Header Title


උදනිඳුගේ සිතුවිලි

2023/12/19

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැබවින්ම කී වතාවක් සංශෝධනය වී තිබේද?

මෙම බ්ලොගයේ අවසන් ලිපියත් මේ ලිපියත් අතර කාලය තුළදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තවත් සංශෝධන දෙකක් එකතු වී තිබේ. අවසන් සංශෝධනය "විසි එක්වැනි සංශෝධනයයි". මේ අනුව, ව්‍යවස්ථාව විසිඑක් වතාවක් සංශෝධනය වී ඇති බව බැලූ බැල්මට කෙනෙකුට සිතෙන්නට හැකි මුත් සත්‍ය වශයෙන්ම එය සංශෝධනය වී ඇත්තේ විසි වතාවක් පමණි. ඒ ඇයි දැයි අපි විමසා බලමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ලැයිස්තුව සලකා බැලීමේ දී "දොළොස්වන සංශෝධනයට" විශේෂ තැනක් හිමි වේ. ඊට හේතුව එය නොපැනවූ සංශෝධනයක් ලෙස සඳහන් වීමයි. එනම්, එය නීතියක් බවට පත්නොවූවක් වීමයි. එවකට මහජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 1987 සැප්තැම්බර් මස 25 වන දින පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එකල පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 47(5) ට අනුව පෞද්ගලික මන්ත්‍රීවරයෙක්ගේ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය අදාළ විෂය හා කාර්යභාර අමාත්‍යවරයා වෙත යොමු කරයි. ඉන්පසුව එකී අමාත්‍යවරයා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන තුරු කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගනී. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන්ද ඇති වූයේ එවැනි තත්වයකි. එනම්, අමාත්‍යවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරුණි.

එය එසේ නම්, ඊළඟ කෙටුම්පත දොළොස්වන සංශෝධනය ලෙස හැඳින්වූයේ නැත්තේ ඇයි? ඒ, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් වී තිබියදී ම එම වර්ෂයේ ඔක්තෝබර් 09 වැනිදා රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ගෙන ආ බැවිනි. දොළොස්වන සංශෝධන කෙටුම්පත ද අදාළ මන්ත්‍රීවරයා විසින් ඉල්ලා අස්කර නොගත් නිසා එයද න්‍යාය පුස්තකයේ ඉතිරි විය. මේ ආකාරයට ඉන්පසුව දහහතර, පහළොව ආදී ලෙස සංශෝධන එකතු වෙමින් අද විසි එක්වැනි සංශෝධනය දක්වා පැමිණ ඇත.

මෙම දොළොස්වන සංශෝධනයේ අන්තර්ගතය වූයේ කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉතා කෙටි වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු වූ මෙම සංශෝධනය එක් පිටුවකට සීමා විය. එහි අරමුණ වූයේ පැවති 37(1) අනුව්‍යවස්ථාව සංශෝධනය කිරීමයි. ඒ මෙසේය:-

"රෝගාතුර වීම නිසා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා ජනාධිපතිවරයාට සිය ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමට සහ ඉටුකිරීමට නොහැකි විට ඒ කාල සීමාව තුළ ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටුකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා පත් කළ යුතුය. තවද, එම කාල සීමාව තුළ අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බැලීම පිණිස වැඩබලන ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ වෙනත් අමාත්‍යවරයකු පත් කළ යුතුය :

එසේ වුවද අග්‍රාමාත්‍ය ධුරය ඒ අවස්ථාව වන විට හිස්ව පවතී නම් හෝ අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති ධුරයේ වැඩ බැලීමට නොහැකි නම් ඒ කාලසීමාව තුළ ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටුකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කථානායකවරයා පත් කළ යුතුය."


මෙහි මූලික වෙනස්කම් වනුයේ පළමු ඡේදයේ මුල් වගන්තියේ දැක්වෙන තීරණය ගැනීමට ජනාධිපතිවරයාගේ "මතයට" තිබුණු ඉඩ ඉවත් කිරීමත්, පළමු ඡේදයේ සඳහන් වැඩ බලන අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කර වැඩබලන ජනාධිපතිවරයා වෙත පැවරීමත්, ඡේද ද්විත්වයේ ම "හැක්කේ ය" වෙනුවට "යුතුය" යන්න ආදේශ කිරීමත් යන කරුණු ය. මෙම කෙටුම්පතේ පිටපතක රූපයක් ලිපියේ පහළින් අමුණා ඇත.

