනකොට 'බක් මහ අකුණු' කොටන්න ගන්න හැටි! අනික මේ අවුරුද්දේ කොහා හරි 'ට්‍රැක්' එකට වැටිලා වගෙයි. පහුගිය අවුරුදු තුන හතරකම කොහා වැරදි කාලේ කෑ ගහනවා ඇහුණත් මේ අවුරුද්දේ නම් එහෙම වුණේ නැහැ.

අවුරුදු සිරිත් විරිත් වුණත් හරි විශේෂ අත්දැකීම්. මුළු රටම එකම වෙලාවට බොහෝ දුරට එක හා සමාන කාර්යයන් කිහිපයක යෙදෙනවායි කියන එකම කොච්චර අපූරුද? හැබැයි දැන් නම් මාධ්‍යකාරයෝ මේවට අරක්ගෙන. මේ රටේ කොහේවත් නොකෙරෙන, මීට කලින් කෙරුණාද කියලවත් විශ්වාස නැති අමුතු අමුතු චාරිත්‍ර ටීවී එකෙන් පෙන්නනවා. මේවා මිනිස්සුන්ට දෙන්නෙත් බොරුවට ජාතිකත්වය වගේ දෙයක් ආරූඪ කරලා. හැබැයි බිම් මට්ටමේ, ගම් මට්ටමේ, තත්ත්වය පොළොවේ පය ගහලා ජීවත්වෙන මිනිස්සු දන්නවා. ඒ නිසා අපි මාධ්‍යවලින් පෙන්නන දේ බලලා, රස විඳලා, 'ඇත්ත' චාරිත්‍ර ටික හරියට කරනවා.

අවුරුද්ද සමරන විදිහේ පොඩි පොඩි වෙනස්කම් නගරබදවත් ගම්බදවත් දකින්න තියෙනවා. ගම්බද මිනිස්සුන්ට නගරයට වඩා ලොකු නිදහසක්, පරිසරය එක්ක සමීපවීමක් තියෙනවා. නගරයේ අපි තාප්ප වලින් වටවෙලා, ගහකොළ සීමිතයි, අවුරුදු චාරිත්‍රත් උපකරණ යොදාගෙන සැමරෙන තත්වයක් තියෙන්නේ. ඒ අතරත්, හැකිතරම් ඉස්සර තිබුණු සරල බව, දේශීය බව, රැකගන්න උත්සාහ දරන පිරිස් ඉන්නවා. මොකද මේවා ඊළඟ පරම්පරාවට ව්‍යාප්ත වෙන්න ඕනෙ. අපේ සංස්කෘතිකාංග නොනැසී, වඳ නොවී පවතින්නේ එතකොටයි.

අලුත් අවුරුද්දේ අලුත් වීම ගැන කතා නොකළොත් ලොකු අඩුවක්. අපි භෞතික වශයෙන් හැමදෙයක්ම අලුත් කළාට ආධ්‍යාත්මික වශයෙන් අලුත් වෙනවාද? අපේ ආකල්ප වෙනස් කර ගන්නවාද? නරක ගති පැවතුම් අතහැරලා හොඳ දේ හරි දේ ජීවිතයට එකතු කරගන්නවාද? මේ ගැන නම් ඉතා ඕනෑකමින් හිතලා බලන්න ඕනෙ. නැත්නම් අවුරුද්ද අලුත් වේවි. අපි එකම තැන ඉඳීවි. ඇඟට නොදැනීම පරණ වේවි. එසේ නොවේවායි පතමි!

2011/03/25

ඉඳහිට ලියවෙන හිටිවන කවි

මම කවියෙක් යැයි නොසිතමි. එහෙත් අසන්නට දකින්නට දැනෙන්නට ලැබෙන දෑ අනුසාරයෙන් මගේ සිතට ද ඉඳහිට කවි සිතුවිලි පහළ වේ. එවන් අවස්ථාවන්හිදී කවියක් දෙකක් පබැඳෙන්නේ නිතැතිනි. එලෙස ලියැවුණු කවි කිහිපයකුත් ඊට පාදක වූ කරුණුත් මෙලෙසින් ගෙනහැර පාමි.


ඔන්න දවසක් මම වැඩට එන ගමන්. නුගේගොඩ දී බස් එක වාහන තදබදයේ හිරවෙලා, මම හිටගෙන. ඉතින් මට පේනවා වාහනයක ඇතුළේ 'ඩෑෂ් බෝඩ්' එක උඩ හිටවපු ප්ලාස්ටික් සූරියකාන්ත මලක්. වාහනේ යනකොට මේක පැද්දෙනවා. මට සිතුවිල්ලක් පහළ වුණා. සූරියකාන්ත මල් පිපෙන්නේ සූර්යාලෝකය පතිත වුණු විටදී වුණත් මේ මලට එහෙම අවශ්‍යතාවයක් නැහැනේ. මේක අව්වට වැස්සට තෙමෙන්නෙත් නැහැ. ඒ වේලාවේම හැදුවා පොඩි කවියක්. පස්සේ ඔෆිස් එකට ඇවිත් ලිව්වා.

පොළොවේ නොපිහිටි සුරියකන්ත         මලේ
හිරු නැතිව ද පිපි සුරියකන්ත               මලේ
වැසි වැටුණ ද නොතෙමෙන ඒ සොඳුරු මලේ
පවන නොමැත එනමුදු නැළැවේ එ       මලේ


මල් ගැනම කියලා පටන් ගත්ත නිසා ඒ වගේම තවත් අත්දැකීමක් කියන්නම්කො. මේක දැක්කේ 'ස්ටාෆ් බස්' එකේ උදේ එනකොට. නාවින්නේ මිරිහාන පාරේ පන්සලක් ඉස්සරහ නෙළුම් මල් හුඟක් පිපෙන පොකුණක් තියෙනවා. ඒත් මෙදා නම් පිපිලා තිබුණේ එකම එක මලයි. තවත් හරි අපූරු සිතුවිල්ලක් පහළ වුණා. ඒක මෙහෙමයි:

වෙහෙර ඉදිරිපිට පොකුණකි
එහි එකම             නෙළුමකි
මඩ පතුල වන්        ලොවකි
ඉන් නැගුණු           උතුමෙකි

ඔතැන උතුමා යනුවෙන් මම අදහස් කළේ නම් නික්ලේශී උත්තමයෙක්. ඒත් වෙන අර්ථකථනයක් වුණත් දෙන්න පුළුවන්.


දැන් මම කියන්නේ ගල් දෙකක් ගැන. පළවෙනි එක නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගලක්. ඒ කිව්වේ බතලේගල ගැනයි. තියෙන්නේ මාවනැල්ල පළාතේ. මම ඕක තනියම තරණය කළා. ගල මුදුනට ගියාම මට දැනුණු හැඟීමයි මේ…

හිතුවා කවදාහරි යන්නට    බතලෙගලේ
එලෙසින් ගියා මම අද        බතලෙගලේ
නැගගත් පසුව විරියෙන් මුදුනට එගලේ
මා දෙනයන අවටට ආදරය          කළේ

ගමනේ පින්තූර මෙතැනින් බලාගන්න පුළුවන්.

අනිත් ගල නම් ගලක් නෙවෙයි. මීතිරිගල කියලා පළාතක්. මම දන්න මල්ලි කෙනෙක් මීතිරිගල ආරණ්‍යයේ ගිහින් මහණ වුණා. මම ඉතින් දවසක් ඒ හාමුදුරුවෝ මුණ ගැහෙන්න ගියා. ඒ හමුවීම මට අදටත් අමතක නොවන අත්දැකීමක්. පහුවෙනිදා ඔෆිස් එකට ඇවිල්ලත් හිතුවේ ඒ ගැනමයි. ඔය අතරේ එදා අපේ අධ්‍යක්ෂකතුමා පොඩි රැස්වීමක් කැඳෙව්වා. රැස්වීමේ එක්තරා අවස්ථාවක දී හරිම කම්මැලි ගතියක් දැනුණා. මම අතේ තිබුණු සටහන් පොතේ කවි තුනක් සටහන් කළා.

සිසිලසය වන සෙනසුන
සිසිලසය සිත     නිවුණ
නිසසලය මුනි  හමුවුණ
අනලසය කල්  ගතවුණ

ඇතුළු වුණි ඒ   අරණට
මා ගිය           අරමුණට
වෙහෙස වුණු  පමණට
ලත් නිරාමිස අපමණට

මා මිතුරු            මිදුණා
සතුට මා හට     දැනුණා
නිති කෙලෙස්     තවනා
පෙනේ ඔබගේ සිඳෙනා

මේ කවි තුනට නම් ලබපු අත්දැකීමේ සාරාංශයක් කියලාවත් කියන්න බැහැ. ඒ වුණාට සම්පූර්ණ කතාව කවියකට නගන්නත් වචන මදි.


දැන් 'මූඩ් එක' වෙනස් කරන්නයි යන්නේ. දවසක් අපේ ඔෆිස් එකේ ගැහැණු ළමයෙක් අලුත් ඔසරියක් ඇඳගෙන ආවා. පුංචි කවියක් ලියවුණා.

හැඳ නව      ඔසරිය
යන මල්       කුමරිය
දැකුමෙන් තුටු   විය
නෙත සිත දෙකමය


ඒ වගේම තවත් පුංචි (නිසඳැස්) කවියක් ලියවුණේ දවසක් යාළුවෙක් එක්ක 'චැට්' කරන කොට. මොකද, කොච්චර ටයිප් කළත් එහා පැත්තේ ඉන්න කෙනාගේ මුහුණ පේන්නේ නැහැනේ. ඉතින් ඒ කෙනා තරහින් හිටියත් හිනාවෙන 'ඉමොටිකොන්' දාන්න පුළුවන්. හැඟීම් කියන දේට වෙස් මුහුණක් ලබාදෙන්නට මේ මෘදුකාංග වල අතුරු මුහුණත් සමත් වෙලා.

තොරතුරු යුගයක අද
අනවැසි වත    දකිනට
අංකිත     හුවමාරුවක
සබැඳි වේ අපි        අද


මෙලෙසින් ලියවුණු කවි හා නිසඳැස් කවි බොහෝමයක් මා සතුය. සමහරක් අතිශයින් පෞද්ගලිකය. අනෙක්වා විවිධ මාතෘකා හා තත්ත්වයන් අරභයා ය. හැකිනම් පසුකලක ඒවාද පළ කරන්නෙමි.

2011/02/15

වැලන්ටයින් ආදරය

අද වැලන්ටයින් දිනයයි. සිංහලෙන් නම් 'ආදරවන්තයින්ගේ' දිනය. මේ අර්ථකථනය කෙතරම් නිවැරදි දැයි සොයා බැලීමට සුදුසුම දිනය අද බවයි මාගේ අදහස.

'වැලන්ටයින්' සංකල්පය හා සැමරුම ආරම්භ වුණු බටහිර රටවල මේ දිනය සැමරෙන්නේ ප්‍රේමවන්තයින් අතරම පමණක් නොවේ. දෙමවිපියන් හා දූ දරුවන්, සහෝදර සහෝදරියන්, නෑදෑ හිතමිතුරන් ආදී තමන් හා ලෙන්ගතු ඕනෑම අයෙක් සමඟ එක්ව ඔවුහු වැලන්ටයින් සමරති. තෑගි හා සුභ පැතුම් හුවමාරු කර ගනිති. පොදුවේ එය ආදරයට එහා ගිය ලෙන්ගතු බව, සෙනෙහස, වැනි පුළුල් පරාසයක් කරා දිවෙයි.