තවද, මෙම සංශෝධනය ගෙන ඒමේ අරමුණ මා නොදන්නා මුත්, එවකට රටේ පැවති දේශපාලනික සන්දර්භය දන්නා දේශපාලන විචාරකයෙක් හට එය පැහැදිලි කළ හැකි වෙනු ඇතැයි සිතමි.


සිංහල පිටපත

ඉංග්‍රීසි පිටපත


2020/09/07

තෙවතාවක් “විසි වූ” විස්ස

මේ දිනවල ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වන මාතෘකාවකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලබන විසිවෙනි සංශෝධනය. ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ දක්වා දහනව වතාවක් සංශෝධනය වී ඇති අතර මීළඟට සිදුවන සංශෝධනය නිතැතින්ම විසිවැන්න බවට පත් වේ. කෙසේ වෙතත් දහනවවැනි සංශෝධනයෙන් පසුව “විසිවෙනි සංශෝධනයක්” අවස්ථා තුනකදී ගෙන ඒමට ප්‍රයත්න දැරූවත් විවිධ හේතු නිසා එය වැළකී ගියේය. මේ ඒ පිළිබඳ කෙටි විමසුමකි.


2015
දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 අප්‍රේල් 28 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත වී 2015 මැයි 15 දින කථානායකවරයා විසින් සහතිකය සටහන් කිරීමෙන් අනතුරුව රටේ නීතිය බවට පත්විය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වූ “විසිවෙනි සංශෝධනයක්” කැබිනට් මණ්ඩලයේ අනුමත වීමෙන් පසුව ගැසට් පත්‍රයක් ලෙස 2015 ජූනි 15 වැනිදා නිකුත් කරන ලදී. කොට්ඨාස ක්‍රමයට බර වූ මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමයක් හඳුන්වා දීම, මනාප ක්‍රමය අහෝසි කිරීම, මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 237ක් දක්වා වැඩි කිරීම, ආදිය එයින් සිදුකිරීමට බලාපොරොත්තු විය. ඇතැම් පාර්ශ්ව මෙය හඳුන්වා දුන්නේ දහනවවැනි සංශෝධනයට ආනුෂාංගික වශයෙන් “ස්ථාවර පාර්ලිමේන්තුවක්” සඳහා අවැසි සංශෝධනයක් වශයෙනි. කෙසේ වෙතත් 7 වැනි පාර්ලිමේන්තුව 2015 ජූනි 26 වැනිදා විසුරුවා හැරීමත් සමඟ එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හෝ ඒ පිළිබඳ කතිකාව ඉදිරියට යෑමක් හෝ සිදුකෙරුණේ නැත.


2017
මේ අතර පළාත් පාලන ඡන්ද ක්‍රමය සහ පළාත් සභා ඡන්ද ක්‍රමය ද සංශෝධනය කිරීමේ කටයුතු 2017 වර්ෂය වන විට ඇරඹී තිබුණි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) සහ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු අතර, මේ වන විට පළාත් සභා තුනක නිල කාලය ද අවසන් වී තිබුණි. එවකට සක්‍රීය සියලු පළාත් සභාවල නිල කාලය එකම දිනයක දී අවසන් කිරීම සඳහාත්, සියලුම පළාත් සභාවල ඡන්ද විමසීම එකම දිනයක දී පැවැත්වීම සඳහාත් වූ “විසිවෙනි ව්‍යවස්ථා සංශෝධන” පනත් කෙටුම්පතක් ආණ්ඩුව විසින් ගෙන එන්නේ මෙවන් වටපිටාවක් තුළදී ය. එකී පනත් කෙටුම්පත 2017 අගෝස්තු 23 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඉනික්බිති පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගය‍ට ලක් කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් 2017 සැප්තැම්බර් 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයකින්ද, ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බව නිවේදනය කරන ලදී. එම සංශෝධනය පිළිබඳ ඉදිරි කටයුතු ඉන්පසුව සිදුවූයේ නැත.