අපේ රටේ තත්ත්වය ඊට බොහෝ වෙනස්ය. අපගේ සංස්කෘතියට අනුව මෙය පහත්, අනුවණ සැමරුමක් බවට පත්වී ඇත්තේත් මේ නිසාය. එනම්, එය ප්‍රේමවන්තයින්ට පමණක් හෝ රාගයෙන් අන්ධ වූ තරුණ පිරිසකට පමණක් හෝ බොහෝ විට සීමා වීම නිසාය. බටහිර රටවල තත්ත්වය මීට වෙනස්ය. ඔවුහු මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, ගුරු දිනය, පරිසර දිනය ආදී දින සමරන්නාක් මෙන් වැලන්ටයින් දිනය සමරති. අපි ද ඉහත දැක්වූ දින සමරන්නෙමු. නමුත් 'ආදරවන්තයින්ගේ' දිනය සමරන ආකාරය වැරදියට තේරුම් ගෙන ඇත්තෙමු.

මම නම් පුද්ගලිකව ආදරය එක් දිනකට සීමා කිරීමට නොකැමැත්තෙමි. එය වසරේ දින 365 පුරාවටම පැවතිය යුත්තකි. එනමුත් සිය ආදරවන්තයාට, ආදරවන්තියට හෝ සෙනෙහැත්තන්ගේ ජීවිතවලට යම් විවිධත්වයක් එකතු කරනු වස් මෙවන් දිනයක් යොදා ගැනීම වරදක් කියා ද නොකියමි. අපට අනෙකුත් දින සැමරිය හැකි නම් අපගේ රටට, සදාචාරයට ගැළපෙන පරිදි වැලන්ටයින් දිනය අනුගත කරගැනීමේ නොහැකියාවක් තිබිය නොහැකිය. ඒ සඳහා අධික මිලැති ත්‍යාග මිල දී ගැනීම හෝ හෝටල් කාමර වෙන් කරගෙන රාගික අදහස් මුදුන්පත් කරගැනීමට ක්‍රියා කිරීම සුදුසු නොවේ. එය එක් අතකින් සාන්තුවරයෙක් නිසා ඇරඹුණි යයි පවසන දිනයක පිරිසිදු අහිංසක අර්ථය විකෘති කර පහත් තත්ත්වයකට ඇද දැමීමකි.

2011/02/08

තදබදේ තදබදේ

ට්‍රැෆික්! නගරබද හා තදාසන්න ප්‍රදේශ වල අයට නම් එච්චර ප්‍රියමනාප වචනයක් නෙමෙයි. මේ දවස්වල පාරේ තියෙන වාහන කන්දරාවත් ඒ නිසාම වැඩි වී ඇති වාහන තදබදයත් දැක්කම අපි කොහොමද සංවර්ධනයක් කරා යන්නේ කියලා හිතෙනවා. නිකමට හිතන්න මේ නිසාම අපතේ යන ඉන්ධන සහ කාලය ගැන. ඒ කියන්නේ සල්ලි! පාරවල් කොච්චර හොඳට හැදුවත්, කොච්චර පළල් කළත්, ගුවන් පාලම් හැදුවත්, මේක නම් එහෙම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි??

පාරවල් වල ඉඩ තියෙන තරමට මිනිස්සු තවත් වාහන පාරට දානවා. පහුගිය කාලෙත් සෑහෙන වාහන කන්දරාවක් රටට ආවානේ. ඒක හොඳ නැහැයි කියනවා නෙමෙයි. මොකද කවුරුවත් කැමති නැහැ බස්වල තෙරපිලා දාඩිය දාගෙන, එහෙමත් නැතිනම් ජීවිත ආසාව අතඇරලා පාපුවරුවේ එල්ලිලා යන්න. ඒත් සැප ගන්න කියලා ගිහින් අන්තිමට ගන්නේ සැපම ද කියලා හිතලා බලන්න. පැය ගාණක් පාරේ ට්‍රැෆික් එකේ හිරවෙලා, තෙලුත් පුච්චගෙන, ඇඟේ ලේත් පුච්ච ගන්නවා. ඊට පස්සේ බලන්න මොන දුකක් ද, නිතරම ක්ලච් එක පාග පාග, බ්‍රේක් කර කර යන එක. හැබැයි ඉතින් කකුල් වලට හොඳ ව්‍යායාමයක් කියලා සුභවාදීව හිතන්න පුළුවන්. මේ ඔක්කොමත් හරියි කියමු. එත් අන්තිමට හතර දෙනෙක් යන්න පුළුවන් වාහනේ යන්නේ එක්කෙනයි! ඒ කියන්නේ එළවන කෙනා. අපරාදේ නේද? ඉතින් එක වාහනේකට පාරේ පර්ච් එකක් විතර ඉඩ යනවා. ඒ කියන්නේ එක පුද්ගලයෙක් සඳහා එච්චර ඉඩක්.