2018
නැවත “විසිවෙනි සංශෝධනයක්” පාර්ලිමේන්තුව හමුවට පැමිණෙන්නේ 2018 වසරේදී ය. මෙවර පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙසිනි. 2018 සැප්තැම්බර් 5 වැනි දින එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා විසිනි. සංක්ෂිප්තයක් වශයෙන් ගත් කල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර එම බලය පාර්ලිමේන්තුවටත්, අගමැතිවරයාටත්, පැවරීම ඉන් බලාපොරොත්තු විය. මෙම පනත් කෙටුම්පත ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගය‍ට ලක් කරන ලදුව එහි තීරණය 2018 ඔක්තෝබර් 9 වැනිදා පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී. එයට අනුව පනත් කෙටුම්පතේ බොහෝ වගන්ති 2/3 ක විශේෂ බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් ද, ඇතැම් වගන්ති විශේෂ බහුතර ඡන්දයකින් පමණක් ද සම්මත කළ යුතු විය. මෙම කෙටුම්පත පිළිබඳව ඉදිරි කටයුතු ද ඉන්පසුව සිදුවූයේ නැත.


2020
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දුවකට අනුව දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එකතු වූ බොහෝ කරුණු ඉවත් කිරීම ආදිය සඳහා නැවතත් “විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්” ගෙනැවිත් තිබේ. එය 2020 සැප්තැම්බර් 02 වැනි දින ගැසට් පත්‍රයේ පළ කරන ලදී. මෙය “විසිවන” සංශෝධනයක් ද, “විසිනොවන” සංශෝධනයක් ද යන්න ඉදිරි සති කිහිපය තුළදී තීරණය වනු ඇත.


2016/08/01

නම් තැබීම

සිංහල සංස්කෘතිය තුළ අලුත උපන් දරුවෙකුට නමක් තැබීම සුළු පටු කාර්යයක් නොවේ. මම ද මේ අත්දැකීමට දෙවරක් මුහුණ දුන්නෙක්මි. එයට හේතුව වන්නේ නම් තැබීමේ දී සාධක කිහිපයක් සලකා බැලීමට සිදුවන නිසාය. සමහරු මේ ගැන එතරම් නොතැකුව ද මින් සාධක එකක් දෙකක් හෝ සලකා බලති. අනෙකුත් නම් හා සසඳන විට සිංහල නම්වල වේගවත් විකාශයට/පරිණාමයට ද මෙය හේතුවක් වී ඇත. අයෙක් මෙය හුදෙක් විකාර රූපී නම් ඇතිකරන, මෙයම ව්‍යාපාරයක් කරගත් පිරිසකගේ පැවැත්ම තහවුරු කරන, සමාජයේ දහසකුත් එකක් විලාසිතා අතරට තවත් විලාසිතාවක් එක් කළ ක්‍රියාවක් සේ සලකති. ඒ කෙසේ වෙතත් නමක් තෝරා ගැනීමේ දී හෝ නිර්මාණය කිරීමේ දී ශාස්ත්‍රීයත්වය හා ප්‍රායෝගිකත්වය යන දෙකම මත පදනම් වන්නේ නම් මැනවි.

ජ්‍යෝතිෂය අනුව නමකට අකුරු දෙන්නේ උපන් දවසට, ලග්නයට හා උපන් නැකතට ය. එමෙන්ම නැකත් පාදය අනුවත්, උපන් නැකත අනෙක් නැකත් සමඟ ඇති සම්බන්ධතාවය අනුවත් අක්ෂර තෝරනු ලැබේ. ඒ පිළිබඳ වැඩිදුර විස්තර පහත දැක්වේ.

උපන් දවස අනුව නිර්දේශිත අකුරු

සඳුදා - ය, ර, ල, ව, ශ, ෂ, ස, හ, ළ
අඟහරුවාදා - ක, ඛ, ග, ඝ, ඬ
බදාදා - ට, ඨ, ඩ, ඪ, ණ
බ්‍රහස්පතින්දා - ත, ථ, ද, ධ, න
සිකුරාදා - ච, ඡ, ජ, ඣ, ඤ
සෙනසුරාදා -  ප, ඵ, බ, භ, ම
ඉරිදා - අ, ඉ, උ, එ, ඔ

ලග්නය අනුව නිර්දේශිත අකුරු

මේෂ ලග්නය - අ, ආ, ශ
වෘෂභ ලග්නය - ඉ, ඊ, උ, ෂ
මිථුන ලග්නය - ඌ, ඍ, ඎ, ස
කටක ලග්නය - ග, ඝ, එ, හ
සිංහ ලග්නය - ඓ, ඔ, ඖ, ළ
කන්‍යා ලග්නය - අං, අඃ
තුලා ලග්නය - ක, ඛ, ග, ඝ, ඞ
වෘශ්චික ලග්නය - ච, ඡ, ජ, ඣ, ඤ
ධනු ලග්නය - ට, ඨ, ඩ, ඪ, ණ
මකර ලග්නය - ත, ථ, ධ, ද, න
කුම්භ ලග්නය - ප, ඵ, බ, භ, ම
මීන ලග්නය - ය, ර, ල, ව


උපන් නැකත අනුව නිර්දේශිත අකුරු

නැකත 1 වැනි පාදය 2 වැනි පාදය 3 වැනි පාදය 4 වැනි පාදය
අස්විද  චු චෙ චො
බෙරණ  ලි ලු ලෙ ලො
කැති  අ  එ
රෙහෙණ  ඔ වි වු
මුවසිරස  වෙ වො කි
අද  කු
පුනාවස  කෙ කො හි
පුෂ  හු හෙ හො
අස්ලිස  ඩි ඩු ඩෙ ඩො
මා  ම මි  මු මෙ
පුවපල්  මො  ටි ටු
උත්‍රපල්  ටෙ ටො පි
හත  පු
සිත  පෙ පො රි
සා  රු රෙ රො
විසා  ති තු තෙ  තො
අනුර  න නි නු නෙ
දෙට  නො  ය යි යු
මුල  යෙ යො බි
පුවසල  බු  ඪ
උත්‍රසල  බෙ බො ජි
සුවණ  ජු ජෙ ජො
දෙනට  ග  ගි  ගු ගෙ
සියාවස  ගො සි සු
පුවපුටුප  සෙ සො දි
උත්‍රපුටුප  දු
රේවතී  දෙ ‍දො  චි

මෙහිදී නැකත් පාදය අනුව ම අක්ෂර තෝරාගත හැකි නම් වඩාත් යෝග්‍ය වේ.


උපන් නැකතට “සුබදායී” මෙන්ම “අසුබදායී” ලෙස බලපාන නැකැත් වර්ග පවතින නිසා ඒ අනුව ද අක්ෂර තෝරා ගැනේ. ජන්ම, සම්පත්, ක්ෂේම, සාධක, මිත්‍ර, පරම මිත්‍ර යනාදිය සුබ කාණ්ඩ වන අතර විපත්, ප්‍රත්‍යාරි, වධ යනාදිය අසුබ කාණ්ඩයන් ය. එමනිසා එකී “සුබ” වර්ගයන්ට අයත් නැකත් වල අක්ෂර තෝරා ගැනීමට ද සැලකිලිමත් වන්නේ නම් මැනවි. බොහෝ විට අනෙක් සාධකවලට වඩා උපන් නැකතට සහ ලග්නයට මුල් තැන දීමක් සිදු වේ.


ශබ්ද ශාස්ත්‍රය වනාහී නම් තේරීමේ දී හා නිර්මාණය කිරීමේ දී අවධානය යොමු කෙරෙන තවත් ක්ෂේත්‍රයකි. ඉතා පෘථුල ලෙස හැදෑරිය යුතු විෂයක් වන මෙය ජ්‍යෝතිෂය සමඟ ද සමීප සම්බන්ධතාවයක් දක්වයි. මෙහි සඳහන් කරනුයේ මූලික හා ප්‍රචලිත කරුණු කිහිපයක් පමණි.


ගණ

භූමි, දේව, චන්ද්‍ර, ජල යනුවෙන් සුබ ගණ හතරකි. සූර්ය, ගිනි, වායු, ආකාශ යනුවෙන් අසුබ ගණ හතරකි. ගණයකට මාත්‍රා තුනකි. සරලාකාරයෙන් පවසතොත් මාත්‍රාවක් කෙටි අකුරක් (ලඝු) හෝ දීර්ඝ අකුරක් (ගුරු) විය හැකිය. එක් එක් ගණය හා එහි විපාක පහත දැක්වේ.