ට්‍රැෆික් ඇති වෙන්න බලපාන හේතුත් ගොඩක් තියෙනවා. මේවායින් වැඩි හරියක්ම සිද්ධ වෙන්නේ රියැදුරන්ගේත්, මගීන්ගේත් අසංවරකම් නිසා. අපේ මිනිස්සුන්ට පාර පනින්න ගියාම තැනක් නොතැනක් නැහැ. හිතුණ තැනින් පනිනවා. ඊට පස්සේ ඇක්සිඩන්ට් වුණාම වාහනේ එළවපු මනුස්සයා අමාරුවේ. බස් එකට නගින්න ගියාම හැම තැනින්ම අත දාලා නවත්ත ගන්න බලනවා. බස් කාරයාත් තියෙන කෑදරකමට ඕනෑම තැනක නවත්තලා 'ලෝඩ්' කරනවා. ඉතින් පිටිපස්සෙන් එන වාහන ඔක්කොම හිර වෙනවා. මේ ළඟදී මම දැක්කා පාලමක් උඩත් බස් එකකට මිනිස්සු නග්ග ගන්නවා. ඔය රියදුරා මාර්ග නීති පරීක්ෂණය පාස් වුණේ කොහොමද කියන එක හොයලා බලන්න ඕනෙ. අපේ තවත් සමහරු හිතන් ඉන්නේ පාර කියන්නේ free parking එකක් කියලා. ඒකනේ පාර අයිනේ ලස්සනට වාහනේ නවත්තලා යන්නේ. ඉතින් අනේ ඒකෙන් පාරේ අනිත් වාහන වලට යන්න තියෙන ඉඩ ඇහිරෙනවා. එතකොට බ්ලොක් එකක් ඇතිවෙන එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. තව දෙයක් තමයි කන්ටේනර්, ට්‍රක් වගේ බර වාහන උදේටයි හවසටයි පාරට දාන එක. කාර්යාල වේලාවන් කියලා කියන මේ වේලාවට ඔය හිමිට ගමන් කරන තඩි වාහන නිසා පාර බ්ලොක් වෙනවා කියන එක මම වගේම දිනපතා මාර්ග තදබදය අත්විඳින ඕනෑම කෙනෙක් පිළිගන්නවා. ආහ්, මේ තත්වයට වග කිවයුතු තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි ජනතාවත් රියැදුරනුත් බොහෝ විට 'ආදරයෙන්' මතක් කරන රථ වාහන පොලීසියේ මහත්වරු. වාහන තදබදය වැඩිම මංසන්ධි වලට සමහර වේලාවට දාන්නේ අත්දැකීම් අඩුම තරුණ පොලිස් නිලධාරීන්. මේගොල්ලෝ ඉතින් හුඟක් වෙලාවට නා ගන්නවා. වැඩියෙන්ම ඉඩ දිය යුතු මාර්ගයට ඉඩ නොදීම, දිනයේ ට්‍රැෆික් තත්වය නිසි පරිදි අවබෝධ කර නොගැනීම වගේ වැරදි, අතපසුවීම් නිසා විශාල තදබද ඇති වෙනවා. හැබැයි ඒ අතර මේ අසීරු රාජකාරිය දක්ෂව ඉටු කරන පොලිස් නිලධාරීනුත් මම දැකලා තියෙනවා. ඔවුන් ඇත්තෙන්ම හරිම දක්ෂයි. හේතුව, දූවිලි කකා, විස දුම බිබී, අව්වේ වේලි වේලි, වැස්සට තෙමි තෙමී කරන ඔය රාජකාරිය ලේසි වැඩක් නෙමෙයි. පොලීසිය වගේම වැරදි ටයිමින් තියෙන 'කලර් ලයිට්' නිසාත් දැවැන්ත මාර්ග තදබද ඇතිවෙනවා. ඉතින් ඒවා විද්‍යානුකූල ක්‍රමවේදයකට සුසර කරන එක අත්‍යාවශ්‍යයි.

මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න බැරි නැහැ. පටන් ගන්න ඕන පළමුවෙනි තැන තමා ජනතාව (රියැදුරන් ද ඇතුළුව) විනයානුකූල වීම එක්කෝ කිරීම. ඉන්පස්සේ හොඳ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් ඇති කිරීම. මේ දෙක කළොත් ප්‍රශ්නෙන් 80% ක් විසඳෙනවා කියන එකයි මගේ හැඟීම. ඒක ජාතික ආර්ථිකයටත්, ජනතාවගේ සෞඛ්‍යයටත් මහඟු ප්‍රතිඵල ගෙන දෙනවා නොඅනුමානයි.

පාරේ ට්‍රැෆික් වගේම බස් ඇතුළේ 'ට්‍රැෆික්' ගැනත් පොඩ්ඩක් ලියන්න හිතුණා. මේ සිතුවිල්ල ආවෙත් ට්‍රැෆික් එකේ හිරවුණ බස් එකක් ඇතුළේ හිරවෙලා ඉන්න කොට. සමහර උදවිය බස් එකට නැග්ගාම හිට ගත්ත තැනමයි. පොඩ්ඩක්වත් එහා මෙහා වෙන්න කැමති නැහැ. ඒ අස්සේ තවත් සමහරු කාන්තාවන් ළඟින් හෙල්ලෙන්නෙවත් නැහැ. සෙනඟ පිරිලා ඉන්න වේලාවක වුණත් මනුස්සයෙක් අතින් බැරි වෙලාවත් කකුලක් පෑගුණොත් බනින අයත්, එහෙම නැතිනම් ඇඟේ පොඩ්ඩක් හැපුණත් කන්න වගේ රවන බොරු පත්තිනි අම්මලා වගේ ඉන්න ගෑණු අයත් බස්වල හිඟ නැහැ. මේ ඔක්කොටම හපන්, ඉඩ නැති වුණත් මිනිස්සුන්ට ඉස්සරහට පස්සට යන්න යි කෑ ගසමින්, බස් එකේ මිනිස්සු තෙරපගෙන එහාට මෙහාට යන හඩු ඇඳුම් ඇඳ ගත්ත පිරිසිදු කමේ අර්ථයවත් නොදන්න සමහර කොන්දොස්තරලා. උන් ඉගෙන ගෙන තියෙන්නේ අර අන්දරේ කිරි කාපු කතාව විතරක් කියලයි මට නම් ඒ වේලාවට හිතෙන්නේ. අඩුවකට තියෙන්නේ තමන්ගේ පාරිභෝගිකයාට ඒ කියන්නේ මගියාට රජෙක් විදියට නොසලකන එක විතරයි.