ගණය අක්ෂර සංයෝජනය ප්‍රතිඵල
භූමි ගු ගු ගු ජය
දේව ල ල ල තේජස්
චන්ද්‍ර ගු ල ල සෙත්
ජල ල ගු ගු ආයු
සූර්ය ල ගු ල ලෙඩ
අග්නි ගු ල ගු දැඩි ශෝක
වායු ල ල ගු මරණ
ආකාශ ගු ගු ල ව්‍යසන

උදාහරණයක් වශයෙන් “තනූජා” යන වචනය ගතහොත් එය කෙටි අක්ෂරයක් සහ දීර්ඝ අක්ෂර දෙකකින් (ල/ගු/ගු) සෑදී තිබේ. එනම් ජල ගණයට අයත් වේ.

මීට අමතරව එක් එක් ගණයට හිමි නැකතක් ද වේ. මෙය ශබ්ද ශාස්ත්‍රය ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයත් සමඟ සම්බන්ධ වන එක් තැනකි. එනිසා නැකතට ගැලපෙන සේ ගණ තෝරන්නෝ ද වෙති.

අක්ෂර වර්ග

දිව්‍ය, මනුෂ්‍ය, අපාය වශයෙන් අක්ෂර වර්ග තුනකි. නම්වල මුල් අකුරු සඳහා දිව්‍ය හෝ මනුෂ්‍ය අක්ෂර යොදා ගැනීම සුදුසු බව පැවසේ.

දිව්‍ය අක්ෂර - ඉ, ඔ, ට, ඩ, ත, ද, ල, ව, ස
මනුෂ්‍ය අක්ෂර - උ, ප, බ, ග, හ
අපායක්ෂර - එ, ක, ය, ම, ර, ජ, අ, ණ, න, ළ, අං

අක්ෂර වේධය

සාමාන්‍යයෙන් මෙය එතරම් සලකා බැලෙන සාධකයක් නොවේ. වේධය යනුවෙන් මෙහිදී අදහස් කරනුයේ ගැටීමය. එනම් නාමයන් හි මුලකුරු වල ස්වරයන්හි ගැටීමයි. සෙත් කවි/ වස් කවි නිර්මාණයේ දී මේ පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වයි. මව්පියන්ගේ සහ අනෙකුත් සහෝදර/සහෝදරියන්ගේ නම් හා වේධ නොවන පරිදි මුලකුරු තෝරා ගැනීම භාවිතාව යි.

  • "අ" ස්වරයට "උ" ස්වරය වේධ වේ
  • "ආ" ස්වරයට "ඌ" ස්වරය වේධ වේ
  • "ඉ" ස්වරයට "එ, ඒ" ස්වරය වේධ වේ
  • "ඊ" ස්වරයට "ඔ, ඕ" ස්වරය වේධ වේ


මෙවන් ශාස්ත්‍රීය සාධක පිළිබඳව සැලකිලිමත් වන අතර ප්‍රායෝගිකත්වය සහ නමේ අර්ථය පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කළ යුතුය. දරුවාගේ නම පැහැදිලිව පහසුවෙන් උච්චාරණය කළ හැකි වීම ඉතා වැදගත් වේ. එසේ නොවුණහොත් ගණ පිහිටා නිර්මාණය කළ නමක වුවද අපේක්ෂිත ප්‍රතිඵලය වෙනුවට ප්‍රතිවිරුද්ධ ඵලයක් ලැබීමට හැකියාව ඇති බැවිනි.

වර්තමානයේ නමක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියද්දී ව්‍යාකූලත්වයකින් තොරව සන්නිවේදනය කිරීමට පුළුවන් විය යුතු බව මගේ අදහසයි. එමෙන්ම නම සම්පූර්ණ වශයෙන් කියවද්දී රිද්මයානුකූල බවක් පැවතීම ද සුදුසු වේ.