කොහොම වෙතත් මේ තදබදය ගැන ලියපු එකෙන් මගේ හිතෙත් මේ ගැන තිබුණු තදබදය නැති වෙලා ගියා. ඒ වගේම අපේ රටේ හෙට දවසට බලපාන මේ ප්‍රශ්නයට පිළිතුරු ඉක්මනින්ම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මෙවන් ලිපි සිය ගණනක් පිරිස නොකියෙව්වත් කමක් නැහැ, වග කිව යුතු, වග කිව හැකි, එක්කෙනෙක් හෝ දෙන්නෙක් කියවනවානම්.

2011/02/01

සිරිපා 'මල් ඇතිරූ' මාවත

සිරිපා කරුණා කරන අප මොහොතකටවත් සිතුවාද ඒ මාවත කවදා කවරෙකු විසින් කෙලෙස සොයා ගත්තාද කියා? ඊට පිළිතුරු ජනවහරේ පවතී. එවන් කතාවක් මවිසින් දැන උගත්තේ ද මෑතකදී සිරිපා කරුණා කරන විටයි. දැන් මෙම සටහන කියවන ඔබගේත්, මතුයෙහි මෙය කියවනු ඇති කෙනෙකුන් වෙනුවෙනුත්, මා ඇසූ ඒ ජනප්‍රවාදගත පුරාවෘත්තයේ සයිබර් සටහනක් මෙසේ තබමි.

(2010 වසරේ සීතල උඳුවප් මහේ දවසක සිරිපා කරුණා කරද්දී මටත්, මගේ මිතුරාටත්, මෙම කතාව පැවසූ ඇහැළ කණුවේ තේ කඩේ සිටි ඒ උපාසක මහතා ගෞරවයෙන් සිහිපත් කරමි.)

නිශ්ශංකමල්ල මහ රජතුමාට (භාතිකාභය වශයෙන් ද සැළකේ) විසිතුරු නේක පුෂ්පයෙන් ගැවසී ගත් මල් උයනක් තිබුණේ ලු. සෑම දිනකම පාහේ රාත්‍රියට මෙහි පිපි මල් කිසිවෙකු විසින් සොරකම් කරන්නේ ය. 'මල් හොරු' ඇල්ලීමට විධිවිධාන යෙදුවද පලක් නැත. සොරු ඇල්ලිය නොහැකි විය. මේ නිසා සිත් තැවුලට පත් රජ තෙමේ, මල් හොරුන් ඇල්ලීමට හැකි කෙනෙක් වේ නම් ඉදිරිපත් වෙව යි, ඔහුට මම නොයෙක් තෑගි දෙමි යි, රට පුරා අණබෙර වැයී ය. මෙසේ රට පුරා අණබෙර වැයෙද් දී, නුවරට නුදුරු ගමක වසන අත් පා නැති කොට තරුණයෙක්ට ද මෙය අසන්නට ලැබීය. හෙතෙම ඒ සඳහා ඉදිරිපත් විය. 'අත් පා නැති කොටා' යනුවෙන් ප්‍රසිද්ධව සිටි ඔහුගේ කතාව මෙසේ යි:

මේ තරුණයා එකල සියලු ශරීරාංගයන්ගෙන් සමන්විතව දැහැමිව ජීවත් වූ අයෙකි. ඔහු විසූයේ සිය වැඩිමහල් සොහොයුරු සමඟය. මේ තරුණයා කොතරම් දැහැමි ද කිවහොත්, නිතරම පාහේ සතිපට්ඨාන සූත්‍රය සහිත පුස්තකයක් ළඟ තබාගෙන එය සජ්ජායනා කිරීමට පුරුදුව සිටියේ ය. දිනක් අයියණ්ඩිය රැකියාවට ගිය පසු ඔහුගේ බිරිය විසින් ඇය හා සංවාසයේ යෙදෙන්නට තම මස්සිනා වන මේ මලණුවන් ට කතා කළාය. මෙයින් දැඩි ලජ්ජාවටත්, දුකටත් පත් වූ මෙම තරුණයා එම ස්ත්‍රියට මෙසේ පැවසීය: "අක්කණ්ඩි, නුඹ මට මව මෙනි. අයියා මට පියා මෙනි. එවැන්නක් කරන්නට තබා සිතන්නටවත් මට නොහැකිය." මෙසේ කියා ඒ කාමුක ස්ත්‍රියගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් අයියාගේ බිරිය මින් දැඩි කෝපයට පත්ව, මල්ලීගෙන් පළිගැනීමට සිතා ගත්තාය. ඇයගේ ස්වාමියා සවස නිවසට පැමිණි පසු අයියා-මල්ලී බිඳවන්නට මෙසේ පැවසුවාය. "ඔබ දන්නවාද? අද ඔබේ මල්ලී ඔහු සමඟ සංවාසයේ යෙදෙන්නට මට කතා කළා. මම එයින් දැඩි ලැජ්ජාවට පත්වුණා. මම ඔහුට මවක් මෙනි යි, ඔබ ඔහුට පියෙක් මෙනි යි පවසා එවැනි යෝජනාවක් ගෙන ඒම පිළිබඳව ඔහුට දොස් පවරා, එය ප්‍රතික්ෂේප කළෙමි" යනුවෙන් ස්වාමි පුරුෂයාට මුසා බස් දෙඩීය. මෙයින් අයියා දැඩි කෝපයට පත්විය. මල්ලීට හොඳ පාඩමක් උගන්වමි යි සිතා පසු දින උදෑසනම බෙහෙතකට අවශ්‍ය ද්‍රව්‍යයක් සොයන්නට කියා මල්ලීත් කැටුව කැලයට ගියේය. කැලය මැද දී දරුණු නාගයෙක් වසන තුඹසක් දැක මල්ලීට මෙසේ පවසයි. "මල්ලී, මා සෙවීමට පැමිණි දෑ ඇත්තේ මේ තුඹස තුළ යි. බිය නොවී අත් දෙකම එතුළට දමා එහි ඇති පස් මට අරන් දෙන්න." අයියා ගැන විශ්වාසය තැබූ මල්ලී කී සේ කළේය. නමුත් දැහැමිව ජීවත් වූ එම තරුණයාට නාගයා විසින් කිසිත් අනතුරක් නොකරන ලදී. තම උපාය අසාර්ථක වූ බව දුටු අයියා, තමන් රැගෙන ආ කැත්තෙන් මල්ලීගේ අත් පා වෙන් වන සේ කැපී යන්නට පහර දුනි. ඉන්පසු මල්ලී වනය මැද දමා යන්නට ගියේය. අයියා විසින් තමන්ට පහර දෙද්දී ද මල්ලී ඔහුට වෛර නොකළේය, සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කළේය.

මේ අතර කැලයේ දර කඩන්නට ආ එක් වයසක කාන්තාවක් ලේ විලක් මැද වැටී, වේදනාවෙන් කෙඳිරිගාමින් සිටි මේ තරුණයා දුටුවාය. ඔහුව ඇගේ නිවසට ගෙන ගොස් ප්‍රතිකාර කර සුවපත් කොට පුතෙක් මෙන් බලා ගත්තාය. ඉහත කී රජුගේ අඬබෙරකරුවන්ගේ පණිවිඩය මොහුට අසන්නට ලැබුණේ මෙසේ සිටියදී ය.

ඉනික්බිති රාජ පුරුෂයන් විසින් මෙම අත් පා නැති කොට තරුණයා රජතුමා හමුවට පැමිණවීය. මේ පුරුෂයා දුටු රජු විස්මයට පත්ව, "තා කෙසේ මල් හොරුන් අල්ලන්නේ ද?" යි විමසා සිටියේය. අත් පා නැති කොටා මෙසේ කියයි: "දේවයන් වහන්ස, මට ඔය මල් හොරුන් ඇල්ලීමට හැකිය. නමුත් මට උයන ආසන්නයේ ම රජ වාසලට සම්බන්ධ කොට සම්පූර්ණයෙන් වැසුණු කුඩා කුටියක් තනා දිය යුතුය. එහි එක් කුඩා විවරයක් පමණක් තිබිය යුතුය. මම එහි සිට මල් හොරුන් අල්ලමි." එම කතාව පිළිගත් රජතෙමේ, ඉල්ලූ පරිද්දෙන්ම කුටිය වහා තනවා ඔහුට වාසය කිරීමට ලබා දුනි.

රජුගේ උයනේ මල් හොරුන් ගැන ද යමක් පැවසිය යුතුය. මොවුන් අන් කවරකුවත් නොව දෙවඟනන් පිරිසකි. දිනපතා රෑට රජුගේ උයනට පැමිණ මල් නෙළාගෙන යති. එහෙත් අන් අයට නොපෙනේ. ඒ ඔවුනට පින් මද බැවිනි.

මෙලෙසින් පසුදින රාත්‍රිය එළඹුණි. කොටා කුටිය තුළට වී සතිපට්ඨානය සජ්ජායනා කරමින් සිටී. පොත ඔහුගේ බඩ මතය. වෙනදා මෙන්ම මල් නෙළීම සඳහා දෙවඟනෝ පැමිණියහ. ඉන් එක් දෙවඟනකට කිසිවෙක් ලස්සනට පිරිත් කියවන ශබ්දය ඇසී එයට ලොල්ව කොටා සිටින කුටිය දෙසට පැමිණියාය. පෙනෙන්නට කිසිවෙක් නැත. කුටියේ කුඩා සිදුර තුළින් බැලුවාය. පිරිත් කියවන්නා එතුළ ය. ඔහුට අත් පා නැත. ඔහු කෙරේ පැහැදී අනුකම්පා සිතී තම දිව්‍ය සළුවේ එක් අග්‍රයක් කුටියේ සිදුර තුළින් ඇතුළට යැව්වාය. ඒ සළුව කොටාගේ ඇඟ වටා එතිණි. පුදුමයකි! ඔහුගේ අත් පා දිව්‍යානුභාවයෙන් යළි ලැබුණි. මේ අතර කොටා පිරිතේ සමාධියෙන් මිදුණේ ය. තම සිරුර වටා එති සළුව දුටුවේය. ඊටත් වඩා විශ්මයකි. සියලු ශරීරාංග නැවතත් ලැබී තිබේ. හේ ඉමහත් සතුටට පත් විය. මේ අවස්ථාවේ දී, සළුව කුටියේ විවරය තුළින් එළියට ඇදී යන බව දුටු හෙතෙම එය අල්ලා ගත්තේය. "අනේ, මගේ සළුව දෙනවාද?" කවුදෝ කියනු ඇසිණි. සිදුරෙන් එළිය බැලීය. ලස්සන තරුණියකි. "නුඹ කවුද? කුමකටද ආවේ?" තරුණයා විමසීය. "අපි දෙවඟනන් වෙමු. උයනේ මල් නෙළීමට පැමිණියෙමු" යි පිළිවදන් ලැබුණි. තමුන් ඇල්ලීමට පැමිණි හොරුන් හමු වූ බව දැන මෙසේ පැවසීය: "ආ, නුඹලාව තමයි මම සොයමින් සිටියේ. රජුගේ මල් උයනේ මල් සොරකම් කරන්නේ නුඹලායි. නුඹලා අල්ලා රජුට බාර දෙමි. ඒත් ඊට කලින් මේ සළුව මෙතැනට ආවේ කෙසේදැ යි කියව." එවිට ඒ දිව්‍යාංගනාව විසින් සිදු වූ දේ ඔහුට පවසන ලදී. ඒ අසා හෙතෙම දුක් විය. තමන්ගේ ශරීරාවයව යළි ලබා දුන්නාට කරන ප්‍රත්‍යුපකාරය මොවුන් අල්ලා රජුට බාර දීම නොවන බව වැටහුණි. ඒ ගැන සමාව ඉල්ලා සළුව අත හැරියේය. ඉනික්බිති දෙවඟනගෙන් මෙසේ විමසීය: "දිනපතා මේ මල් නෙළන්නේ කුමකටද?" එවිට දෙවඟන, "මිතුර, අපි මේ පුෂ්පයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයට පූජා කරනු පිණිස රැගෙන යම්හ" යි පැවසීය. මේ අසා බලවත් සතුටට පත් තරුණ තෙමේ "ශ්‍රී පාද පද්මය තිබෙන්නේ කොහිද? මටත් එහි යන හැටි පවසන්න" යි ඉල්ලා සිටියේය. "මිතුර, දැන් අරුණ වැටීගෙන එයි. අපට තවත් වේලා මෙහි රැඳී සිටිය නොහැකිය. එබැවින් පද්මයට යන මාර්ගයේ අපි දැන් මල් අතුරා යන්නම්. ඔබ ඒ මඟ අනුව යමින් තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිට වූ තැනට එළැඹෙන්න" යනුවෙන් පැවසූ දෙවඟන, තම සළුව ද රැගෙන යන්නට ගියේ පොරොන්දු වූ පරිදි සමනොළ කඳු මුදුනේ පිහිටි බුදුරජාණන් වහන්සේගේ වම් සිරි පතුල කරා යන මාර්ගයේ මල් අතුරමිනි.