මේ සියලු කරුණු සලකා බැලූවිට වඩාත් ම යෝග්‍ය නමක් තෝරාගැනීම ඉතා අපහසු කාර්යයක් බව වැටහෙනු ඇති. එහෙත් මේ කිසිවකට අනුගත නොවුණු නම් ඇති, යහපත්, සාර්ථක ජීවිත ගතකරන පුද්ගලයින් ද සිටින බව විශේෂයෙන් පැවසිය යුතුය. ඒ අතරම සියලු සාධක බලා පිහිටුවන ලද නම් ඇති, එහෙත් ඉතා අවාසනාවන්ත ජීවිත ගත කරන, සමාජ විරෝධී ක්‍රියාවන්හි පවා නිරත පුද්ගලයින් ද සිටින බව ඔබට වැටහෙනු ඇති.

අවසාන වශයෙන් පැවසිය යුතු දෙයක් තිබේ. එනම්, මා මෙම විෂයෙහි ප්‍රවීණයෙකු නොවන අතර අත්දැකීමෙන් ලත් දැනුම් කරුණු පමණක් මෙහි දක්වා ඇති බවයි. එනිසා හැකි සෑමවිටම ක්ෂේත්‍රයේ පරිණත ප්‍රවීණයෙක් වෙත ගොස් ඔබගේ අවශ්‍යතාවය ඉටුකරගැනීමට වගබලා ගන්න.

2015/07/02

සැක උපදන “නිසැක ධාතු”

අධි ඇසළ පෝයත් ගෙවුණි. දෙපෝයකට පෙර ලියන්නට සිටි දෙයක් ලියන්නේ දැන් ය. මේ වෙසක් සමයේ සිදුවීමක් සම්බන්ධයෙනි. පෝය ගැන නම් නොවේ. පෝය (අධි පෝය) පිළිබඳව මම මීට පෙර ලියා ඇත්තෙමි.

“නිසැක ධාතු” යන දෙවදන පසුගිය වෙසක් සමයේ බොහෝ දෙනා විද්‍යුත් මාධ්‍ය තුළින් අසන්නට දකින්නට ඇති බව දනිමි. එක්තරා මාධ්‍ය ආයතනයක් වස්කඩුවේ ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කොට ඇති ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ කතරගම කිරිවෙහෙර පරිශ්‍රයට වඩමවා සිදු කළ සර්වඥ ධාතු වන්දනාව “නිසැක ධාතු” වන්දනාවක් ලෙස නම් කොට තිබුණි. ක්‍රියාව ඉතා වටිනා එකකි. සද්භාවයෙන් කළේ නම් මහත් ආනිසංස සහිත පින්කමකි. එහෙත් දුරදිග නොබලා කරන සමහර ක්‍රියා වලින් පිංකම් පව්කම් බවට පරිවර්තනය වේ. එවන් දේ පෙන්වා දීමට බෞද්ධයෙක් වශයෙන් මටත් අයිතියක් හා වගකීමක් ඇති බැවින් මෙය ලියමි.

ඉහත “නිසැක ධාතු” යන නාමකරණය කවුරු විසින් හඳුන්වා දුන්නාද යන්න මම නොදනිමි. නමුත් බොහෝදුරට එය එම නාලිකාවේ වැඩසටහන් නිෂ්පාදනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙක් හෝ පුද්ගලයින් විසින් කරන්නට ඇතැයි සිතමි. එම දෙවදන ඉතිහාසයේ මීට පෙර අප අසා නැති එකකි. එයින් ජනිත වන අතුරු ඵල ද බොහෝමයකි. මූලික වශයෙන්ම සිදුවන්නේ ලංකාවේ තවත් බොහෝ ප්‍රදේශයන් හි තැන්පත් කර ඇති ධාතුන් වහන්සේලාගේ නිසැක බව පිළිබඳව සැක මතු කිරීමයි. මෙයින් එම ධාතුන් වහන්සේලාගේ නිර්ව්‍යාජත්වය පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ සිත් තුළ සැක ඉපදීම සිදුනොවන්නේ යැයි කිසිවෙකුටත් කිවනොහැක්කේය. මෙතෙක් කලක් අතිමහත් බැතියෙන් හෝ ශ්‍රද්ධාවෙන් තමන් වන්දනා කළ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා, මහ රහත් ධාතුන් වහන්සේලා ඇතුළු ධාතුන් වහන්සේලා පිළිබඳව ඔවුන් සැක මතු කරගනු ඇත. එයින් සිදුවන්නේ කුසලය හීන වීමයි. ආනිසංස හීන වීමයි.