පසු දින උදෑසන තරුණයා රජු බැහැ දැකීය. සිදු වූ සියල්ල රජුට පැවසීය. ඉමහත් ශ්‍රද්ධාවෙන් හා සතුටින් ඔද වැඩුණු රජ තෙමේ ශ්‍රී පාද පද්මය නමදින්නට යන්නට සූදානම් වන ලෙස ඔහුට දැනුම් දුන්නේය. දෙවඟනන් විසින් මල් ඇතිරූ මාවත දිගේ ගමන් ගත් රජු ඇතුළු පිරිස සම්බුදුරජාණන් වහන්සේගේ වාම සිරිපා ලාංඡනය පිහිටි ස්ථානයට පිවිස එයට අපමණ සැදැහැයෙන් නමස්කාර කළෝය. පසු කලක රජු විසින් එම මාර්ගය සුදුසු පරිදි කරවා ශ්‍රී පාද පද්මයේ ආරක්ෂාව වෙනුවෙන් ද වැඩ කටයුතු රාශියක් කරවන ලදී.

2011/01/28

2600 වැනි සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු

සම්බුද්ධත්ව ජයන්තිය යනු කුමක්ද?

සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී වසර 2600 ක් පිරීමයි. (2011 වෙසක් පෝය) එපමණක් නොව, ශ්‍රී සද්ධර්මය හා ආර්ය මහා සංඝ රත්නය ද මෙලොව පහළ වී වසර 2600 ක් පිරීම මෙම වසරේ දී සිදු වේ. ඒ අනුව අප මේ සමරන්නේ ත්‍රිවිධ රත්නයම ලොව පහළ වී ගෙවී යන 2600 වැනි වර්ෂයයි.

* බුද්ධ ජයන්තිය යනු බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සැමරීමයි.


පිළිවෙතින් පෙළගැසීම යනු කුමක්ද?

පිළිවෙත නම් ප්‍රතිපත්තිය යි. බුදුරජාණන් වහන්සේ වඩාත් අගය කළේ ප්‍රතිපත්ති පූජාවෙන් තමන් වහන්සේ පිදීමයි. එනිසා පිළිවෙතින් පෙළගැසීම යනු උන්වහන්සේ අපට දේශනා කර වදාළ ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි.

මෙය බුදුරජාණන් වහන්සේට කරන උපහාරයක් වනවා සේම සැබෑ බෞද්ධයෙක් වශයෙන් ක්‍රියා කිරීම ද වන්නේය.


කෙසේද පිළිවෙතින් පෙළගැසෙන්නේ?

  • සිල්වත් වන්න
අඩුම තරමින් තිසරණය සහිත පංච ශීලයවත් සමාදන් වන්න, එය ආරක්ෂා කරන්න. මෙය හුදෙක් චාරිත්‍රයක් වශයෙන් නොකර තමා සමාදන් වන සීලය ආරක්ෂා කිරීමට අධිෂ්ථාන කරගන්න.
ඔබ දැනටමත් පන්සිල් ආරක්ෂා කරන්නෙක් නම් ආජීව අට්ඨමක සීලය වැනි සීලයක පිහිටන්න. එසේත් නැතිනම් අටසිල්, දසසිල් වැනි උසස් සීලයක් පෝය දිනට හෝ සමාදන් වී රකින්න.