එහෙත් ධාතුන් වහන්සේලා බුද්ධිමත්ව ශ්‍රද්ධාවෙන් වන්දනා කරන බෞද්ධයාට ඒවායේ සැක හෝ නිසැක බව කිසිසේත් ම අදාළ වන්නේ නැත. ඒවා උපයෝගී කරගනිමින් තුනුරුවන් අරමුණු කර අපමණ චිත්ත ප්‍රීතියක් ඇති කරගන්නේ නම්, ශ්‍රද්ධාව දියුණු කරගන්නේ නම්, එම ධාතුන් වහන්සේ තවත් එක් වස්තුවක් පමණි. එවිට මහත් කුසලයක් පිරෙන්නේ ය. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය අරමුණු කොට දුසිල්වත් භික්ෂුවකට දානයක් පිදුවත් මහත් කුසලයක් වන්නා සේ ය. අනාගතයෙහි පහළ වන්නේ යැයි කියන “කාසාව කණ්ඨක” භික්ෂුවක් සම්බන්ධයෙන් වුවද තත්ත්වය එසේම ය. මේ සියල්ල සිතත් සමඟ වන ගනුදෙනුවක් බැවිනි. නමුත් අවාසනාවකට බොහෝ ලාංකික බෞද්ධයින් හට මෙම චිත්ත පුහුණුව හෝ අවබෝධය නොමැත. එවැනි පුද්ගලයින්ගේ යටි සිතේ “නිසැක ධාතු” යන වචනයේ පිහිටෙන් විචිකිච්ඡාව රැ‍ඳෙන්නට ඉඩ තිබේ.

පවතින තරඟකාරී වටාපිටාව තුළ නාලිකාවකට සිය “මාර්කටිං” වුවමනාව වෙනුවෙන් නම් මෙය ආකර්ෂණීය දෙවදනක් විය හැකි නමුත්, මෙවන් ක්‍රියා නිසා බෞද්ධ ජනතාවට සහ සම්බුද්ධ ශාසනයට හානියක් වන බව තේරුම් ගත යුතුය. පසුව හෝ අවබෝධ කරගත යුතුය.

2015/04/09

දැවිල්ල මනින ඒකකය

මේක ළඟදී කොච්චි ගැන කියවන්න ගිහින් වෙච්චි දෙයක්. ඕගොල්ලො දන්නවාද දැවිල්ල නැත්නම් සැර මනින්න ඒකකයකුත් තියෙනවා කියලා? මේකට කියන්නේ ස්කෝවිල් පරිමාණය (Scoville scale) කියලා. ඔය ස්කෝවිල් කියන්නේ මේ ක්‍රමය ලෝකෙට හඳුන්වා දුන්න කෙනාගේ නම.

සරලව කිව්වොත් මෙතැනදී කරන්නේ මිරිස් ජාතියක ඇති කැප්සිනොයිඩ (capsinoid) ප්‍රමාණය මනින එක. එතැනදී මිරිස්වල තියෙන කැප්සිනොයිඩ වෙන් කරලා අරං සීනි ද්‍රාවණයක කලවම් කරනවා. ඊට පස්සේ ඒකට මිනිස්සු 5 දෙනෙකුගේ උදව්වත් (රස බැලීමට) ලබා ගන්න නිසා මේ මිම්ම නිවැරදි ම එකක් නෙමෙයි. අන්තිමේ දී කොච්චර සැරද කියලා කියන්නේ SHU එහෙමත් නැත්නම් Scoville heat units ගාණෙන්. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි සාමාන්‍යයෙන් දන්න කොච්චි කරලක SHU ගාණ 100,000 - 225,000 අතර වෙනවා.

හැබැයි 1980 ගණන් වලින් පස්සේ දැවිල්ල මනින්න වඩාත් විද්‍යාත්මක වගේම නිවැරදි ක්‍රමයක් පාවිච්චි වෙනවා. ඒකට කියන්නේ High-performance liquid chromatography (අධි ක්‍රියාකාරීත්ව ද්‍රව වර්ණලේඛ ක්‍රමය) කියලා. ඉතින් වැඩිදුර විස්තර දැනගන්න ඔය ලින්ක්වලට ගිහින් කියවලා බලන්න.