  • ධර්මය අසන්න, කියවන්න, සාකච්ඡා කරන්න
මේ රටේ බණ වලින් නම් අඩුවක් නැත. රූපවාහිනියේ, ගුවන් විදුලියේ, පන්සල් වල නිතිපතාම පාහේ ධර්ම දේශනා පැවැත්වේ. ඒවා අසන්න. පුවත්පත්, දහම් පොත පත පරිහරණය කරන්න, ඒවා කියවන්න. අවැසි නම් මේ කරුණු පිළිබඳව දැනුම ඇති අය සමඟ ධර්ම සාකච්ඡාවේ යෙදෙන්න. ධර්මාවවාද වලට අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න.
මතක තබාගන්න, අපට අවැඩක් වන දෙයක් බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කළේ නැහැ. උන්වහන්සේට එසේ කිරීමට උවමනාවකුත් නැහැ. උන්වහන්සේ මහා කාරුණික වන සේක, මහා ප්‍රඥා සම්පන්න වන සේක.

  • භාවනා කරන්න
නිවනට මග මෙයයි. ලෞකික වශයෙන් හිත නිවන්නටත් ඔසුව මෙයයි. ඔබ මීට කලින් භාවනා කර නොමැති පුද්ගලයෙක් නම් සරල සමථ භාවනාවක් පුරුදු වන්න. බුදුගුණ භාවනාව (බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම) හෝ මෙත්තා භාවනාව (සියලු සත්ත්වයන්ට මෛත්‍රීය පැතිරවීම) එයට උදාහරණ වේ. භාචනාව දිනපතාම සිදුකරන්න. එය ඔබේ ජීවිතයේ අංගයක් බවට පත් කරගන්න. පළපුරුදු, දැනුමැති ස්වාමීන් වහන්සේ නමකගෙන් හෝ ගිහි යෝගාවචරයෙක් ගෙන් හෝ ඒ සඳහා උපදෙස් ලබාගන්න.
ඔබ දැනටමත් පළපුරුදු යෝගාවචරයෙක් නම් ඔබේ භාවනාවේ මීළඟ අදියර වෙත යාමට තරයේ අධිෂ්ථාන කර ගන්න. එයට හේතුව ජීවිතය අනියත බැවිනි. මරණය කොයි මොහොතේ සිදු වේදැයි අප කාහටවත් කිව නොහැකිය.

  • තම ජීවිතය බුද්ධ දේශනාවට අනුව සකසා ගන්න
බොහෝ දෙනා පිරිත් අසති. නමුත් ඒවායේ තේරුම පිළිබඳව නොදනිති, නොතකති, එහි සඳහන් කරුණු නොපිළිපදිති. මංගල සුත්‍රය, පරාභව සුත්‍රය වැනි සුත්‍ර දේශනා වල තේරුම් ඉගෙන ගන්න. ඒ අනුව ජීවත් වන්න.

මෙය කළ යුත්තේ ඇයි?

  • ආරම්භයට හොඳ අවස්ථාවක්
ඔබට ජීවිතයේ වැරදුණු තැන් තිබෙන්නට පුළුවන්. නමුත් ඒ පිළිබඳව ලත වෙවී සිටීමට බුදු දහමින් අනුබලයක් නොලැබේ. ජීවිතය නිවැරදි කර ගැනීමට ඔබ තවමත් පමා නැත. ඔබ මීට පෙර මේ ගැන නොසිතුවානම් ජීවිතය වෙනස් කරගන්නට, කඩඉමක් බවට මේ සම්බුද්ධත්ව ජයන්තිය පත්කර ගන්න. ඒ සඳහා දැන්ම ම ධර්ම මාර්ගයට පිවිසෙන්න.

  • සැබෑ බෞද්ධයෙක් වන්න
සැබෑ බෞද්ධයෙක් නම් ඔහු හෝ ඇය පරම අරමුණ වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීම පිණිස වූ මාර්ගයට පිවිසියෙක් විය යුතුය. ඔබත් එවන් කෙනෙක්ද? නැතිනම් හුදෙක් ආමිසයට පමණක් සීමා වී පුද පූජා මත පමණක් විශ්වාසය තබා සිටින අයෙක්ද? එසේ නම් පිළිවෙතට පිවිසෙන්න කාලයයි මේ.

2011/01/13

සිංහලෙන් ලියමි

ඕං එහෙනං පරක්කු වෙලා හරි සිංහලෙනුත් ලියන්න පටන් ගත්තා. නමුත් සුද්ධ සිංහලෙන් නම් නෙවෙයි. කතා භාෂාවෙනුත් ලිඛිත භාෂාවෙනුත් ලියනවා. ඒ වගේම ඕනෑවුණොත් ඉඳලා හිටලා ඉංග්‍රීසි කෑලිත් දානවා. ඒක මගේ කැමැත්තනේ. හැබැයි ලිව්වොත් ලියන්නේ මටත් ඕගොල්ලන්ටත් වැඩක් ඇති දෙයක් තමයි. නැතුව මොකට මගේ ඇඟිලි රිද්ද ගන්නවාද, නේද? “එතකොට හිත??” කෙනෙක් කියනවා ඇහුණා. ඒ ගැන බයවෙන්න එපා. මොකද, මම ලියන්න පටන් ගත්තාම වචන එන්නේ නිරායාසයෙන්ම යි. - රහසින් - ඒ වුණාට හිතලා ලියන වෙලාවලුත් තියෙනවා හොඳේ… :D

ඊට අමතරව, මේ බ්ලොග් එකේ වාර්තාමය වශයෙන් යම් යම් දේවල් සටහන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ හැමදෙයක් ගැනම ඕගොල්ලන්ට අදහස් ඉදිරිපත් කරන්න (ඉංග්‍රීසියෙන් comments කියලා කියන්නේ) දෙනවාද නැද්ද කියලා මම තාම හිතුවේ නැහැ. ඒ ගැන සමාවෙන්න. එහෙනම්, ඔබට ජය! මීළඟ සටහනෙන් හමුවෙමු.